3. උත්තරා උපාසිකාව පිළිබඳ කථා පුවත
“අක්කොධේන ජිනෙ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනයේ වැඩසිටියදී උත්තරාවගේ නිවසේ දන් වළඳා උත්තරා උපාසිකාව නිමිති කරගෙන වදාළහ.
රජගහනුවර සුමන සිටුවරයාගේ සිටු මැදුරේ පුණ්ණ නම් දිළින්දා බැලමෙහෙකර ජීවත් වේ. උන්ගේ බිරිඳ උත්තරාය ඔවුන් හා දියණියද සිටියාය. මේ අතර දිනක් සත් දිනක් නැකැත් කෙළි පැවැත්විය යුතුයයි රජගෙදරින් අණක් නිකුත් වුනි. මෙය අසා සුමන සිටුවරයා උදේම පැමිණි පුණ්ණ අමතා දරුව අපේ සේවක ජනයා නැකැත් කෙළි කෙළිනු කැමතිය. ඔබ නැකත් කෙළියට කැමතිද නැතිනම් සේවය කරන්නේදැයි විමසීය. ස්වාමීනි නැකැත් ක්‍රීඩාව නම් ධනය ඇත්තවුන්ටය, නමුත් මගේ ගෙදර හෙට දිනය සඳහාද කැඳබත් නැත. මට නැකැත් කෙළියෙන් වැඩක් නැත. ගොනු ලැබේනම් මම සී සානු කැමැත්තෙමියි පැවසීය. එසේ නම් ගොණුන් ගන්නැයි පැවසීය. ඔහු ශක්තිමත් ගොනුන් ද නගුල ද ගෙන බිරිඳ අමතා - සොඳුර නාගරිකයෝ නැකත් උත්සව කරති. මම දිළිදු නිසා බැලමෙහෙ කිරීමට යන්නෙමි. මට ද අද දෙගුණයක් ආහාර පිළියෙළ කරගෙන ආහාර රැගෙන එන්නැයි බිරිඳට කියා කෙතට ගියේය.
සැරියුත් තෙරුණුවෝ ද සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැද එදින ඉන් නැගිට මම අද කාටනම් සංග්‍රහ කරන්නේදැයි බලන්නේ පුණ්ණ දිළින්දා තමන්ගේ නුවණ දැලට හසුවී මොහු ශ්රද්ධාවන්තයෙක්ද? මට සංග්‍රහ කිරිමට මොහුට හැකිවේදැයි බලන්නේ. ඔහුගේ සැදැහැති බවත් එනිසාම ඔහුට මහාසම්පත් ලැබෙන බවත් දැන පා සිවුරු ගෙන සීසාන තැනට වැඩමවා ඉවුරුබඩ එක් වන ගුම්භයක් බලමින් වැඩසිටියහ.
පුණ්ණ, සැරියුත් තෙරුන් දැක සීසෑම නවතා පසඟ පිහිටුවා වැඳ දත්මැදීමට කෝටු අවශ්‍ය දැයි සිතා දැහැටි කූරක් කැපකර පිළිගැන්විය. අනතුරුව තෙරුන් පාත්‍රය ද පෙරහන ද එළියට ගෙන දුන්නේය. ඔහු පැන් අවශ්‍යව ඇතැයි සිතා පැන් පෙරා දුන්නේය. තෙරුන් සිතූහ. මොහු අනුන්ගේ වෙනත් ගෙයක වාසය කරයි. ඔහුගේ ගෙදොරට යන්නෙ නම් මොහුගේ බිරිඳට මා දැකීමට නොහැකි වන්නේය. ඇය බත් අරක්ගෙන මගට පිවිසේද එතෙක් මෙහිම සිටින්නෙමියි සිතූහ. එසේ එහිම ටිකවේලාවක් කවා ඇය මගට පිළිපන්බව දැන ඇතුළු නුවර දෙස බලා වැඩම කළහ.
ඇය අතර මගදී තෙරුන් දැකමෙසේ සිතුවාය. බොහෝ දිනවල දෙය්ය ධර්ම ඇතිවිට දෙන්නට කෙනෙක් නැත. අනෙක් දිනවල දෙන්නට දෙයක් නොමැති විට ආර්යන් වහන්සේ දකින්නට ලැබේ. නමුත් අද දෙය්ය ධර්මය ද ආර්යයන් ද ඇත. මුන්වහන්සේට සංග්‍රහ කරන්නෙමියි ඇය බත් භාජනය බිම තබා පසඟ පිහිටුවා තෙරුන් වැඳ ස්වාමීනි මෙය රළු හෝ ප්‍රනීත හෝ වේවා නොසිතා ඔබවහන්සේ මේ දාසයාට සංග්‍රහ කරනු මැනවයි. පැවසූහ. තෙරුන් පාත්‍රය පෙන්වා ඇය එක අතකින් භාජනය ඔසවාගෙන එක් අතකින් බත් දෙනවිට බත් බාගයක් දෙන විට ප්‍රමාණවත් යයි පවසා අත වැසුවේය. ඇය ස්වාමීනි ! එක කොටසක් පමණක් නොසෑහෙවි. ඔබවහන්සේගේ දාසයාට මෙලොව ලෝක සංග්‍රහය නොකොට පරලොව සංග්‍රහ කරන්න. ඉතිරියක් නොමැතිවම දෙනු කැමැත්තෙමියි. පවසා සියළුම බත් පාත්‍රයේ තැබීය. තෙපි මෙලොවදිම ලාභී වෙත්වායි පැතුවාය. තෙරුන් වහන්සේ එසේ වේවායි පවසා සිටගෙනම අනුශාසනය කර ජල පහසුව තිබෙන තැනෙක වාඩිවී බත් කිස කළහ. ඇය ද නැවත සහල් සොයාගෙන බත පිසුවාය. පුණ්ණ ද අඩකිරියක් පමණ තැන් සී සා බඩගින්න ඉවසා ගැනීමට නොහැකිව ගොනුන් මුදවා එක් සෙවන තැනකට පිවිස මාර්ගය බලන්නේ වාඩිවි සිටියේය.