2-4. මාරයා පිළිබඳ වූ කථා පුවත
“සුසුඛං වත” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ පඤ්චපාල නම් බ්‍රාහ්මණ ගමෙහි වැඩසිටිය දී මාරයා අරමුණු කරගෙන දේශනා කළහ.
එක් දිනක් බුදුහු පන්සියයක් කුමරියන්ගේ සෝවාන් ඵලයට හේතු සම්පත් දැක ඒ ගමම ඇසුරු කොට ගෙන වැඩ වාසය කරති. මේ කුමාරිකාවෝද නැකැත් දවසේ ගඟට ගොස් නා සැරසී, නගරය දෙස බලා පිටත්වුහ. බුදුරජාණන් වහන්සේ ද එම ගමට පිවිස පිඬු පිණිස හැසිරෙති. අනතුරුව මාරයා මුළු ගමේම මිනිසුන්ගේ සිරුරුවලට ආවේශ වී බුදුන්ට බත් හැන්දක් තරම්වත් නොලැබෙන ලෙසට කටයුතු කළේය. මෙසේ කොට පාත්‍රය සෝදා ගෙන වඩින බුදුන් වෙත ගම් දොරදී මෙසේ පැවසුවේය. ශ්‍රමණය පිණ්ඩපාතය නොලැබුනේද? බුදුහු ඇයි මාරය එබඳු දෙයක් ඔබ කළේ. එසේනම් ස්වාමිනි නැවත වඩින්න. එහිදී නැවත බුදුන් වැඩම කළේනම් සියල්ලන්ගේ සිරුරට ආවේශ වී බුදුන් ඉදිරියේ අත්පුඩි ගසා කෙළිකවටකම් කරන්නෙමියි සිතීය මේ අවස්ථාවේදීම ඒ කුමාරිකාවරු ගමට පිවිස බුදුන් දැක වැඳ එකත් පසෙක සිටියාහුය. මාරයා ද ස්වාමීනි පිණ්ඩපාතය නොලැබීමෙන් බඩගිනි දුකෙන් පෙළෙන්නේද කියා විමසීය. බුදුහු පාපි මාරය ! අපි කිසිවක් නොලැබද බඩගිනි දුකෙන් නොපෙළී ආභස්සර ලොව මහබඹු ලෙස ප්‍රීති සුවයෙන්ම කල් ගත කරනෙමුයි පවසා මේ ගාථාව පැවසුහ.
රා දොස් මෝහ ඈ
කිසිවක් නොමැති උතුමෝ
“ආබස්සර” බඹුන් මෙන්
සැපෙන් සතුටෙන් සිටිති හැමදා
යම්බඳු අපට රාගාදි කිසි පලිබෝධයක් නැත් ද එසේ වු අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙමු. ආභස්සර බ්‍රහ්මයන් ලෙස ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වෙමු.
තත්ථ යෙසං නොති - එහි යම් අපගේ පළිබෝධ වශයෙන් රාගාදි බාධකයක් නොමැතිව පීතිඟඛා ආභස්සර දෙවියන්ලෙසට ප්‍රීතිය අනුභව කරමින් ප්‍රීති සුව කමින් කල් ගත කරන්නේද එසේම කල්ගත කරමු. අපිද මෙසේ වන්නෙමු. යන අයයි.
මේ දේශනය අවසානයේ පන්සියයක් කුමරියෝ සෝවාන් ඵලයේ පිහිටියහ.
5. කොසොල් රජු පරාජය වීම පිළිබඳ කථා පුවත
“ජයං වෙරං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී කොසොල් රජුගේ පරාජයවීමක් නිමිති කරගෙන දේශනා කළහ.
මේ රජු කාසි ගම නිසා බෑනා වූ අජාසත් කුමරු සමග යුද්ධ කර ඔහු විසින් තෙවරක්ම පරාජය කරන ලද්දේ තෙවැනිවර මෙසේ සිතුවේය. මට කිරිසුවඳ කටින් නොගිය බාලයෙකු පරාජය කිරීමට නොහැකිවීමි. මේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද? මෙසේ සිතමින් උපවාස කරමින් ඇදේ වැතිරී සිටියේය. මෙම ආරංචිය මුළු විහාරයේත් නුවරත් පැතිර ගියේය. භික්ෂූන් වහන්සේලා ස්වාමීනි ! කොසොල් රජු කාසි ග්‍රාමය සදහා තුන් වරක් යුද්ධ කොට පරාජය වී, කටින් කිරි සුවඳ නොගිය කෙනෙකු පරාජය කිරීමට මට නොහැකි වී යයි, ද එනිසා මේ ජිවිතයෙන් වැඩක් නැතැයි ද ආහාර වර්ජනය කර ඇදෙහි හොත් යයි, බුදුරදුන්ට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාගේ කථාව අසා මහණෙනි, ජයගැනීමෙන් වෛරය ඇතිවේ. පැරදීමෙන් දුකක් ඇතිවේ. යනුවෙන් පවසා මේ ගාථාව දේශනා කළහ.
දිනුවොත් යුද්ධයෙන් වයිරය ඇති වේවී
පැරදුන හොත් දුකින් වැතිරී නිදි යාවී
වෙන් වු මේ දෙකින් සාමය ලැදියා වී
දුක් කරදර කිසිත් නැතිවම සැනසේවී.
අනුන් පරාජය කිරීමෙන් වෛරය ඇති කෙරෙයි. පරාජයට පත් තැනැත්තා දුක සේ හොවී උපශාන්ත තැනැත්තා සුවසේ සිටී. එතුමා ජය පරාජය දෙකම අත්හැරින ලද්දේ වේ.
ජය යනු අන් අය පරාජය කිරීමෙන් වෛරයට ලක් වේ. පරාජිත තැනැත්තා කවදා හෝ පස මිතුරා පිටු දකිමිදැයි දුක් විදී දුක්ඛංසෙති - සියළු ඉරියාපථ යන්ගෙන් දුකම ලබයි. යන අරුතයි උපසන්තා යනු අභ්‍යන්තරයේ ඇතිවන රාගාදී කෙලෙස් නැති රහතන් වහන්සේ ජය පරාජය දෙකම අත්හැර සුවසේ සිටී. සියළු ඉරියාපථයන්හි සුවසේ වාසය කරයි. යන අරුතයි.
දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදීඵලවලට පත්වූහ.
6. එක්තරා කුලදුවක පිළිබඳවු කථා පුවත
“නත්ථි රාගසමො’ති’ ඉමං යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී එක්තරා කුල දැරියක් නිමිති කරගෙන දේශනාකළහ.
ඇගේ දෙමාපියෝ ඇය විවාහ කර දෙන මංගල උත්සව දිනයේ දී බුදුරදුන්ට ආරාධනා කළහ. බුදුහු භික්ෂු සංඝයා පිරිවරා ගෙන එහි වැඩමකර වැඩසිටියහ. එම මනාලියද? මැනවින් භික්ෂූන් වහන්සේලාට ජලය පෙරීම් ආදිය කරමින් ඔබ මොබ හැසිරෙයි. ඇගේ ස්වාමීයා ද ඒ ඒ දේ බලමින් සිටියේය. ඇය දෙස රාගික වශයෙන් බලාසිටි ඔහුගේ ඇතුළත කෙළෙස් මුදාහැරියේය. ඔහු නුවණින් පෙළුනේ බුදුරජාණන් වහන්සේට හෝ අසූමහා ශ්‍රාවකයින්ට උවටැන් නො කළේය. අත දිගහැර ඒ මනාලිය ගන්නෙමියි සිතුවේය. බුදුහු ඔහුගේ එම අදහස දැනගෙන එම ස්ත්‍රිය නොපෙනෙන ලෙසට අදිටන් කළහ. ඔහු බිරිඳ නොදැක බුදුන් දෙස බලා සිටියේය. ඔහු බලා සිටින විට බුදුහු කුමාරය, රාග ගින්න හා සමාන වෙනත් ගින්නක් නැත. දේවේශය හා සමාන කිළුටක් නැත. ස්ඛන්ධ පරිහරණය තරම් දුකක් නැත. නිවන් සුවය හා සමාන සැපයක් නැතැයි පවසා මෙම ගාථාව පැවසුහ.