8. මහාකාශ්යප තෙරුන්ගේ වස්තුව
පමාදං අප්පමාදෙන ආදි මේ දේශනාව බුදුරදුන් දෙව්රම වැඩ වාසය කරන සමයෙහි මහාකාශ්යප තෙරුන් අරභයා දෙසූසේක.
පිප්ඵලිගුහාවෙහි වැඩවිසූ මේ තෙරණුවෝ ආජගෘහයෙහි පිඬුසිඟා වැඩ පිණ්ඩපාතය නවතා, සවස් වේලෙහි ආලෝකයක් උපදවාගෙන ප්රමාද වන, අප්රමාදීව වසන දිය ගොඩ පර්වතාදියෙන් චුතවන උපදින සතුන් දිවැසින් බලමින් සිටියෝය. ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ සිටිමින්ම මා පුත් කාශ්යප අද කිනම් විහරණයකින් වසන්නේදැයි දිවැසින් සොයා බලනසේක්, තෙරණුවෝ සතුන්ගේ චුති උත්පත්ති පිළිබඳව දිවැසින් බලමින් සිටින බව දැක, සත්වයන්ගේ චුති උත්පත්ති නම් බුදුකෙනකුන්ගේ ඥානයෙනුත් පිරිසිඳ දැකීම අසීරුය. මවුකුස පිළිසිඳගෙන මවුපියන්ට නොදන්වාම චුතවී යන්නාවූ සත්වයන්ගේ පමණක් වුවද සංඛ්යාවක් කිරීම අපහසුය. ඔවුන් ගැන පමණක් දැන ගැනීම වුවද ඔබට අවිෂය වෙයි. ඔබගේ ඒ විෂය ගැන දැනීමද අල්පමාත්රය. ඉතින් සියල්ලන්ගේ එනම් චුතවන උපදින සියල්ලන්ගේ සංඛ්යාව දැන ගැනීම බුදුවරුන්ට පමණක් විෂය වන්නේයයි ආලෝක ධාරාවකින් තමන්වහන්සේ තෙරුන් හමුවෙහි සිටින්නාක් මෙන් වී මේ ගාථාව වදාළහ.
නොපමාවෙන් පමාබව දුරු කරන නුවණැත්තා
දිවැස් නම් පහට නැගි අශෝක වූ ධීර පුද්ගලයා
ශෝකී ජනයන් දෙස බලයි කදුමුදුනක සිට
බිම සිටිනවුන් බලන ලෙස
දිවැස් නම් පහට නැගි අශෝක වූ ධීර පුද්ගලයා
ශෝකී ජනයන් දෙස බලයි කදුමුදුනක සිට
බිම සිටිනවුන් බලන ලෙස
එහි නුදති යනු යම්සේ පොකුණකට පිවිසෙන අලුත් වතුර, එහි තිබුණු පැරණි වතුර කළඹා එයට නැවතීමට ඉඩක් නොදී තමන් උඩින් පලායන ජලය පිටත්කර හරීද, ඒ ලෙසින් නුවණැත්තා අප්රමාද ලක්ෂණය වර්ධනය කරගනිමින් ප්රමාදයට ඉඩක් නොතබා යම් කලක අප්රමාද වේගයෙන් ඒ ප්රමාදය හරියිද, පිටතට ඇද දමයිද, එසේ ඒ අතිශයින් දුරුකළ ප්රමාදය ඇතිව ඉහළම තලයට දියුණු කොටගත් දිව්යචක්ෂු සංඛ්යාත ප්රඥාමහාප්රාසාදයට ඔහුටම උචිත අප්රමාද ප්රතිපදාව පුරමින් ඒ ප්රතිපදාව තුළින්-හිණිමගකින් පහයකට නගින්නාක් මෙන් නැගී වනසා දැමූ ශෝක නමැති හුල් ඇතිව වාසය කරයි. අසොකො ප්රහීණ ශොක සල්ලතා (හුල්) ඇති, ශොකිනිං පජං ශෝකී ජනතාවයි. චුත වන්නාවූත් උපදින්නාවූත් සත්ත්ව සමූහයයි. අවෙක්ඛති යනු බලයි යන අරුත්ය. කුමක් මෙන්ද? පබ්බතට්ඨොව භුම්මට්ඨෙ පර්වත මුදුනකට නැගගත් පුද්ගලයා, බිම හෝ ප්රාසාදයක් උඩ හෝ ප්රාසාද මිදුලක හෝ සිටි අය දුෂ්කරත්වයකින් තොරව බලයි. එසේ ඒ ධෛර්ය සම්පන්න නැණවත් මහරහතන්වහන්සේ සසර ඉපදීමේ හෙවත් පැවැත්මේ බීජ නොනැසූ චුතවන්නාවූත්, උපදින්නාවූත් බාලයන් දකිත් යනු අර්ථයි.
ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියහ.
පස්වන මහාකාශ්යප තෙරුන්ගේ වස්තුවයි
9. පමා නොපමා යහළු භික්ෂූන්දෙනමගේ වස්තුව
අප්පමත්තො පමත්තෙසු යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ වාසය කරන සමයෙහි යහලු භික්ෂු දෙනමක් අරභයා දේශනා කළසේක.
ඒ භික්ෂූහු බුදුන්ගේ කමටහන් ගෙන ආරණ්යවාසයට ගියහ. එයින් එක් භික්ෂුනමක් කල් ඇතුවම දර ගෙනවුත් අඟුරුකබල සාදා ළදරු සාමණේරයන් සමග කථා කරමින් ප්රථම යාමය ගිනි තපියි. එක් භික්ෂුනමක් නොපමාව මහණදම් පුරමින් අනිත් භික්ෂුවට ඇවැත්නි, ඔය ලෙස නොකරන්න. පමාවන අයට සතරඅපාය තමන් වසන ගෙය මෙන් ළඟය. බුදුවරුනම් කපටිකමින් සතුටු කරවන්ට නුපුළුවනැයි අවවාද දෙයි. ඒ භික්ෂුව අනිත් භික්ෂුවගේ අවවාද නොඅසයි. අනිත් භික්ෂුව මොහු වචනයෙන් හික්මවිය හැක්කෙක් නොවේයයි ඔහුට කිසිවක් නොකියා අප්රමාදීව මහණදම් පිරීය.
අලස භික්ෂුව ප්රථමයාමයෙහි ගිනි තැපීමෙන් කල්ගෙවා අනිත් භික්ෂුව සක්මන් කොට නිදන ගැබට ආ කල්හි මහාකුසීතය, වැටී නිදාගැනීමට අරණ්යයට ආවෙහිද, බුදුන් හමුවේ කමටහන් ගෙන ආ නිසා නැගිට මහණදම් පිරීම නොවටීද? ආදිය කියා තමා වසනතැනට ගොස් වැද හොවී. අනිත් භික්ෂුව විශ්රාම ගෙන පශ්චිම යාමයෙහි නැගිට මහණදම් කෙරෙයි. ඒ භික්ෂුනම මෙසේ අප්රමාදීව විසීමෙන් නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය. අනිත් භික්ෂුව ප්රමාදයෙන්ම කල් ගෙවීය.
ඔවුහු වස්වැස බුදුරදුන් හමුවට ගොස් වැඳ එකත්පසෙක හුන්හ. බුදුරදුහු ඔවුන් සමග පිළිසඳර කථා කොට කෙසේ ද අප්රමාදීව මහණදම් කළාහුද? කෙසේ ද ඔබලාගේ පැවිදි කාර්යය මුදුන්පැමිණියේදැයි ඇසූහ. අලස භික්ෂුව කථා කරමින්, අනේ ස්වාමීනි, මේ භික්ෂුවට කුමන අප්රමාදයක්ද? ගියදා පටන් පෙරළී නිදාගනිමින් කාලය ගෙවී යයි කීවේය. මහණ, ඔබ කෙසේද? ස්වාමීනි, මම කල්තියාම දර ගෙනැවිත් අඟුරුකබල හදා ප්රථම යාමය ගිනි තපිමින් සිට නොනිදාම ගත කෙළෙමි. ඉන්පසු ඒ භික්ෂුව ඇමතූ බුදුරදුහු, මහණ ඔබ ප්රමාදීව සිට අප්රමාදයෙන් සිටිමියි කියන්නෙහිය. අප්රමාදීව සිටි අය ප්රමාදී කරන්නෙහිය. ඔබ මේ මගේ පුතු ඉදිරියේ ජවබල සිඳුණු දුබල අශ්වයකු හා සමානය. මේ භික්ෂුව ඔබ ඉදිරියේ ශීඝ්රගාමී ජවබලසම්පන්න අශ්වයකු හා සමානයයි වදාරා මේ ගාථාව ප්රකාශ කළහ.