11. සොරෙය්‍ය තෙරුන්ගේ වස්තුව
න තං මාතා පිතා කයිරා ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සෝරෙය්යනගරයෙහි දී උපදවා සැවැත්නුවරදී නිමවන ලදහ.
සම්මාසම්බුදුන් සැවැත්නුවර වාසය කරන කාලයෙහි සොරෙය්යනුවරෙහි සොරෙය්යසිටුපුත් තෙමේ එක් යහළුවකු සමග සුවපහසු යහනාවක හිඳගෙන මහත් පිරිවර සහිතව නෑම පිණිස නුවරින් නික්මුණේය. ඒ වේලාවෙහි මහාකච්චායන තෙරණුවෝ සොරෙය්‍ය නගරයෙහි පිඬු පිණිස හැසිරෙනු කැමැත්තෙන් නුවරින් පිටත සිට සංඝාටිය පෙරවන සේක. තෙරුන්ගේ සිරුර රන්වන්ය. සොරෙය්යසිටුපුත්රයා ඒ සිරුර දැක, අනේ මේ තෙරණුවෝ මගේ භාර්යාව වන්නේ නම්, මගේම භාර්යාවගේ හෝ ශරීරවර්ණය මොහුගේ ශරීරවර්ණය මෙන් වන්නේ නම් කෙතරම් අගේදැයි සිතීය. ඔහු එසේ සිතනවාත් සමගම ඔහුගේ පුරුෂලිංගය අතුරුදහන් වී ස්ත්‍රීලිංගය පහළ විය. හෙතෙම ලැජ්ජාවට පත්ව යානයෙන් බැස පලාගියේය. පිරිවර ජනයෝ ඒ කිමෙක්දැයි නොදැන මේ කිමෙක් දැයි ඇසූහ. ඈ ගොස් තක්ෂශිලාමලට වැටුණාය. ඇගේ යාළුවාද ඔබ මොබ සොයා බැලුවත් නොදැක්කේය. සියලුදෙනාම වහා ගෙවල්වලට ගියහ. සිටුපුතා කොයිදැයි ඇසූ විට නාගෙන ආවේයයි අපි සිතුවෙමුයි පිළිතුරු දුන්හ. ඉන්පසු ඔහුගේ මවුපියෝ එහි සොයා බලා නොදැක හඬා වැළපී මැරෙන්නට ඇතියි සිතා මතක දන් දුන්හ. ඈ තක්ෂශිලාවට යන එක් ගැල්රංචුවක් දැක ඒ ගැල් පසුපසින් ගියාය.
ඉන්පසු මිනිස්සු තම ගැල් පිටුපසින් ඈ එනු දැක, මෑ කාගේ දැරියක්දැයි කථා කළහ. නුඹලා තමන්ගේ ගැල් දක්කාගෙන යන්න. මම පයින් එන්නෙමියි කියා ඇඟිලිමුදුව ගළවා දී එක් ගැළක අවකාශ ලබා ගත්තාය. මිනිස්සු මෙසේ සිතූහ. තක්ෂශිලාවේ අපේ සිටුපුත්‍රයාට බිරියක් නැත. මෑ ගැන ඔහුට කියමු. අපට එය මහාලාභයක් වන්නේය. ඔවුහු සිටුදෙරට ගොස් ස්වාමීනි, ඔබට එක් ස්ත්‍රීරත්නයක් ගෙනාවෙමුයි කීවාහුය. සිටුපුත්‍රයා ඒ අසා ඈත් ඔවුනුත් කැඳවා තමන්ගේ වයසට ගැළපෙන අභිරූපී ඈ දැක උපන් ස්නේහ ඇතිව සිය ගෙදර නවතා ගත්තේය. සසරෙහි මිනිස්සු ගැහැණුන් බවටත්, ගැහැණු මිනිසුන් බවටත් පත්වීම නොවූ දෙයක් නොවේ. මිනිස්සු පරදාර සේවනය කොට මැරී ගොස් බොහෝ වර්ෂ සියදහස් ගණන් නිරයේ පැසී මිනිස්ජාතියෙහි ඉපදෙන විට ආත්මභාව සිය ගණන් ස්ත්‍රීභාවයට පත් වෙති.
ආනන්ද තෙරණුවෝත් කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා ඇති ආර්යශ්රාවකයකු වූ නමුත් සසර සැරි සරා එන අතර එක් ආත්මභාවයකදී කඹුරු කුලයක ඉපදී පරදාර කර්මය කොට නිරයේ පැසී අවසානයෙහි තුදුස් ආත්මභාවයක් අනුන්ගේ පාදපරිචාරිකාවක්-ස්ත්‍රියක් වූවාය. ආත්මභාව සතක් බීජෝද්ධරණයට (ආණ්ඩකෝෂ ඉවත්කර දැමීමට) පත්විය. ස්ත්‍රීහු වනාහි දානාදි පින්කම් කොට ස්ත්‍රීභාවයෙහි කැමැත්ත හැරදමා තමා කළ මේ පින පුරුෂාත්මභාවයක් ලබා ගැනීමට හේතුවේවායි ප්‍රාර්ථනා කොට මිය ගොස් පුරුෂාත්මභාව ලබා ගනිත්. සැමියා දෙවියකු හැටියට ගෙන සැමියා කෙරෙහි මනා ඇවතුම් පැවතුම් කිරීම් වශයෙනුදු පුරුෂාත්මභාව ලබන්නියෝද වෙති.
මේ සිටුපුත්‍රයා තෙරුන්වහන්සේ කෙරෙහි විකෘති සිහියක් උපදවා ගෙන මේ ආත්මභාවයේදීම ස්ත්‍රී භාවය ලැබීය. තක්ෂශිලාවේ සිටුපුත්‍රයා සමග සංවාසයට පැමිණි ඇගේ කුසෙහි ගැබක් පිහිටියේය. ඈ දසමසක් ගෙවා පුතකු ලැබුවාය. ඒ දරුවා ඇවිදින වයසට පත්කාලයට තවත් පුතකු ලැබුවාය. මෙසේ ඇගේ කුසෙන් දරුවන් දෙදෙනකු ලැබුවාය. සොරෙය්‍ය නගරයෙහිදී, ඔහු පිරිමියකුව සිටි කාලයේ ඔහුට දාව ලැබූ දරුවන් දෙදෙනාත් සමග සිව්දෙනෙක් වූවාහුය.
එකල ඇගේ යහළුසිටුපුත්රයා සොරෙය්යනගරයේ සිට ගැල්පන්සීයකින් තක්ෂශිලාවට ගොස් සැප යහනාවක හිඳ නුවරට ඇතුල් විය. ප්‍රාසාදයේ ඉහළමහලේ සිටි ඈ කවුළු හැර දමා ඇතුල්වීථිය බලන විට ඒ යහළු සිටු පුත්‍රයා දැක හැඳින දාසියක් යවා ඔහු කැඳවා මහල්තලයෙහි වාඩි කරවා සත්කාර සම්මාන කළාය. සිටුපුත්‍රයා ඈ අමතා, සොඳුර, ඔබ මින්පෙර අප දැක නැත. එසේ වුවත් ඔබ අපට මහත් සත්කාර කරන්නෙහිය. ඔබ අප ගැන දන්නෙහිදැයි ඇසීය. ස්වාමීනි, එසේය. මම ඔබ හඳුනමි. ඔබ සොරෙය්යනුවර වැසියෙක් නේද? සොඳුර, එසේය. ඈ තම මවුපියන්, බිරිය, සහ පුතුන්ගේ සුවදුක් විචාළාය. අනිත් තැනැත්තා. එසේය සොඳුර. ඒ සියල්ලෝ සුවසේය. ඔබ ඒ අය දන්නෙහිදැයි ඇසුවේය. එසේය ස්වාමීනි, මම ඔවුන් ගැන දනිමි. ඒ මවුපියන්ට එක් පුතෙක් ඇති. ඔහු දැන් කොහේදැයි ඇසුවාය. සොඳුර, ඔහු ගැන කථා නොකරව. මම දිනක් සැප යහනක හිඳ නාන්ට යන අතර, ඔහු ගිය තැනක් නොදනිමි. හැම තැනම බලා ඔහු නොදැක ඒ බව මවුපියන්ට දැන්වූවෙමි. ඔවුහුද ඔහු ගැන හඬා වැළපී මළේ යයි සිතා මළවුන් වෙනුවෙන් කළයුතු දේ කළහ.
ස්වාමීනි, ඒ සිටුපුතා නම් මම යයි ඈ කී විට, සොඳුර නිකම් සිටුව. නුඹ කුමක් කියන්නීද? මගේ යහළුවා දෙව්කුමරකු වැනි එක් පිරිමියෙකි. එය විය හැකියි හිමියනි, නමුත් ඒ කුමරා නම් මම යයි කීවාය. ඉතින් එය එසේ නම් දැන් මේ කුමක් සිදුවී තිබෙයිද? එදින ඔබ මහාකච්චාන ආර්යයන්වහන්සේ දැක්කෙහිද, මම මහාකච්චානතෙරුන්ගේ රන්වන් සිරුර බලා අනේ මේ තෙරුන් මගේ භාර්යාව වන්නේ නම් හෝ මුන්වහන්සේගේ ශරීරවර්ණය මගේ භාර්යාවට ලැබෙන්නේ නම් හෝ ඉතා යෙහෙකැයි සිතීමි. එසේ සිතූ කෙණෙහිම මගේ පුරුෂලිංගය අතුරුදහන් විය. ස්ත්‍රීලිංගය පහළ විය. ඉන්පසු මම ලජ්ජාවෙන් කිසිවකුට ඒ බව දැන්වීමට නොහැකිව පලාගොස් මෙහි පැමිණියෙමියි කීවාය.