එහි සුප්පබුද්ධං පබුජ්‍ඣන්ති - යනු බුද්ධගතා සතිය ගෙන නිදාගන්නා අවදිවන විටද බුද්ධගතා සතිය ගෙන මනාසේ අවදි වෙති. සදාගොතම සාවකා - ගෞතම ගෝත්‍ර බුදුන්ගේ අනුශාසනයන් ශ්‍රවණය කරන්නා අදහන්නා හා එසේම අනුසාසනා කරන්නා ගොතම ශ්‍රාවක නම්, බුද්ධගතා සති - යනු ඉතිපි සෝ භගවා ආදි ප්‍රභේදයෙන් බුදුගුණ ඇරබ උපදින සිහියයි. එය නිත්‍ය කාලයේ ඇත. ඔවුන් හැමදා මැනවින් අවදිවේ යන අර්ථයි. එසේ නොහැකිවන්නෝ එක් දිනක් තුන්කල්හි දෙකල්හි එක් කාලයක බුද්ධානුස්සතිය සිහිකරන්නේ සුවසේ අවදිවෙති. ධම්මසති “ස්වාක්ඛාතෝ භගවතා ධම්මො” ආදී වශයෙන් ධර්මයේ ගුණ සිහි කරමින්, උපදින්නේ ධම්මානුස්සතියයි. ආදී ධර්මයේ ගුණ අරබයා සිහිය වඩන්නේ ධම්මානුස්සතියයි. සංඝගතා සති - සුපටිපන්නෝ භගවතො - මේ ආදී ප්‍රභේද සංඝ ගුණ නිමිති කරගෙන උපදවන සිහියයි. කායගතා සති නම් දොළොස් ආකාර වශයෙන් ද, නවසීවථික වශයෙන්ද නැත හොත් වතු ධාතු වවත්ථාන වශයෙන්ද, ආධ්‍යාත්මික නිලකසිණාදී රූපධ්‍යාන වශයෙන්ද උපදින සතියයි. අහිංසාය රතො - ඔහු කරුණා සහගත වේදනාවෙන් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. මෙලෙස කරුණා භාවනාවේ ඇලුනේ භාවනායාති - යනු චේතනා භාවනාව කිසියම් උපරිම තලයෙන් කරුණා භාවනාව කී හෙයින් මෙහි සියළු අවශේෂ භාවනා නම් මෙහිදී මෛත්‍රී භාවනාව අදහස් කරන ලදී. ඉතිරි කොටස් කියන ලද අයුරින් දතයුතුය.
දේශනාවසානයේ ඒ දරුවා සමග දෙමාපියෝ සෝවාන් ඵලයේ පිහිටි යාහුවෙති. පසුව පැවිදිවී සියල්ලෝ අරහත්වයට පැමිණියහ. පැමිණි අයටද දේශනය සාර්ථක විය.
13. එක්තරා භික්ෂුවකගේ කතා පුවත
“දුප්පබ්බජ්ජං ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ විශාලාවේ වැඩ සිටියදී එක්තරා වජ්‍ජි පුත්‍රක භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ. එක්තරා වජ්‍ජි පුත්‍රක භික්ෂුවක් විශාලා නුවර එක්තරා වන ලැහැබක වාසය. කරයි. එසමයෙහි විසාලා නුවර මුළු රාත්‍රියේම උත්සවයක් පැවතුනි. එම උත්සව අවස්ථාවේ විසාලාවේ කරන ලද තුර්ය වාදන ගායන ශබ්දයන් අසා අඩමින් එම අවස්ථාවේදී මේ ගාථාව පැවසුහ -
කැලයේ ඉවත විසිකරන ලද දරලීයක් සේ හුදකලාවම මම ආරණ්‍යයේ වාසය කරමි. මෙබඳු පව්කාරයන්ට දිලිසෙන රාත්‍රියක් කොයින්ද?
ඔහු වනාහි වජ්‍ජි රටේ රාජ පුත්‍රයෙකි. වාරයට පැමිණි රාජ්‍ය තනතුර අත්හැර දමා පැවිදි වුයේය. විසාලා මහනුවර චාතුර්මහාරාජික දෙව්ලොව සමග ඒකාබද්ධකලාක් මෙන් මුළු නුවර ධජ පතාකාදියෙන් සරසා ඉල්මස පුරපසළොස්වක් පොහෝදින මුළු රාත්‍රි උත්සව පවතිනවිට බෙර ආදී තූර්ය වාදනය වනවිට වීණා ආදී වාදක ශබ්දය අසා යම් විශාලාවේ හත්දහස් සත්සියයක් රජවරු එම රටේ යුවරාජ සේනාපති ආදීන් අලංකාර කළ සිරුරු ඇතිව නැකැත් කෙළි සඳහා වීථියට බැසගත් විට. සැටරියනක් මහා සක්මනේ සක්මන් කරමින් සිටිද්දී අහස මැද සිටි පුන් සඳ දැක සක්මන් මළුවේ කෙළවර ඵලකය නිසා එහි ආධාරයෙන් සිටියේ අලංකාර වස්ත්‍රාභරණයන්ගෙන් විරහිතව, වනයේ විසිකරන ලද දර කැබැල්ලක් සේ තම ආත්මභාවය බලා අතීතය මතක් වී, මට වඩා ළාමක කෙනෙක් තවත් ඇත්දැයි සිතන්නේ, ප්‍රකෘති වසයෙන්, ආරක්‍ෂක ගුණ ඇති භික්ෂුව තුළ ඇතිවු අකමැත්ත උකටලී බව දුටු එම වන රොදේ අධිගෘහිත දෙවියා මේ භික්‍ෂුව සංවේගයට පත්කරමියි යන අදහසින් එකකො ත්වං අරඤ්ඤො විහරයි.
වනයේ අත්හත්හැර දමන ලද දරකඩක් ලෙස ඔබ හුදෙකලාව වනයේ වාසය කරයි. ස්වර්ගගාමී වු නිදොස් වු ඔබවහන්සේ කෙරෙහි. බොහෝදෙනෙක් විසින් ප්‍රියකරණු ලැබේ. නිරයේ ඉපැත්ම අත්හැර ස්වර්ගගාමී වන්නේය.
මේ කියන ලද ගාථාව අසා දෙවැනි දිනයේ දි බුදුන් වෙත එළඹ වැඳ වාඩි වූහ. ශාස්තෲන් වහන්සේ එම පුවත දැන ගිහිගෙයි විසීමේ දුක්ඛිතබව ප්‍රකාශ කිරීමට ෂඩ්විධ දුක් කැටිකොට මේ ගාථාව පවසා වදාළහ -
මහණකම අමාරුයි - ඇලීමත් එහි අසීරුයි.
අමාරුයි තව ටිකක් නො ගැලපෙන්නන් හා විසීමත්
මේ හැමට වඩාමත් අමාරුයි වාසෙ ගිහිගේ
කළයුතු එකම දේ රහත් වීමෙන් නිවීමයි.