ඒ ගාථාවෙහි අප්පම්පි චෙ යනු ස්වල්පයක් හෙවත් එක් වර්ගයක්, දෙවර්ගයක් පමණකි යන අර්ථයි. ධම්මස්ස හොති අනුධම්මචාරී යනු අර්ථ වශයෙන් හා පාළි වශයෙන් ධර්මය දැන, නවලොවුතුරා දහමම, චතුපාරිශුද්ධි ශීල, ධුතාංග දහතුන, අශුභ කම්මට්ඨාන යනාදි භේද ඇති, පූර්වභාග ප්රතිපදා සංඛ්යාත වූ ගැළපෙන ධර්මයෙහි හැසිරෙන හෙයින් අනුධම්මචාරී නම්වෙයි. අද අදමයයි ප්රතිවෙධය බලාපොරොත්තු වෙමින් හැසිරෙයි. එබඳු පුද්ගලයා මේ මනා ප්රතිපත්තියෙන් රාග ද්වේෂ මෝහයන් ප්රභාණය කොට, මනා හේතුක්රමයෙන් පිරිසිඳ දන්නාවූ, තදංග විෂ්කම්භන සමුච්ඡේද ප්රතිප්රශ්රබ්ධි නිස්සරණ විමුක්ති යන මේ ක්රමයෙන් මනාව මිදුණා වූ සිත් ඇති අනුපාදියානො ඉධ වා හුරං වා යනු මෙලොව පරලොව යන දෙකට අයත්වූ හෝ ආධ්යාත්මික බාහිර හෝ ස්කන්ධ ධාතු ආයතනයන් සතර උපාදානයන් කරණකොට ගෙන නොපිළිගන්නාවූ, මහාක්ෂීණාශ්රව පුද්ගලයා මාර්ග සංඛ්යාත ශ්රමණ ඵල ලැබූ පුද්ගලයකු හැටියට පැමිණියාවූ ඵලශ්රාමණ්ය (ශ්රමණ ජීවිතයක ඵලය) ගුණයටද, පංචවිධවූ අශෛක්ෂ්ය ධර්මස්කන්ධයනටද කොටස් කාරයෙක් වන්නේ යයි ගෙයක වැඩ රුවන් කැණිමඩලකින් සම්පූර්ණ කරන්නාක් මෙන් දේශනා නැමැති ගෙය රහත්බව නැමැති මුදුනින් කෙළවර කළසේක.
ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ආදී මාර්ගඵලාදියට පැමිණියහ. ධර්මදේශනාව මහජනයාට අතිශයින් සාර්ථක විය.
දහහතරවන යහළු භික්ෂු දෙනමගේ වස්තුවයි.
යමක වර්ග වර්ණනාව නිමයි
ප්රථම වර්ගයයි.
2. අප්රමාද වර්ගය
1-3. සාමාවති මාගත්දියාදීන්ගේ මරණය දැක්වෙන උදේන වස්තුව
‘අප්පමාදෝ අමතපදං’ යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝෂිතාරාමයේ වාසය කරන සමයෙහි මාගන්දිය ප්රමුඛ ස්ත්රීන් පන්සීයක්ද, ඇගේ පන්සීයක් පමණ ඥාතීන්ද මරණයට පැමිණීම අරභයා දේශනා කළසේක.
අතීතයේ අල්ලකප්ප නම් රටේ අල්ලකප්ප නමිනුත් වේඨදීපක නම් රටේ වේඨදීපක නමිනුත් සිටි දෙදෙනෙක් ළදරු කලපටන් යහළුවන්ට එකම ආචාර්යපරපුරක සිප්සතර ඉගෙන තමතමන්ගේ පියවරුන්ගේ ඇවෑමෙන් සේසත් නගා දිගුපුළුලින් දසයොදුන් පමණවූ රටවල රජුවරුවූහ. ඔවුහු කලින් කල එක්වී එකට සිටිමින් එකට හිඳිමින් එකට නිදමින් උපදින ජීවත්වන මියෙන මිනිසුන් දැක, පරලොව යන අය සමඟ යන්නෙක් නැත. යටත්පිරිසෙන් සියසිරුරු පවා ගෙන යා නොහැකි. සියල්ල මෙහි තබා යායුතුය. අපේ මේ ගිහිගෙයි විසුමෙන් ඇති ඵලය කුමක්ද? පැවිදි වන්නෙමුයයි කතිකාකරගෙන රජය දුපුතුන්ට පවරා ඍෂිප්රව්රජ්යාවෙන් පැවිදිව හිමවත් පෙදෙසෙහි වසන අතර මෙසේ සාකච්ඡා කළහ.
අප රාජ්යයනුත් හැරදමා පැවිදිවූයේ ජීවත්වීමට බැරි නිසා නොවෙයි. ඒ අපි එක්තැනකට වී සිටීම පැවිදි නොවූවාක් වැනිය. ඒ නිසා අපි වෙන්ව වසමු. ඔබ අර පර්වතයෙහි වසන්න. මම මේ පර්වතයෙහි සිටින්නෙමි. අඩමසකින් පැමිණෙන පෙහෙවස් දිනයෙහි එකතුවෙමුයි කතිකා කළහ. ඔවුහු මෙසේද සිතූහ. මේ ක්රමයෙන් අපේ ගණසංගණිකාවද (පිරිස් සමඟ එක්වීම) සිදුවෙයි. ඔබ ඔබේ කඳුමුදුනේ ගිනිගොඩක් දල්වන්න. මම මගේ කඳුමුදුනේ ගිනිගොඩක් ගසමි. මේ ක්රමයෙන් අප ඇති නැති බව දැනගන්නෙමුයිද කියා එසේ කළාහුය.
පසු කාලයක වේඨදීපක තාපසතෙම කළුරියකොට මහේශාක්ය දේවතාවෙක්ව උපන්නේය. එයින් අඩමසකට පසු එම කඳුමුදුනේ ගිනි නොදැල්වීමෙන්ම මගේ යහළුවා කළුරිය කෙළේයයි අල්ලකප්පක තවුසා දැනගත්තේය. මියගිය තැනැත්තාත් දෙවියෙක්ව උපන් කෙණෙහිම තම දෙව්සිරි දැක කිනම් කර්මයකින් මෙසේ උපන්නේදැයි විමසා බලා ගිහිගෙයින් නික්මුණු දා පටන් තමාගේ තපස්චරියාවන් දැක දැන් ගොස් මගේ යාළුවා දැකගන්නෙමියි ඒ අත්බව හැරදමා සාමාන්ය මිනිසකු මෙන් යහළුතවුසා ළඟට ගොස් වැඳ එකත්පසෙක හුන්නේය.
ඉන්පසු අල්ලකප්පක මෙසේ විමසීය, ඔබ කොහි සිට ආවෙහිද? ස්වාමීනි, මම දුර සිට එන මඟියෙක්මි, ස්වාමීනි, ආර්යයන් වහන්සේ මෙහි වසන්නේ තනියමද? නැත්නම් තවත් කවුරුන් හෝ ඇද්ද? මගේ එක් යහළුවෙක් ඇත. ස්වාමීනි, ඔහු කොහිද? ඔහු අර පෙනෙන පර්වතයේ වසයි. පෙහෙවස් දිනයේ නම් ගිනි දැල්වූයේ නැත. ඒකාන්තයෙන් ඔහු මිය යන්නට ඇත. ස්වාමීනි, එසේද? ඇවැත්නි එසේය. ස්වාමීනි, ඒ යහළුවා නම් මමයි. ඔබ උපන්නේ කොහිද? දෙව්ලොව මහේශාක්ය දෙවියෙක්ව උපනිමි ස්වාමීනි. ඔබ දකිනු පිණිස යළි මෙහි ආවෙමි. මේ ස්ථානයේ වසන ඔබවහන්සේට කිසියම් අපහසුවක් ඇද්ද? එසේය. ඇවැත්නි, ඇතුන් නිසා මම වෙහෙසට පත්වෙමි. ස්වාමීනි, ඒ ඇත්තු කුමක් කරන්නහුද? අතුගෑ තැන්වල ඇත්තු බෙටි දමති. පාපහර දී පස් විසුරුවති. මම ඒ ඇත්බෙටි අදිමින් පස් සමකරමින් වෙහෙසට පත්වෙමි. එසේ නම් ඔවුන්ගේ පැමිණීම වළක්වන්නෙමියි කියා ඒ තවුසාට හස්තික්රාන්ත වීණාවක්ද (ඇතුන් ප්රියකරන හඬ ඇති) හස්තික්රාන්ත මන්ත්රයක්ද දුන්නේය. වීණාවත් මන්ත්රයත් දෙන ගමන්ම මේ වීණාවේ තත් තුනකි. ඒවා හඳුන්වාදී මන්ත්ර තුනත් උගන්වා, මේ තත පහරා මේ මන්ත්රය කීකල ඇත්තු නැවතී නැවතී පසුපස බැලීමටවත් නොසිට දුවති. මේ තත ගසා මේ මන්ත්රය ජපකල විට ඇත්තු නැවතී නැවතී පසුපස බලමින් දුවති. මේ තත පහරවා මේ මන්ත්රය කීවිට ඇත්රජා පිට නමාගෙන තමා සමීපයට එයි. මෙසේ කියා ඔබට මනාපයක් කළ මැනවැයි වැඳ යන්ටගියේය. තවුස්තෙම පලායන මන්ත්රය ම කියා පලායන තත ශබ්දකොට ඇතුන් පලවා හැර සුවසේ වාසය කෙළේය.