මේ ගුණ ධම්ම නම් වේ. ‘ධම්මං වො භික්ඛවෙ දෙසිස්සාමි ආදි කළ්‍යාණං’ ආදි තන්හි දේශනාධම්ම නම් වේ. ඉධ පන භික්ඛවෙ එකච්චේ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති සුත්තං ගෙය්‍යං’ ආදී තැන්වල ‘පරියන්ති ධම්ම’ නම්වේ. ‘තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති ඛන්ධා හොන්ති’ ආදී තැන්වල ‘නිස්සත්ත ධම්ම’ නම්වේ. නිජ්ජීවධම්ම යනුද මෙය මයි. එයින් මේ ස්ථානයෙහි (ගාථාවෙහි) ‘නිස්සත්ත නිජ්ජීවධම්ම’ අදහස් කරන ලදි. එහි අදහස නම් ත්‍රිවිධ අරූපස්කන්ධයෝයි. වෙදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය යන තුනයි. ඔවුනතර මේ මේ ධර්මයන්ට සිත යොමුවේනුයි මනොපුබ්බංගමා නම්වේ.
කෙසේ නම් මොවුන් සමඟ ඒකවත්ථුක, ඒකාරම්මණ ලෙස නොපසුව නොපෙරටුව එකක්ෂණයක උපදිමින් මනෝපුබ්බංගම වෙයිද? උත්පාද ප්‍රත්‍යාර්ථයෙනි. යම් ලෙසකින් බොහෝ දෙනෙක් එකතුව ගම් පැහැරීම් ආදිය කරන කල්හි මෙහි පුරෝගාමියා කවුදැයි ඇසූ විට යමෙක් ඒ සඳහා ප්‍රත්‍යය වේනම්, යමක් උදෙසා ඔවුහු ඒ කර්මය කෙරෙත්නම් ඔහුගේ නම දත්ත වුවත්, මත්ත වුවත් ඔහුම ඔවුන්ගේ පුරෝගාමියායයි කියනු ලැබෙයි. මෙහි පිළිවෙළ මෙසේ දත යුතුයි. මේ ආකාරයෙන් උත්පාදප්‍රත්‍යාර්ථයෙන් මොවුන්ට මනස පුර්වංගම වේනුයි ‘මනොපුබ්බංගමා’ නම්වේ.
මනස නූපන් කල්හි ඒ ස්කන්ධාදීහු ඉපදීමට නොහැකි වෙත්ද? මනස වුකලී ඇතැම් චෛතසිකයන් නූපන් කල්හිද උපදිනේමය. අධිපති වශයෙන් මේ මනස චෛතසිකයන්ට ශ්‍රේෂ්ඨ වේ යන අරුතින් මනොසෙට්ඨා නම්වේ. චෞදරාදීන්ට චෞරනායකයෝ අධිපති වූවාහු, ශ්‍රේෂ්ඨ වුවාහු වෙත්ද, එසේ ඒ චෛතසිකයන්ටද අධිපති වනහෙයින් මනොසෙට්ඨ නම්වේ. යම් සේ ලී ආදියෙන් නිෂ්පාදනය කරනලද ඒ ඒ බඩුභාණ්ඩ දාරුමය යන නම ලබයිද, එසේය. ඒ ආකාරයෙන් මේ සිත්ද මනසින් නිපන් නිසා මනොමය නමි.
පදුට්ඨෙන යනු ආගන්තුකව පැමිණි අහිධ්‍යාදී දොස්වලින් අතිශයින් දූෂ්‍යවු සිතයි. ප්‍රකෘති මනස නම් භවාංග විත්තයයි. එය අප්‍රදුෂ්‍යයි. පිරිසිදුයි. යම්සේ පැහැදිලි ජලය ආගන්තුකව පැමිණෙන නීලවර්ණාදියෙන් කිලිටිවු කල නිල්දිය ආදි භේදවලට පැමිණේද, ඉන්පසු එය අලුත් ජලයක් නොවුණත් පෙර පැවති ජලයද නොවේ. ඒ ආකාරයෙන් සිතද ආගන්තුකවු අහිධ්‍යාදී දොස්වලින් ප්‍රදූෂ්‍ය වන්නේවෙයි. ඉන්පසු එය අලුත් සිතක්ම හෝ පෙර තිබුණු සිත හෝ නොවෙයි. මේද භවාංග සිතමය. එහෙයින් බුදුහු මෙසේ වදාළහ. ‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං තං ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙට්ඨෙහි උපක්කිලෙසං’ මහණෙනි මේ සිත ඉතා ප්‍රභාස්වරයි නමුත් එය ආගන්තුක උපක්කිලෙස නිසා කිලිටිවුයේ වෙයි. ‘මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොතිවා’ යනු පුද්ගලයා කථා කරන විට චතුර්විධ වාග් දුශ්චරිතයම කරයි. එසේ සිටින විට ඒ අහිධ්‍යාදී ප්‍රදූෂ්‍යවූ මනසක් ඇති නිසා ත්‍රිවිධ මනෝදුශ්චරිත පුරයි. මෙසේ ඔහුට දසඅකුසල කර්මපථ සම්පුර්ණ වේ.
තතො නං දුක්ඛමන්වෙති යනු ඒ ත්‍රිවිධ දුශ්චරිතයෙන් ඒ පුද්ගලයා පිටුපස දුක ලුහුබැඳ යයි. ඒ දුශ්චරිතය හේතුකොටගෙන සතර අපායේ හෝ මිනිස් ලොව හෝ අඳුරු තැන්වලට යෙයි. කායවස්තුකාදි සෙසු කර්මයනුත් මේ පර්‍යායයෙන් කායික චෛතසික විපාක දුක අනුව යයි. කුමක් මෙන්ද? චක්කං ව වහතො පදං ශකටයෙහි (රථයෙහි) බැඳි, ශකටය ඇදගෙන යන ගවයාගේ පා පිටිපස්සේ එන රථරෝදය මෙනි. යම් සේ ඒ ගවයා දිනක් දෙකක් දිනපහක් දහයක් අඩමසක් මාසයක් නමුත් ගැළ ඇදගෙන යන්නේ නම් රියසක නවත්වන්නට හෝ එය හැර දමන්නට හෝ හැකි නොවේ. ඉදිරියට ඇදී යන ඔහුගේ බෙල්ල සකටය මගින් පෙළයි. පසුපසට යනවිට රියසක කලවා මාංශයේ වැදෙයි. මෙසේ දෙයාකාරයකින් පෙළෙන රියසක ඔහුගේ පා අනුවම පවතී. එසේම අතිශයින් දුෂිතවූ මනසින් ත්‍රිවිධ දුශ්චරිත පුරා සිටි පුද්ගලයා නිරයාදි ගියගිය තැන දුශ්චරිත මුලිකව කායික චෛතසික දුක ලුහුබඳී.
ගාථා කෙළවර තිස්දහසක් භික්ෂූහු සිව්පිළිසිඹියාපත් රහත්බවට පැමිණියාහුය. සපැමිණි පිරිසටත් එම දේශනාව සාර්ථක ඵලදායක එකක්විය.
පළමුවන චක්ඛුපාල තෙරුන්ගේ වස්තුවයි.
2. මට්ටකුණ්ඩලී වස්තුව
‘මනො පුබ්බංගමා ධම්මා’ යනාදි දෙවෙනි ගාථාවත් සැවැත්නුවර විසූ මට්ටකුණ්ඩලී අරභයා දෙශනා කරනලදි.
සැවැත්නුවර අදින්නපුබ්බක නම් බමුණෙක් වාසය කෙළේය. ඔහු කිසිම කෙනෙකුට කවදාවත් කිසිම දෙයක් නුදුන් කෙනෙකි. එහෙයින්ම ඔහු අදින්නපුබ්බක (නොදීපු) බමුණා යන නමින් ප්‍රකටවිය. ඔහුට එක් පුතෙක් සිටියේය. ඒ පුතා ඉතා ප්‍රියය, මනාපය. පුතාට පළඳනාවක් කරවන්නට කැමති පියා ‘රන්කරුවෙකුට මෙය දැන්නුවොත් ගෙවීම් කරන්ට සිදුවන්නේය’ යි සිතා තමාම රත්‍රන් ගෙන තළා මොටවු කඩතොලු සහිත, ඔපමට්ටම් නැති කුණ්ඩලාභරණයක් තනා පැළඳවීය. ඒ නිසා ඔහු මට්ටකුණ්ඩලී නම්විය. පුතා සොළොස්වියපත් කල ඔහුට පාණ්ඩුරෝගය වැළදිණි. මව පුතා දෙස බලා බ්‍රාහ්මණය, ඔබේ පුතාට රෝගයක් හටගැනී තිබේ. ඔහුට වෙදකම් කරවයි කීවාය.
සොඳුර, වෙදෙකු ගෙන්නුවොත් ඔහුට කෑමබීමත් වේතනත් දෙන්නට සිදුවෙයි. ඇයි ඔබට මගේ ධන විනාශය නොපෙනෙන්නෙහිදැයි ඇසීය. එසේ නම් අපි කුමක් කරමුදැයි ඈ ඇසුවාය. ධනය වියදම් නොවන ආකාරයක් කරමුයයි බමුණා පිළිතුරු දුන්නේය. එසේ කී ඔහු වෙදුන් ළඟට ගොස් අසවල් අසවල් රෝගයට නුඹලා කවර නම් බෙහෙත් දෙන්නහුදැයි, අසා අසවල් ගස්වැල්වල මුල් පොතු කොළ ආදිය දෙන්නෙමු යයි කීකල බමුණා වෙදවරු කී කී දේවල් ගෙනවුත් පුතාට දෙයි. මෙසේ කරගෙන යනවිට පුතාගේ රෝගය බලවත්විය. පිළියම් නොකළහැකි අසාධ්‍ය තත්ත්වයට පත්විය. බමුණා පුතාගේ රෝගය බලවත් බවත් අසාධ්‍ය බවත් දැක ඒක් වෛද්‍යවරයෙකු කැඳවාගත්තේය. ඔහු රෝගියා බලා මට වෙනත් කටයුත්තක් ඇත. අනික් වෛද්‍යවරයෙකු කැඳවා පිළියම් කරන්නැයි කියා වෙදකම් නොකර යන්ට ගියේය. බමුණා, පුතා මරණාසන්නව සිටින හෙයින් මොහු බලන්ට එන අය ගේ ඇතුළේ තිබෙන වස්තු සම්පත් දකිතියි, රෝගියා බැහැරක තැබිය යුතුයයි සිතා පුතා ඇතුළු ගෙයින් පිටතට ගෙන එළියේ ඇඳක නිදිකෙරෙව්වේය.