11. සිවුරු හළ කෙනෙකු පිළිබඳ කථා පුවත
යො නිබ්බණථොති යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩ සිටියදී සිවුරු හළ කෙනෙක් නිමිති කරගෙන දේශනා කළහ.
මහා කාශ්‍යප තෙරුන්ගේ එක් සද්ධි විහාරික භික්ෂුවක් වී ධ්‍යාන සතර උපදවා, තමන්ගේ මාමා වූ රන්කරුවෙකුගේ නිවසේ විෂභාග රූපයක් දැක එහි බැඳුන සිත් ඇත්තේ උපැවිදි වුයේය. අනතුරුව මිනිස්සු අලස බැවින් කටයුතු කිරීමට නොකමැතිව ගෙයින් බැහැර කළහ. ඔහු පවිටු මිත්‍ර ඇසුරින් සොරකමින් දිවි ගෙවමින් හැසුරුනි. අනතුරුව ඔහු එක් දිනක් අල්ලාගෙන අත් පසුපසට තබා දැඩිසේ බැඳ කස පහරින් තලමින් ඝාතනය කරන තැනට ගෙන ගියහ. තෙරුන් පිණ්ඩපාතයේ යාමට පිවිසෙන්නේ ඔහු දකුණු දොරටුවෙන් ගෙනයනු බලා බන්ධනය ලිහිල්කර පෙර ඔබ විසින් පුරුදු කළ කර්මස්ථානය යළි සිහි කරන්නැයි පැවසුවේය. ඔහු එම අවවාදයෙන් සිහිය ලබා නැවත චතුර්ථ ධ්‍යානය ඉපිදවීය. අනතුරුව ඝාතනය කරන තැනට ගෙනගොස් ඝාතනය කරමුයි උල (හෙල්ල) එසවුහ ඔහු බියෙන් ත්‍රස්ත නොවීය. අනතුරුව ඔහුගේ සතර පැත්තෙන්ම සිටි මිනිස්සු කඩු. කිණිසි තෝමර ආදී ආයුධ උස්සා සිටියද ඔහු බියට පත් නොවීය. ඉක්බිතිව එහි රැස්ව සිටි මිනිස්සු මොහු බලන්න නොයෙක් සිය ගණන් ආයුධගත් අන්තූති පුරුෂයන් මැද ඇති නොගනී. නො සැලේ කම්පා නොවේ. ආශ්චර්යකි. අද්භූත දෙයකි මෙසේ මහා ශබ්ද කර කෑගසා රජුට මේ පුවත දැනුම් දුන්හ. රජු මේ කරුණ අසා ඔහු මුදවා හරින්නැයි පැවසුවේ. බුදුන් හමුවටද ගොස් එම කරුණ දැනුම් දුන්නේය. බුදුහු ආලෝකයක් පතුරුවා ඔහුට ධර්ම දේශනා කරන්නට මේ ගාථාව පැවසුහ.
ගිහි සැපත් අතැර දා යමෙක් ඉන් මිදීලා
තවුස් දම් රැකියමුත් වනයෙහිම ඇලීලා
ඔහු එයින් වෙනස් වී කම් සුවෙහි ගිලීලා
යළිත් ගිහිගෙට යයිද ආසාවෙ බැදීලා
එහි අර්ථය :- යො යම් පුද්ගලයෙක් ගිහි බවෙහි ආලය සංඛ්‍යාත වු වනය අත්හැර පැවිදී වී, නිබ්බාණථො දිවා විහාර සංඛ්‍යාත තපසෙහි ඇලුණේ, අධිමුතෙතා - ගෘහවාසය සම්බන්ධ වූ තණ්හාවෙන් මුතෙතා මිදී නැවත ඔහු ගෘහවාස බන්ධනයටම ගිහිගෙය නමැති වනයටම ගියේද එථනං පුග්ගලං පස්සථ පැමිණෙව් මේ පුද්ගලයා බලව්.
හෙතෙම මේ ධර්ම දේශනාව අසා ඒ රාජ පුරුෂයන් විසින් ඔහුව උල හිටවුවද ඒ උල අග සිටගෙනම උදයව්‍යය භාවනාවෙහි පිහිටා තිලකුණු මෙනෙහි කොට සංස්කාරයන් සම්මර්ශනය කරන්නේ සෝවාන් පෙලෙහි පිහිටා සමවත් සුව අනුභව කරමින් අහසට නැගී අහසින්ම ශාස්තෲන් සමීපයට ගොස් බුදුන් වැඳ රජුන් සහිත පිරිස් මැද රහත් බවට පැමිණියහ.
12-13. බන්ධනාගාරය පිළිබඳ කථා පුවත
“නතං දළහන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටියදී සිරගෙයක් පිළිබඳව දේශනා කළහ.
එක් කලෙක බොහෝ ගෙවල් බිඳින අතර මගදී මිනිසුන් ඝාතනය කරන මිනීමරු සොරුන් ගෙනවුත් කොසොල් රජුට පෙන්වූහ. ඔවුන් රජු විසින් දම්වැල්වලින් බැඳ රැහැන් බන්ධන මාංචු බන්ධන ආදියෙන් බැඳවීය. සියළු ජන පදවලින් භික්ෂූන් වහන්සේලා බුදුන් දකිනු කැමතිව අවුත් වැඳ දෙවන දින සැවැත්නුවර පිඩුපිණිස හැසිරෙන අතර සිරගෙට ගොස් එම සොරුන් දැක පිණ්ඩපාතයෙන් පසු සවස බුදුන්වෙත එළඹ ස්වාමීනි අද අපි පිඩුසිඟා වඩින අතර සිරගෙයි සොරු දම්වැල් ආදියෙන් බැඳ මහදුක් විඳින අයුරු දිටිමු. පළායාමට නොහැකි මේ බැඳුම්වලට වඩා ස්ථිරසාර වෙනත් බැඳුම් ඇත්ද ස්වාමීනියි විමසුහ. මහණෙනි මේ බන්ධන මොනවාද යමෙකුට ධන ධාන්‍ය අඹුදරුවන් පිළිබඳ තණ්හා කෙලෙස් බන්ධන මේ බැඳුම්වලට වඩා සියදහස් ගුණයෙන් ස්ථිරසාර වේ. මේ මහත් බන්ධනවලින් මිදුන පෙර පඩිවරු හිමවතට පිවිස පැවිදි වුනයි පවසා අතීතය ගෙන හැර දැක්වුහ -
පෙර බරණැස බ්‍රහ්මදත්ත රජු රජ කරන අතර බෝසත්තුමා එක් දුගී නිවසක ඉපදුණි. ඔහු වයසට පැමිණෙන අතර පියා කළුරිය කළේය. ඔහු බැලමෙහෙවරකර මව පෝෂණය කළේය. ඔහුගේ මව අකමැත්තෙන් සිටියදීම එක් කුල දුවක් පාවා දී පසුකලෙක කළුරිය කළාය ඔහුගේ බිරිඳගේ කුස දරුගැබක් පිහිටියේය. ඔහු මේ දරුගැබ පිහිටි බව නොදැන සොදුර ඔබ කුලී වැඩ හෝ වතාවත් කර ජීවත් වෙව මම පැවිදි වන්නෙමි. කිවේය. ඇය එවිට ස්වාමීනි මට ගැබක් පිහිටියේය මා බිහිකරන දරුවා දැක පැවිදිවන්නැයි කිව්වේය. ඔහු යහපතැයි පිළිගෙන දරුවා වැදු පසු සොදුර ඔබ හොදින් බිහිකළ නිසා මව දැන් පැවිදි වෙමි. ඉක්බිති ඇය පුතා කිරි බී අවසන් වන තෙක් පමා වන්නැයි කියා නැවත ද දරු ගැබක් ගත්තේය. (ගැබ්ගති) ඔහු මෙසේ සිතුවේය. මොහු මැය ගිවිස්සාගෙන මැගේ කැමැත්තෙන් යාමට නොලැබෙයි. මැයට නොකියාම පළා ගොස් පැවිදි වන්නෙමියි සිතා ඇයට නොදන්වා රාත්‍රියේ නැගිට පළාගියේය. අනතුරුව නගරාරක්‍ෂකයෝ අල්ලා ගත්හ. ඔහු ස්වාමීනි මම මව පෝෂණය කරන්නෙකි. මා මුදාහරින්නැයි ගැලවී එක් තැනක සිට හිමවතට පිවිස ඍෂි පැවිද්දෙන් පැවිදිවී අභිඥා සමාපත්ති උපදවා ධ්‍යාන ක්‍රීඩාවේ යෙදෙමින් වාසය කළේය. ඔහු එහි වසන්නේ මෙබඳු වූ මිදීමට අපහසු පුත්‍ර දාර බන්ධනය කෙලෙස් බන්ධනය සිඳ දැමුවේ යයි උදානයක් පැවසීය.