6. එක්තරා කුලදුවක පිළිබඳවු කථා පුවත
“නත්ථි රාගසමො’ති’ ඉමං යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී එක්තරා කුල දැරියක් නිමිති කරගෙන දේශනාකළහ.
ඇගේ දෙමාපියෝ ඇය විවාහ කර දෙන මංගල උත්සව දිනයේ දී බුදුරදුන්ට ආරාධනා කළහ. බුදුහු භික්ෂු සංඝයා පිරිවරා ගෙන එහි වැඩමකර වැඩසිටියහ. එම මනාලියද? මැනවින් භික්ෂූන් වහන්සේලාට ජලය පෙරීම් ආදිය කරමින් ඔබ මොබ හැසිරෙයි. ඇගේ ස්වාමීයා ද ඒ ඒ දේ බලමින් සිටියේය. ඇය දෙස රාගික වශයෙන් බලාසිටි ඔහුගේ ඇතුළත කෙළෙස් මුදාහැරියේය. ඔහු නුවණින් පෙළුනේ බුදුරජාණන් වහන්සේට හෝ අසූමහා ශ්‍රාවකයින්ට උවටැන් නො කළේය. අත දිගහැර ඒ මනාලිය ගන්නෙමියි සිතුවේය. බුදුහු ඔහුගේ එම අදහස දැනගෙන එම ස්ත්‍රිය නොපෙනෙන ලෙසට අදිටන් කළහ. ඔහු බිරිඳ නොදැක බුදුන් දෙස බලා සිටියේය. ඔහු බලා සිටින විට බුදුහු කුමාරය, රාග ගින්න හා සමාන වෙනත් ගින්නක් නැත. දේවේශය හා සමාන කිළුටක් නැත. ස්ඛන්ධ පරිහරණය තරම් දුකක් නැත. නිවන් සුවය හා සමාන සැපයක් නැතැයි පවසා මෙම ගාථාව පැවසුහ.
රාගය වැනි වු ගින්නක් තුන් ලොවේ නැත
තරහව වැනි වු කැලලක් තුන් ලොවේ නැත
පස්කඳ දැරුම සැරසුම වැනි දුකක් නැත
පරම සුවය නිර්වාණය නමින ඇත
එහි - නත්ථි රාග සමො - දුම ජලය හෝ අඟුරු හෝ නොදක්වා ඇතුළතම දවා අළුමිටක් කිරීමට පටන් රාගය හා සමවු අනෙක් ගින්නක් නම් නැත. කලී යනු ද්වේශය හා සමාන අපරාධයක් ද නැත. ඛන්ධසමා යනු පඤ්චස්කන්ධය හා සමාන පරිහරණයෙන් ඇතිවන වෙනත් දුකක් නැත. සන්තීපරං යනු නිවන හා සමාන වූ වෙනත් උත්තරීතර සැපයක් ද නැත. නිබ්බාණං පරමං සුඛං යන්නේ අදහස එයයි.
දේශනය අවසන මනාල කුමරිය සෝවාන් ඵලයේ පිහිටියහ. එම අවස්ථාවේ දී බුදුහු එකිනෙකා පෙනන ආකාරයට අදිටන් කළහ.
7. එක්තරා උපාසකයෙකුගේ කථා පුවත
“ජිගච්ඡා” - යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ අලවි නුවර වැඩසිටියදී එක් උපාසක කෙනෙකුන් නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් බුදුහු දෙව්රම ගඳකිළියේ වැඩසිටියදී අළුයම ලොව බලන්නේ අලවි නුවර වැසි එක්තරා දුගී මිනිසෙකු දැක ඔහුගේ හේතු සම්පත් දැක පන්සියයක් භික්ෂූන් පිරිවරාගෙන අලවිනුවරට වැඩම කළහ. අලවි පුර වැසියෝ බුදුන්ට ආරාධනා කළහ. ඒ දුගී මිනිසා ද බුදුන් වැඩිය අසා බුදුවෙත එළඹ ධර්මය අසනෙමියි සිතක් ඇති කර ගත්තේය. එදිනම ඔහුගේ එක් ගවයෙක් පළා ගියේය. එනිසා ඔහු ගවයා සොයා යන්නේද ධර්මය අසන්නේදැයි සිතා ගවයා සොයාගෙන පසුව ධර්ම දේශනය අසමියි සිතා අළුයම ගෙයින් නික්මුනේය. නගර වැසියෝ බුදුන්ට ආරාධනා කර වඩා හිඳුවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් පිරිනමා අනුමෝදනය සඳහා පාත්‍රය ගත්තාහුය. බුදුරජාණන් වහන්සේ යමෙක් උදෙසා තිස්යොදුන් මග ගෙවා පැමිණියේද ඔහු ගොනෙක් සොයමින් වනයට ගිය නිසා ඔහු පැමිණිවිට ධර්මය දේශනා කරන්නෙමියි නිහඬ වුහ.
එම පුරුෂයා ද දවල්වී ගොනා දැක ගවගාලට ගෙනගොස් දමා ඉදින් අනෙකක් නැත බුදුන් දැක වැදීම් පමණක් හෝ කරමියි. බඩගින්නෙන් පෙළුනද ගෙදර යාමට නොසිතා පැමිණ බුදුන් වැඳ එකත් පසෙක සිටියේය. බුදුහු ඔහු වාඩිවී සිටියදී උපස්ථායකයින්ගෙන් භික්ෂු සංඝයා වළදා ඉතිරිවු දෙයක් තිබේදැයි විමසා ස්වාමීනි සියල්ල ඇත යැයි පැවසුවිට එසේ නම් මේ තැනැත්තාට කෑම දෙන්නැයි පැවසුහ. ඔහු බුදුන් පැවසු තැනම ඔහු වාඩි කරවා කැඳ බත් ආදී කෑයුතු පානය කළ යුතු ආදියෙන් හොඳින් සැලකූහ. ඔහු බත් අනුභව කොට කට සේදුවේය. මෙතැන හැර ත්‍රිපිටකයේ කවර තැනකවත් බුදුරජාණන් වහන්සේගේ ආහාර පිළිබඳ විමසීමක් දක්නට නොලැබේ. ඔහුගේ කරදර නිසා විසිරී ගිය සිත එකඟවිය. අනතුරුව බුදුහු අනුපිළිවෙල කථාව කර සිව්සස් දේශනය කළහ. ඒ තැනැත්තා දේශනය අවසානයේ සෝවාන් ඵලයේ පිහිටියේය. බුදුන්ද අනුමෝදනා කර නැගීසිට වැඩම කළහ. මහජනයා බුදුන් පසුපස ගමන්කර නැවතුනහ.