3. උත්තරී තෙරණියගේ කථා පුවත
“පිරිජිණ්ණ මිතුං” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී උත්තර නම් භික්ෂුණියක් නිමිති කරගෙන දේශනා කළහ.
තෙරණිය අවුරුදු විසි හතක්ම පිඩුසිගා ලබන ලද පිණ්ඩපාත ඇත්තී - අතුරු වීථියේ දී එක් භික්ෂු නමක් දැක පිණ්ඩපාතය දෙන්නදැයි විමසා ප්රතික්ෂේප නොකළ බව නිසා සියළු දෙය දී නිරාහාරව සිටියාය. මෙලෙස දෙවැනි දිනයේදී ද තුන්වැනි දිනයේදී ද එම භික්ෂූන් වහන්සේම එම ස්ථානයේදීම බත් දන් දී නිරාහාරව සිටියාය. සිව්වැනි දිනයේදී ඇය පිඩුපිණිස යන්නේ එක් බාධා සහිත තැනක දී බුදුරජාණන් වහන්සේ දැක අයිනකට එල්ලෙන තම සිවුරු කොණ පෑගී සිටගෙන සිටීමට නොහැකිව පෙරළී වැටුණාය. බුදුරජාණන් වහන්සේ ඇය වෙත වැඩමකරවා සොහොයුරිය ඔබේ ආත්මභාවය (සිරුර) දිරාගොස්ය නොබෝ කලකින්ම බිදෙන්නේයයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
ලස්සණ දැකුම්කළු මේ සුදු සිරුර ඔබේ
රෝදුක්වලට නිතරම ඉඩ තබනු ලැබේ
කුණුවන, දිරන, බිඳෙන ගති එමට තිබේ
එය මරණයෙන් කෙළවර වෙයි සිතනු ඉබේ
රෝදුක්වලට නිතරම ඉඩ තබනු ලැබේ
කුණුවන, දිරන, බිඳෙන ගති එමට තිබේ
එය මරණයෙන් කෙළවර වෙයි සිතනු ඉබේ
මෙහි අරුත - නැගණිය ඉදං ඔබගේ සිරුර නම්වූ රූපං රූපය මහළු බැවින් පරිජිණ්ණං - දිරා යයි. මෙම සිරුර සියළු රෝගාබාධයන්ට වාසස්ථාන වන බැවින් රොගනිඩ්ඪං නම් වේ. යම්සේ තරුණ වූ හිවලෙක් වූ ජරසිඟාල නමින් ද තරුණ වූද රසකිඳ වැල තිලතා නමින් ද හැදින්වෙයි. එමෙන්ම එදින උපන් රන්වන් වු රුව වැගිරෙන හෙයින් පුතිකාය නම් පභඬගුරං - මේ කුණුකය ඔබේ සිරුරට සමාන වේ භිජ්ජති නොබෝ කලකින්ම බිඳෙන්නේය. යනුවෙන් දැනගත යුතුය. කුමක් නිසාද? මරණන්තං හි ජීවිතං එහෙයින් සියළු සත්ත්වයින්ගේම ජීවිත කාලය මරණයෙන් කෙළවර වේ යන වදන කියන ලදී.
දහම් දෙසුම අවසානයේ එම තෙරණිය සෝවාන් ඵලයට පත්වූවාය. මහජනයාටද ඉතා සාර්ථක දම්දෙසුමක් වීය.
4. හතර වැනි අධිමානක කථා පුවත
“යානි මානි” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී අධිමානික (අධිකමානය ඇති) භික්ෂූන් සත්සියයක් දෙන නිමිති කරගෙන දේශනා කළහ.
පන්සියයක් භික්ෂූන් වහන්සේලා බුදුන්වෙතින් කර්මස්ථාන ලබාගෙන අරඤ්ඤයට පිවිස මහත් උත්සාහයෙන් වෙහෙසී. ධ්යානයක් උපදවාගෙන කෙලෙස් නොමැති හෙයින් අපගේ පැවිදිවීමේ අරමුණු ඉටු වූයේ යයි තමන් ලද ගුණය බුදුරදුන්ට දන්වමු යයි පැමිණියාහුය.
බුදුරජාණන් වහන්සේ ආවාසයෙන් පිටත දොරටුවේදීම ආනන්ද තෙරුන්ට මේ පැමිණි භික්ෂූන් - ආරාමය තුළට පිවිස මා දැකීමෙන් ප්රයෝජනයක් නැත. අමුසොහොනට ගොස් අවුත් අනතුරුව මා දකිත්වායි පැවසුහ. තෙරුන් ගොස් එම භික්ෂූන්ට මේ කරුණ දැනුම් දුන්හ. එම භික්ෂූන් අපට අමුසොහොනකින් කවර ප්රයෝජනයක් දැයි නොකියා දුරදිග දකින බුදුරජාණන් වහන්සේ විසින් කරුණක් දක්නට ඇතැයි අමුසොහොනට ගොස් එහි මළකුණු බලන්නේ දින එකක් දින දෙකක් ගතවූ පිළිකුල් සහගත මළකුණු දැක අප්රසාදයක් ද එවේලේ ගෙනත් දමන ලද අළුත් මළ සිරුරු දැක ඇලීමක් ඇතිකර ගත්හ. එකෙනෙහි තමන් කෙලෙස් සහිත බව තේරුම් ගත්හ. බුදුහු ගඳකිළියේ සිටම ආලෝකයක් පතුරුවා ඔවුන් ඉදිරියේ කථාකරන ලෙසට මහණෙනි ! තොපට සුදුසු නොවේ. මෙබඳු සම්මස් ඇටවලින් සැදුන සිරුරක් දැක රාග රති ඉපදවීමට සුදුසු නැතැයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
සරත් කල විසි කළ - හිස් ලබු කබල් වැනි වූ
පරෙවි පැහැ ඇති ඇට - දැක කවුරු එහි ඇලෙතිද
පරෙවි පැහැ ඇති ඇට - දැක කවුරු එහි ඇලෙතිද
එහි අපත්ථානීති - විසිකරන ලද සාරදෙ සරත් කාලයේ සුළං වැසි අව්වෙන් තැවුන ඒ ඒ තැන විසුරුවා දමන ලද ලබුකබල් වැනි කාපොතකානී පරෙවි පාට ඇති තානිදිස්වානාති මෙබඳු ඇට කැබලි දැක ඔබට කවර ඇල්මක්ද මෙබඳු මිනී දැක ඔබම ඇල්මක් ඇතිකර ගැනීම සුදුසු නොවේ.
මෙම දේශනාව අවසන එම භික්ෂූන් සිටිලෙසම රහත් බවට පත්ව බුදුන් වහන්සේට ස්තුති කරමින් වැන්දාහුය.
5. රූපනන්දා තෙරණියගේ කථා පුවත.
“අට්ඨිනං නගරං කතං” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී ජනපද කල්යාණීනම් වූ රූප නන්දා තෙරණිය නිමිති කරගෙන දේශනා කළහ.
ඕ එක්දිනක් මගේ වැඩිමහළු සහෝදරයා රජ සිරි සැප අත්හැර පැවිදි වී ලොව ශ්රේෂ්ඨ පුද්ගල වූ බුදුබවට පත්වූහ. උන්වහන්සේගේ පුත් රාහුලද පැවිදි විය. මගේ ස්වාමියා ද පැවිදි විය. මගේ මව ද පැවිදි වුවාය. මෙපමණ ඤාතීන් පැවිදි වී සිටියදි මම ගිහිවැ සිට කුමක් කරම්ද, පැවිදි වන්නෙමියි සිතුවාය. මෙලෙස සිතා භික්ෂුණී අරමට ගොස් පැවිදි වුවාය. පැවිදි වුයේ තනිවූ නිසා මිස ශ්රද්ධාවෙන් නොවේ. ශෝභාවත් රූපය නිසා ඇය රූපනන්දා නමින් ප්රසිද්ධ වුවාය.
බුදුරජාණන් වහන්සේ රූපය අනිත්යය දුකය. අනාත්ම යයි යනුවෙන් දේශනා කරතියි අසා ඇය මෙබදු දර්ශනීය වූ ප්රසාදජනක වූ මගේ රූපයේද දොස් කියන්නේ යයි බුදුන් හමුවට නොයන්නීය. සැවැත් නුවරවාසීහු උදේම දන් දී පෙහෙවස් සමාදන්ව සුදුවත් උතුරු සළුකොට භික්ෂුණි සංඝයාද සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව සවස දෙව්රමට එකතු වී ධර්මය අසති. භික්ෂුණි සංඝයාද බුදුන්ගේ ධර්මය අසනු කැමතිව විහාරයට ගොස් බණ අසති. බණ අසා නගරයට ඇතුල් වන්නේ බුදුගුණ කියමීන්ම ඇතුළු වෙති.