සීලනති - මණිකුණ්ඩල රතු වස්ත්‍ර ආදි අලංකාර වීම නම් ඒ ඒ වයසේ සිටි අයටම ශෝභාමත් වේ. මෙහි ළදරුවන්ගේ අලංකාරය මහළු අයටද මහල්ලන්ගේ අලංකාරය ළමාකලටද හොබී. දකින්නෝ උමතු කෙනෙක් උමතු අයෙකියි ගර්හා කරති. දෝෂයක්ම දකිති. පන්සිල් දසසිල් ආදිය දරුවාටද මහල්ලාටද සියල්ලන්ටම හැම වයසකදීම සුදුසුවේ. සුඛං යාව ජරා සීලං - සද්ධා පතිට්ඨිතාති ලෞකික ලෝකෝත්තර වශයෙන් ශ්‍රද්ධාව දෙයාකාරය ශ්‍රද්ධාව නිශ්චලව පිහිටීම සුවයකි. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලැබීම සුවයකි. “පාපානං අකරනනති” ඒ දඬු කැඩීම්, පාරවල් වැසීම් ආදී පවු නොකිරීම මෙලොව සුවයකි. යන අර්ථයි.
දෙසුම අවසන බොහෝ දේවතාවන්ට ධර්මාවබෝධය සිදුවිය.
නාග වර්ග වර්ණනය නිමා විය.
විසිතුන්වැනි වර්ගයයි.
24. තෘෂ්ණා වර්ගය
1-4. කපිල මත්ස්‍යයාගේ කථා පුවත
“මනුජස්සාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී කපිල ඇමති නිමිති කරගෙන දේශනා කළහ.
පෙර අතීතයේදී කාශ්‍යප භාග්‍යවතුන් පිරිනිවන් පෑ කාලයේදී කුලදෙකක සහෝදරයෝ දෙදෙනෙක් ගිහිගෙන් නික්ම ශ්‍රාවකයින් අසල පැවිදි වූහ. මේ දෙදෙනා අතර වැඩිමලා සොධන - නම් වීය. බාලයා කපිල නම් විය. මොවුන්ගේ මව සාධීනී නම් වුවාය. කණිටු සහෝදරිය තාපනා නම් වුවාය. ඇය ද භික්ෂුණින් අතර පැවිදි වුවාය. මේ ලෙසට ඔවුන් පැවිදි වු පසුව සොහොයුරන් දෙදෙනා ආචාර්ය උපාධ්‍යයට වතාවත් කර වාසය කරන අතර ස්වාමීනි ! මේ සසුනේ ධුර කීයක්දැයි විමසුහ. එසේ විමසා ග්‍රන්ථධූරය හා විදස්සනා ධුරය යනුවෙන් ධුර දෙකක් බව අසා වැඩිමලා විපස්සනා ධුරය පුරමියි වසර පහක් ආචාර්ය උපාධ්‍යයන් ලග වාසය කර අර්හත්වය දක්වා කමටහන් ගෙන කැලයට පිවිස උත්සාහ කරමින් රහත්බවට පත්විය. බාලයා මම තවමත් තරුණය. මහළු කල විදර්ශනාධූරය ලබා පුරමියි ග්‍රන්ථධූරය පිහිටා ත්‍රිපිටකය උගත්තේය. ඔහුගේ පරියාප්තිය නිසා පිරිවරද පිරිවර නිසා ලාභයද ඇතිවිය. ඔහු බහුශ්‍රැත මදයෙන් මත්වූයේ ලාභ තෘෂ්ණාවෙන් මැඩගත්තේ බොහෝ පණ්ඩිතමානි බැවින් අන්අය විසින් කියන ලද කැපදේ අකැපදේ ලෙසත් අකැප කැප දේ ලෙසටත් කියති. නිවැරදිදේ වැරදි ලෙසටද වැරදිදේ නිවැරදි ලෙසට ද කියයි. මේ නිසා සුපේසල භික්ෂූන් පැමිණ ඇවැත්නි කපිල, මෙලෙස නොකියවු කියා ධර්මයද විනය ද දක්වා අවවාද කරන්නේ, තෙපි කුමක් දන්නේද? හිස් කළයක් වගේ මේ ආදී දේ කියමින් ගරහමින් අවමකරමින් හැසිරෙයි. අනතුරුව සහෝදර සෝධන තෙරුන්ට මේ පිළිබඳව කරුණු කීවාහුය. උන්වහන්සේද මෙම තෙරුන් වෙත එළඹ ඇවැත්ති කපිල ඔබ වහන්සේලාගේ මනාපැවැත්ම සසුනට ආයුෂ වේ. මේ නිසා සම්‍යයක් ප්‍රතිපත්ති දුරුකර කැපදේ ආදිය වලකමින් අවවාද නොකරන්න. ඔහු උන්වහන්සේගේ අවවාදයද බැහැර කලේය. මෙසේ ඇතිකලද එම තෙරුන් දෙතුන් වරක් අවවාද කර එය පිළි නොගන්නේ, මගේ වචන නොකරතියි දැන ඇවැත්නි එසේ නම් තමන්ට වුවමනා ලෙස කරන්නැයි කියා පිටත්ව ගියහ. එතැන්සිට යහපත් භික්ෂූන් ඔහු අත් හලහ.
ඔහු දුරාවාර වී දුරාචාරීන් පිරිවරා වාසය කරන්නේ, එක් දිනක් පොහොය ගෙයි ප්‍රාතිමෝක්‍ෂය දෙසමියි තල්පත ගෙන ධර්මාසනයේ සිට, ඇවැත්නි මෙතැන රැස්වූ භික්ෂූන්ට ප්‍රාතිමොක්‍ෂ දේශනය සුදුසුද? විමසා පිළිතුරු දීමෙන් කවර අර්ථයක්දැයි භික්ෂූන් පිළිතුරු නොදී නිශ්ශබ්දව සිටින විට භික්ෂූන්ට - ප්‍රවචන නැතැයි ඇවැත්නි ධර්මයද විනයද නැත. ප්‍රාතිමෝක්‍ෂයෙන් ඇසීමෙන් හෝ නොඇසීමෙන් කවර ප්‍රයෝජනයක්ද කවර අරුතක්ද කියා අසුනින් නැගීසිටියේය මෙලෙස ඔහු කාශ්‍යප බුදුන්ගේ සසුන පර්යාප්ති ශාසනය පසු බැස්සවීය. මෙසේ කපිල තෙරුන් ආයු කෙළවර කළුරිය කොට අවීචි නරකයේ උපන්හ. සෝධන තෙරුන්ද එදිනම පිරිනිවන් පෑහ. කපිල තෙරුන්ගේ මවද සහෝදරියද විපාක අනුව සුපේසල භික්ෂූන්ට ආක්‍රෝෂ කොට බැනවැදී අවීචි නිරයේ උපන්නාහුය.
මෙකල පන්සියයක් පුරුෂයෝ ගවඝාතන - ගම් පැහැරීම් ආදිය කර සොරකමින් ජීවත් වෙමින් සිටියදී ජනපද වාසී මිනිසුන් ඔවුන් ලුහුබඳින්නාහු පළායන අතර වන සෙනසුනට පිවිසී එහි කිසි පිළිසරණක් නෙලැබ. එක්තරා ආරණ්‍යක භික්ෂුවක් දැක වැඳ අපට පිළිසරණ වේවායි කීවාහුය. තොපට සීලය හැර වෙනත් පිළිසරණක් නැත. සියල්ලෝම පන්සිල් සමාදන් වෙවු. මෙසේ පැවසුවාට යහපතැයි සියළු දෙන පන්සිල් සමාදන්වුහ. අනතුරුව තෙරණුවෝ අවවාද කළෝය. දැන් තොප සිල් වත්හුය. ජීවිත හේතුවෙන් හෝ සිල් නොකඩවා සිත් දුෂණයන්ද නොකළ යුතුය. ඔවුහු යහපතැයි පිළිගන්නාහුය. අනතුරුව ඒ ජනපදිකයෝ එම තැනට පැමිණ ඔබ නොබ සොයන්නේ එම සොරුන් දැක සියලු සොරුන් ඝාතනය කළහ. ඔවුන් මියගොස් දෙලොව පහළවුනි. නායක සොරා ජ්‍යෙෂ්ට දේවපුත්‍රයා විය.
ඔවුහු අනුලෝම පටිලෝම වශයෙන් එක් බුද්ධාන්තරයක් දෙලොව සැරිසරා මේ බුදෙධෝත්පාද කාලයේදී සැවැත්නුවර කුල පන්සියක් ඇති. ධීවර ගමක උපන්නාහුය. ජ්‍යෙෂ්ඨ දේව පුත්‍රයා ධීවර නායකයාගේ ගෘහයෙහි පිළිසඳ ගත්තේය. අනෙක් අය අනෙක් අය අතර මෙලෙස ඔවුන් එක දවසකම උපන්හ. ප්‍රතිසන්ධියද බිහි වීමද එකම දිනයේ සිදුවිය. ධීවර නායකයා මේගමේ අද උපන් වෙනත් දරුවන් ඇත්දැයි සොයා බලා ඔවුන්ගේ උපත ගැන අසා දැනගෙන මොවුන් මගේ පුතාට සහායකයින් වන්නේයයි සියල්ලන්ම පෝෂණය කරන්නට මුදල් දෙවීය. මේ සියල්ලෝම වැලි කෙලියේ සිට මිතුරන් වී පිළිවලින් වයසට පත් වූහ. ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාම ප්‍රධානියා විය.