8-9. ආනන්ද තෙරුන්ගේ උදාන ගාථා පුවත
“අනෙකජාති සංසාරං” යන මේ දහම් දෙසුම ශාස්තෲන් වහන්සේ බෝරුක මුල වැඩ සිටියදී උදාන වශයෙන් ප්‍රකාශ කොට, පසු අවස්ථාවකදී ආනන්ද තෙරුන් විසින් විමසූ විට පැවසූහ.
උන්වහන්සේ බෝරුක මුල වැඩ සිටියදී හිරු උදාවීමට පෙරම මාර පරාජය කොට පළමු යාමයේ පුර්වේනිවාසානු ස්මෘති ඥානය මතු කරගෙන මධ්‍යම යාමයේ දී දිවැස පිරිසිදු කරගෙන - පැසුලු අවස්ථාවේදී සත්ත්වයන් කෙරෙහි ලෝසතුන් කෙරෙහි මහ කරුණාවෙන් හේතු ප්‍රත්‍ය ධර්ම කෙරෙහි ඤාණයට බැස එය අනුලෝම පටිලොම වශයෙන් සිහිකරමින් අරුණ නැගෙනවිට සම්මා සම්බුද්ධත්වය පසක් කරගෙන අපමණ බුදුවරු සියදහස් ගණනක් අත්නොහළ උදානය දක්වමින් මේ ගාථාව දේශනා කළහ.
අපමණ සසර දුක්විඳ දිවයමින් සිට
අපසතු සිරුරු ගෙය සාදන විටින් විට
වඩුවා සොයා යළි යළි ගිය ගමන් පිට
අපසතු සිරුරු ගෙය සාදන විටින් විට
වඩුවා සොයා යළි යළි ගිය ගමන් පිට
හඳුනාගතිමි ඔහු “තණ්හා” නමින් සිට
නැවත ගේ තනනට
බැරිලෙස ඔහුට මොනවට
කැණිමඩල ලී කොට
කඩා බිඳ ගේ දැමිණ පොළවට
නැවත ගේ තනනට
බැරිලෙස ඔහුට මොනවට
කැණිමඩල ලී කොට
කඩා බිඳ ගේ දැමිණ පොළවට
“තත්ථ එහි ගහකාරකං ගවේසන්තොති” මම මෙම ආත්මභාව නමැති ගෙය කරන තෘෂ්ණා නැමති වඩුවා සොයමින් යම් නුවණකින් ඔහු දැක ගැනීමට හැකිවේද ඒ බෝධි ඥාණය සඳහා දීපංකර බුදුපාමුල කරන ලද අභිනීහාර ඇතිව මෙතෙක් කල් “අනෙකජාතිසංසාරං” නොයෙක් ජාති ලක්‍ෂයක් මේ සසරවට අනිබ්බිසං ඤාණ නොදැන ඤාණය නොලැබම - සන්ධාවිස්සං - සැරි සැරීමි මැරෙමින් ඉපදෙමින් සැරි සැරීමයි. “දුක්ඛාජාති පුනප්පුන්නති මේ ගේ කරන්නා සොයමින් නැවත නැවත ඉපදීම - මැරීම යන දුක් යම් හෙයකින් ජරා ව්‍යාධි මරණ මිශ්‍රව දුක නැවත නැවත ඇතිවන දුක් එය නොදුටුවිට නොනැවතේ එනිසා නොනිමෙන දුක් සොයමින් ඇවිද්දෙමි යන අර්ථය දේ. “දිට්ඨොසිති” සර්වඥතා ඥානය අවබෝධ කරගත් මවිසින් මෙය දුටුවෙමියි. “පුනගෙහන්ති” නැවත මේ සසර දුකේ ආත්මභාව සංඛ්‍යාත වූ මගේ ගෙය නැවත ඉදිකළ හැකි නොවේ. සබ්බා තෙ ඵාසුකා ඔබගේ සියළු ඉතිරි කෙලෙස් පහසුකම් මවිසින් වනසා දමන ලදී. ගහකූටං විසංඛිතනති මේ ඔබ විසින් කළ ආත්මභාව ගෙයි අවිද්‍යා සංඛ්‍යාත වූ කැණිමඩලද මවිසින් වනසා දමන ලදිමි. “විසඞඛාර ගතං චින්තනති” - දැන් මගේ සිත සංකාර රහිතවු නිවන අරමුණු වශයෙන් ගෙන තබන ලදිමි. “තණ්හානං බයමජ්‍ඣගාති” තෘෂ්ණා ක්‍ෂය වූ අර්ථය අවබෝධ කර ගතිමි.
10-11. මහධන සිටුපුතුගේ කථා පුවත
“අචරිත්වා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ඉසිපතනාරාමයේ වැඩ සිටිය දී මහාධන සිටුතුමා අරමුණු කරගෙන දේශනා කළහ.
මහධන සිටුපුත් තෙම බරණැස අසූකෙළක් ධනය ඇති කුලයක උපන්නේ ය. ඔහුගේ දෙමාපියෝ මේ ලෙස සිතූහ. අපගේ කුලයේ මහාභෝග සමුහය පරිභෝග කරණු මිස අනෙක් කටයුත්තකින් ප්‍රයෝජනයක් නැත. එනිසා මේ සිටු පුතුට ගීත වාදනය පමණක්ම ඉගැන්වුහ. දෙමාපියන් මහළු වයසට පත්වන විට පුතුට ආවාහයක්ද කරදෙන ලදී. අනතුරුව ටික කලකින් දෙමාපියෝ කළුරිය කළහ.
අසූ දෙකෝටියක් ධනය තිබුන එම නගරයේ කුල දුවක් ඇතිවිය. ඇගේද දෙමාපියෝ එලෙසම සිතා නැටුම් ගැයුම් පමණක්ම ඉගැන්වුහ. ඔවුන් දෙදෙන වැඩිවියට පත්වුවිට විවාහ වූහ. අනතුරුව එම දෙමාපියන්ද පරලොව ගියහ. දෙ අසූ කෝටියක් වු ධනය එකම ගෙයි තැබුනි. සිටුපුත් තෙම දිනකට තෙවරක් රාජ සේවය සඳහා යයි. මේ අතර නගරයේ ධූර්තයෝ - මේ සිටුපුත් සුරාලෝලී කෙනෙක් වන්නේ නම් අපට පහසු වන්නේය. ඔහුට සුරාලෝලි බව ඇතිකරනෙමුයි ඔවුන් සුරාගෙන බදින ලද මස්ද ලුණු හා හකුරු ද දසරුවේ බැඳගෙන අලයක් (පුලුස්සා) ගෙන එම රාජ කුලයෙන් ආපසු එමින් සිටින මග රැක බලාසිට සිටුකුමරුට රා පොවා ලුණු හා හකුරු කටට දමා පුලුස්සන ලද අලය සපා සිටුපුත්‍රය සියවසක් ජීවත් වන්නැයි සිටුපුත්‍රය ඔබ නිසා අපට කෑමට බීම ලැබෙන්නේ යයි කීවාහුය. හේ ඔවුන්ගේ වදන් අසා පසුපස එන්නා වූ සුළු සේවකයාගෙන් විමසුවේය. මේවා බොන්නද? ඔහු ස්වාමීනි. එක්වරක් බොන්න. සුරා ඉතා ප්‍රියමනාපය. ස්වාමිනි. මෙලොව මේ හා සමවූ පානය කළ යුතු වෙන දෙයක් නැත. ඔහු ද මම ද පානය කිරීම වටී යයි කියමින් ටික ටික ගෙන්වාගෙන බොයි. අනතුරුව නොබෝ කලකින් එම සුරාධූර්තයෝ බොන බව දැන ඔහු පිරිවරා ගත්හ. කල්ගතවන විට පිරිවර බොහෝ විය. ඔහු සියයකින් ද කහවණු දහසකින් ද සුරා ගෙන්වාගෙන බොන්නේ පිළිවෙලින් හුන්තැන කහවණු ගොඩගසා රාබොමින් මේ මල් ගෙන එන්න මේ සුවඳ දැ ගෙන්වන්න. මේ ජනයා සූදුවෙහි දක්‍ෂය මේ ජනයා නැටීමේ දක්‍ෂයෙකි මේ තැනැත්තා ගීතයෙහි වාදනයෙහි දක්‍ෂය මොහුට දහසක් දෙන්න. මොහුට දෙදහසක් දෙන්න. මේ ලෙසින් වියදම් කරන්නේ නොබෝ දිනකින්ම තමා සතු අසූකෙළක් ධනය වැය කොට ස්වාමීනි ධනය අවසන් වී යයි පැවසූ විට ඇයි මගේ බිරිඳ සතු ධනය නැත්දැයි විමසා ඇති බව පැවසු විට ඒවාද ගෙන්වා ගෙන ඒවාද එලෙසම වැය කොට පිළිවෙළින් ආරාම උයන් වතු සියල්ල විකුණා පිළිවෙළින් භාජන පොරෝණ හා ඇඳ පුටු පවා විකුණා සුරාවට වැය කළේය. අන්තිමට තම නිවස පවා විකුණා දමා පාරට බසින්නට සිදුවිය. හේ බිරිඳ සමග අන් අයගේ ගෙවල්වල අගපිල්වල වාසය කරමින් මැටි කබලක් ගෙන පිඬු පිණිස හැසිරි ඉඳුල් බත් කන්නට විය.