10. අනාගාමී තෙරුන්ගේ කථා පුවත
“ජන්දජාතොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී එක් අනාගාමී වූ තෙර නමක් නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් එම තෙරුන්ගේ සද්ධි විහාරික භික්ෂූන් ස්වාමීනි ඔබවහන්සේ විශේෂ අධිගම්‍යයක් ඇති දැයි විමසුහ. තෙරුන් වහන්සේ අනාගාමී ඵලය නම් ගිහියන්ට ද ඇත. අර්හත්වයට පත්වූවිට ඔබලා සමග කථාකරන්නෙමියි ලජ්ජාවෙමින් කිසිවක් නොකියාම අපවත් වූයේ සුද්ධාවාස දෙව්ලොව පහළවුහ. අනතුරුව එකට වාසය කරන සද්ධි විහාරික භික්ෂුහු හඩා වැළපී බුදුන්වෙත ගොස් වැඳ හඬමින්ම එකත් පසෙක වාඩිවූහ. මේ නිසා බුදුරජාණන් වහන්සේ මහණෙනි කුමක් නිසා අඬනෝදැයි විමසුහ. ස්වාමිනි. අපේ උපාධ්‍යයන් වහන්සේ අපවත් වුහ. එසේ වේවා. මහණෙනි ඒ ගැන නොසිතන්න මරණය අනිවාර්යයෙන් සිදුවිය යුතු දෙයකි. ස්වාමීනි එසේය අපි එය දනිමු. එහෙත් උපාධ්‍යය තෙරුන් ගෙන් විශේෂ අධිගම්‍යයක් ඇත්දැයි විමසුවෙමු. උන්වහන්සේ කිසිවක් නොකියාම අපවත්වූහ. එනිසා අපි දුකට පත්වීමු. බුදුහු මහණෙනි ශෝක නොකරවු. ඔබගේ උපාධ්‍යායවරයා අනාගාමි ඵලයට පත්වූහ. අනාගාමි ඵලයට ගිහියෝ ද පත්වෙති. අර්හත්වයට පත්වීම ඔබලාට කියන්නෙමියි ලජ්ජාවන්නේ ඔබට කිසිවක් නොකියා කළුරිය කොට සුද්ධාවාසයේ පහළ වුයේය. ඒ නිසා සැනසෙව්. මහණෙනි ඔබලාගේ උපාධ්‍යයන් වහන්සේ කාමයන්හි නොබැඳුන සිත් ඇති හෙයින් නොබැඳුන සිතට පැමිණියේයයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
අවබෝදයෙහි නිවණෙහි ආසා ඇතිව
වඩමින් කමටහන් තුන්මග පල පතිව
අනගැමි මගින් කාමෙහි ආසා නැතිව
උතුමෝ ඉහළ යති ජලපහරින් මතුව
එහි ජන්දජාතො - යනු කරනු කැමති වශයෙන් පමණක් ජලය ඇත්තේ. උනන්දුවට පත්වූයේ අනක්ඛාතෙ තෙ - යනු නිවිමෙහි එය අසවලා විසින් කරන ලදී. හෝ නීලාදි වශයෙන් මෙබඳු යයි කියා හෝ නොකියන ලද අනක්ඛාත නම් වේ. මනසා ච ථුටො සියා යටත් පිරිසෙයින් තුන් මග ඵල සිතින් ස්පර්ශ කළේ පිරුනේ වෙයි. “අප්පටිබද්ධ චිත්ත” නම් අනාගාමී මාර්ග වශයෙන් කාමයන්හි නොබැඳුන සිතයි. කාමයන්හි නොබැඳුන සිත් ඇත්තේ උද්ධංසොතො - මෙබඳු භික්ෂුව අවිහයේ ඉපදී එතැන් පටන් ප්‍රතිසන්ධි වශයෙන් අකනිට්ඨ බඹලොවට යන්නේ උද්ධංසොත යනුවෙන් පවසති. ඔබගේ උපාධ්‍යයවරයා එබඳු කෙනෙකි යන අර්ථයි.
මේ දේශනය අවසානයේදී ඒ භික්ෂූන් වහන්සේලා අර්හත්වයෙහි පිහිටියාහුය. මහජනයාට ද දේශනය සාර්ථක විය.
11-12. නන්දිය පිළිබඳ කථා පුවත
“විරප්පවාසිං” - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ වැඩසිටිය දී නන්දිය නිමිති කරගෙන දේශනා කළහ.
බරණැස සද්ධා සම්පන්න කුලයක නන්දිය නම් පුත්‍රයෙක් වුයේය. හේ මවුපියන්ට අනුරූපවා ශ්‍රද්ධාවන්ත වු ප්‍රසන්න භික්ෂු උපස්ථායකයෙක් වීය. අනතුරුව දෙමාපියන් වයසට පත්වූ විට ඉදිරි පස මාමාගේ නිවසින් රේවතීනම් දියණිය ගෙන එනු කැමතිවිය. ඇය - ශ්‍රද්ධා සම්පන්න නොවුවා දන්දීම ද රුචි නොකළාය. නන්දිය එයට නොකැමතිවිය. අනතුරුව මව රේවතියට මෙසේ පැවසුවාය.
දරුව ඔබ මේ නිවසේ භික්ෂු සංඝයාට වැඩසිටින තැන් පිරිබඩ කොට අසුන් පනවන්න. මේස තබන්න. භික්ෂූන් පැමිණි විට පාත්‍රය ගෙන වාඩිකරවා පෙරහනකින් පැන්පෙරා වළදා අවසන පාත්‍රය සෝදා දෙන්න. මෙම කටයුතු කර මගේ පුතු සතුටු කරවා ගන්නැයි පැවසුවාය. ඇය එසේ කළාය. මෙලෙස ඇය කීකරු කෙනෙකැයි පුතාට දන්වා ඔහු පිළිගත්විට ටික දිනකට පසුව ආවාහ කළේය.
අනතුරුව නන්දිය මෙසේ පැවසුවේය. ඉදින් භික්ෂු සංඝයාට ද මහළු දෙමාපියන්ට ද උවටැන් කරන්නේනම් මගේ නිවසේ සිටිමට අවකාශ ලැබේ. වස්තුව ද ලබන්නේය. අප්‍රමාද වන්න. ඇය යහපතැයි කියා පිළිගෙන දින කීපයක් ශ්‍රද්ධාවන්තියක ලෙසට ස්වාමීන්ට උවටැන් කළාය. පුතුන් දෙදෙනෙක් බිහිකළාය නන්දියගේ දෙමව්පියෝ කළුරිය කළහ. නිවසේ සියළු සම්පත් ඇයටම අයත් විය. නන්දිතෙම දෙමව්පියෝ මියගිය විට එතැන් සිට නන්දිය මහා දානපතියෙක්ව භික්ෂූන්ට දන් තැබුවේය. කෘණපයින්ට හා පයින් යන්නන්ට ගෙදොර පිසු ආහාර තැබීය. ඔහු පසුකලෙක බණ අසා ආවාස දානයේ අනුසස් අසා ඉසිපතන මහා විහාරයේ කාමර සතර බැගින් ඇති සතරැස් ශාලා කරවා ඇඳ පුටු ආදිය ද සපයා එම ආවාසය පවරා දෙන්නේ බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දානයක් දී බුදුරජාණන් වහන්සේට දක්‍ෂිණොදකය පිරිනැමුවේය. (පැන්වඩා පිරිනැමීය) බුදුන්ගේ අත පැන් වත්කර දෙන විටම දිව්‍ය ලෝකයේ සියළු දිසාවන්හි පැතිරුණ දොළොස් යොදුනක් පළලට ද යොදුන් සියයක් උසට ද රුවන්මය ප්‍රාසාදයක් ද පරිවාර දිව්‍ය කාන්තාවක් ද පහළ විය.
ඉක්බිති එක් දිනක් මහමුගලන් තෙරුන් දෙව් ලොව චාරිකාවේ යෙදෙමින් එම ප්‍රාසාදය අබියස සිටියේ තමන් අබියසට පැමිණි දෙවිවරුගෙන් විමසා සිටිසේක. මේ දිව්‍ය අප්සරාවන්ගෙන් පිරුණ දිව්‍ය ප්‍රාසාද කවුරුන් උදෙසා පහළ වී දැයි එම දෙවියන් දිව්‍ය විමානයේ ස්වාමීගෙන් විමසා මෙසේ පැවසුහ. ස්වාමීනි නන්දියනම් ගෘහපති විසින් ඉසිපතනාරාමයේ බුදුන්ට විහාරයක් කරවා දෙන ලදින් ඔහු වෙනුවෙන් මේ විමානය පහළවිය. දිව්‍ය අප්සරාවන් ද එය දැක ප්‍රාසාදයෙන් බැස මෙසේ කීවාහුය. ස්වාමීනි අප නන්දියගේ පරිවාර ස්ත්‍රීහුය. මෙහි පහළ වු අපි ඔහු නොදැක අතිශයින් උකටලීව සිටිමු. වැලි පාත්‍රයක් බිඳ රන් බඳුනක් ගැනීමට සමාන වූ මිනිස් සම්පත්තිය අත්හැර දිව්‍ය සම්පත් ගැනීමට මෙහි පැමිණිමට ඔහුට කියාදෙන්න. තෙරුන් වහන්සේ දිව්‍යලෝකයෙන් පැමිණ බුදුවෙත එළඹ විමසුහ. ස්වාමීනි මිනිස් ලොව සිටියදීම කරන ලද කුශල කර්මවලට දිව්‍යලෝකයේ සමාන ප්‍රතිඵල ලැබේද? ඔබ ඒවාදැක මාගෙන් කුමකට විමසයිද?