3. පධානික තිස්ස තෙරුන්ගේ කථා පුවත.
“අත්තානඤ්චෙ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී පාධානික තිස්ස තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
හේ බුදුන්ගෙන් කර්මස්ථාන ලබාගෙන පන්සියයක් භික්ෂු ගෙන ආරණ්‍යවාසයට ගොස්, ඇවැත්නි ජීවමාන බුදුන් වැඩසිටියදීම ඔබලා කර්මස්ථාන ලබාගෙන සිටින හෙයින් අප්‍රමාදීව ධර්ම කරන්නැයි අවවාද දී තමන් ගොස් වැතිරී නිදාගනී. එම භික්ෂූන් පළමු යාමය සක්මන් කර, මධ්‍යම යාමයේදී විහාරයට පිවිසෙති. ඔහු නිදාගෙන අවදි වූ අවස්ථාවේ දී ඔවුන් සමීපයට ගොස් කීම ඔබ වහන්සේලා වැතිරී නිදන්නෙමුයි ආවේද? වහා නික්මී ධර්මය කරන්නැයි කියා තමන් ගොස් පළමු ලෙසටම නිදාගනී. අනෙක් තෙරවරු මධ්‍යම යාමයේ ද පිටත සක්මන් කර අළුයම් වේලේ පන්සලට පිවිසෙති. අර තෙරුන් නැවත අවදී වී ඔවුන් වෙත ගොස් ඒ භික්ෂූන් ආරාමයෙන් බැහැර කොට නිදාගනී. මේ නිසා එම භික්ෂූන් වහන්සේලාට සජ්‍ඣායනාවක් හෝ කර්මස්ථානයක් හෝ සිහිපත් කිරිමට නොහැකිවුහ. සිත අන් අතකට ගියේය. එම භික්ෂුහු අපේ අචාර්යන් වහන්සේ ඉතා අධික ලෙස පටන් ගත් වෛර ඇතිව අප වෙහෙසවා ඔහු කරන නිදාගැනීමේ ක්‍රියාව දැක ඇවැත්නි අපි නැසුනෙමු. අපේ ගුරුවරයා හිස් තැනැත්තෙකි බොරුවට අපට කෑගසතියි කීවාහුය. එම භික්ෂූන් අතිශයින් නිදිමතින් ක්ලාන්තව එක භික්ෂුවකටද විශේෂ අධිගම්‍යයක් ලබාගැනීමට නොහැකිවිය. එම භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීමෙන් අනතුරුව තථාගතයන් වහන්සේ සමීපයට ගොස් බුදුන් සමග පිළිසඳර කථාකොට අනතුරුව බුදුරජාණන් වහන්සේ කිම මහණෙනි අප්‍රමාදීව මහණ දම් පිරුවාහුදැයි විමසුහ. ඔවුහු තමන්ට සිදුවු ගැහැට පිළිබඳවත් ගුරුවරයාගේ ස්වරූපයත් පෙන්වා දුන්හ. බුදුරජාණන් වහන්සේ මහණෙනි දැන් පමණක් නොව පෙරද මේ තැනැත්තා ඔබට අනතුරක්ම, බාධාවක්ම කළේ යයි පවසා සිටිවිට එම භික්ෂූන්ගේ ආයාචනය පරිදි,
මව්පියන් සමීපයේ නො වැඩුනු, ගුරුවරයකු සමීපයේ පුහුණු නොවූ මේ කුකුළා හැඬලිය යුතු කාලය හෝ නො හැඬලිය යුතු කාලය නො දනී.
අකාලරා වී කුක්කුට ජාතකය විස්තර කොට වදාළසේක.
එදා නොකල්හි නාද කළ කුකුළා මේ පධානික තිස්ස තෙරුන් විය. මේ පන්සියයක් භික්ෂුහු ඒ තරුණයෝ වුහ. දිසාපාමොක් ආචාර්ය වුයේ මම යි. බුදුහු මෙම ජාතකය විස්තර කර මහණෙනි! අන් අයට අවවාද කරන තැනැත්තා තමා සුදනෙක් වියයුතු යයි පවසමින් මේ ගාථාව දේශනා කළහ. අන් අයට අනුශාසනා කරණුයේ තමන්ද එසේ කළ යුතුය. තමන් දමනය නොවී අන් අය දමනය කළ නොහේ.
තමන් පළමුව සුදුසෙකු වී - අනුන් දෙවනුව හික්ම වියයුතු
තමන් නො දැමී දුදනෙකුම වී - අනුන් සුදනන් කෙසේ කරමුද?
මෙහි අදහස යම් සේ භික්ෂුව ප්‍රථම යාමය ආදියේ සක්මන් කළ යුතු යයි පවසා අවවාද කරයි. තමන් එසේ නොකරයි. අන්තාන ඤෙච තථා කයිරා යථඤඤමනුසාසති අන් අයට උපදෙස් දෙන ලෙසට තමන් ද පිළිපැදිය යුතුය. සුදන්තො වත දම්ථොති යම් ගුණයකින් අන් අයට අවවාද කරන්නේද තමන් ද ඒ ලෙස දමනය විය යුතුය.
මෙම දෙසුම අවසානයේ පන්සියයක් වූ එම භික්ෂූන් වහන්සේලා අරහත්වයට පැමිණියහ.
4. කුමාර කාශ්‍යප මාතාවගේ කථා පුවත.
“අත්තාහි අත්තනෝ නාථො’ යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවත දෙව්රම් වෙහෙර වැඩසිටිය දී කුමාර කාශ්‍යප තෙරුන්ගේ මෑණියන් අරමුණු කරගෙන දේශනා කළහ.
ඇය රජගහනුවර සිටුදුවක්ව ඉපිද යමක් තේරුම් ගැනීමට හැකි තත්ත්වයට පැමිණි තැන් සිටම පැවිද්ද ඉල්ලා සිටියාය. මේ අතර ඇගේ දෙමාපියන් ඉදිරියේ නැවත නැවතද ඉල්ලා සිටියත් පැවිදිවීමට අවස්ථාව නොලැබුණි. වැඩිවියට පත්ව පතිකුලයට ගොස් සැමියාගේ නිවසේ පතිනිය වී වාසය කළාය. මේ අතර වැඩිකල් නොගොස්ම ඇගේ කුස තුළ දරුගැබක් පිහිටියේය. ඇය ගැබ පිහිටි බව නොදැන සැමියාගෙන් පැවිද්දට අවසර ඉල්ලීය. පැවිදිවීමට අවස්ථාව ලබාගත්තාය. එම සැමියා මහත් සත්කාරයෙන් භික්ෂුණී සංඝයා වෙත පමුණුවා නොදැනුවත්වම දෙව්දත් තෙරුන්ගේ පක්ෂයේ භික්ෂුණීන් වෙත පැවිදී කරවීය.
පසු අවස්ථාවක දී භික්ෂුණීහු ඇගේ ගර්භණීභාවය දැනගෙන, මේ කුමක් නිසා සිදුවීදැයි විමසා සිටියහ. ඇය ආර්යාවනි මම නොදනිමි මගේ සීලයට හානියක් නොවීයයි පැවසුවාය. අනෙක් භික්ෂුණීන් ඇය දෙව්දත් තෙරුන් වෙත ගෙනගොස් මේ භික්ෂුණිය ශ්‍රද්ධාවෙන් පැවිදි වූ තැනැත්තියකි. මැය ගැබිනියක බව දනිමු. එහෙත් කාලය නොදනිමු. දැන් කුමක් කරන්නදැයි විමසුහ. දෙව්දත් තෙරුන් මගේ අවවාදයේ පිහිටන භික්ෂුණීන්ට අපකීර්තියක් සිදුවේ යයි පවසා ඒ ගැන පමණක් සිතා ඇය උපැවිදි කරන්නැයි පැවසීය. එම තීරණය අසා මේ ගැබිණි භික්ෂුණීය ආර්යවනි මාව නොනසවයි ද මම දේවදත්ත වෙනුවෙන් පැවිදි නොවු නිසා බුදුන් වෙත දෙව්රමට ගෙන යන්නැයි ඉල්ලා සිටියාය. එම භික්‍ෂුණීහු ඇය සමග ගොස් දෙව්රම් වෙහෙරේ දී බුදුරදුන්ට දන්වා සිටියහ. බුදුරජාණන් වහන්සේ ඇය ගිහිව සිටියදී මේ ගර්භය පිහිටිබව දැන අන් අයගේ චෝදනාවෙන් ගලවා ගැනීම සඳහා - පසේ නදී කෝසල, අනාථ පිණ්ඩික සිටුතුමා සුළු අනේපිඬු සිටුතුමා, විසාඛා උපාසිකාව සහ අනෙක් බලවත් කුලවල අය ද කැඳවා උපාලි තෙරුන් ඇණවීය. යව මේ සිව් පිරිස මැඳ ඇය පිළිබඳව විනිශ්චයක් කොට ඇගේ පිරිසිදු බව සනාථ කරන්නැයි නියම කළහ. උපාලි තෙරුන්වහන්සේ කොසොල් රජු ඉදිරියේ විසාඛාව කැඳවා ඇයට ඇය පරීක්ෂා කිරීමට නියම කළහ. එතුමිය වටතිර ඇද ඇයව පරික්ෂා කරමින් අත්පා නැබ. උදරය ආදිය පරික්ෂාකර බලා දින මාස පිළිබඳව තීරණය කර ඇය ගිහිව සිටියදී ගැබ පිහිටිය එකක් බව තිරණය කර තෙරුන්ට ඇගේ නිරවද්‍ය බව පැවසුවාය. මෙහිදී අධිකරණ විනිශ්චය කළ තෙරුන් වහන්සේ විසින් පිරිස මැද ප්‍රකාශ කළහ. ඒ අනුව ඇගේ පවිත්‍රත්වය ප්‍රසිද්ධියට භාජනවුණි. අනතුරුව ඇය දරු ගැබ මුහුකුරා ගිය පසු පදුමුත්තර බුදුන් පාමුල කරන ලද ප්‍රාර්ථනය අනුව මහත් ආනුභාව ඇති පුතණු කෙනෙකුන් බිහි කළාය.