මේ ධර්මදේශනාව කොහේදී දේශනා කරන ලද්දක්ද? සැවැත්නුවරදීය. කවුරුන් අරභයාද? චක්ඛුපාල තෙරුන් අරභයාය.
සැවැත්නුවර මහාසුවණ්ණ නම් කෙළෙඹියෙක් සිටියේය. ඔහු විවිධ සැපසම්පත් ඇති මහධනවතෙකි. දූපුතුන් නැත්තෙකි. දිනක් ඔහු නානතොටුපළට ගොස් ආපසු එන අතරමඟ අතුපතරින් ගැවසීගත් එක් වනස්පති වෘක්ෂයක් දැක, මේ වෘක්ෂය කිසියම් මහානුභාව සම්පන්න දෙවියෙකු අධිගෘහිත (වාසයකරන) ගසෙකියි සිතීය. එසේ සිතා ඒ ගස යට හොඳින් පිරිසිදු කොට ප්රාකාරයක් බැඳ, වැලි අතුරුවා ධජ පතාක ඔසවා ඒ වනදෙටුරුක අලංකාර කරවා, ඉඳින් පුතෙක් හෝ දුවක් ලැබුණොත් ඔබට මහත්වූ සත්කාර සම්මාන කරන්නෙමි’යි ප්‍රාර්ථනා කොට ගියේය.
ඉන්පසු ඔහුගේ බිරිඳගේ කුස ගැබක් පිහිටියේය. ඕතොමො ගැබක් පිහිටි බව තම සැමියාට දැන්වුවාය. කෙළෙඹියා ඈට ගැබ්පෙරහැර දුන්නේය. ඈ දසමසක් ඇවෑමෙන් පුතෙකු වැදුවාය. සිටුවරයා තමා විසින් පාලනය කළ වනස්පතිය නිසා ලත් හෙයින් පුතාට ‘පාල’ යන නම තැබීය. ඈ පසු කලෙක තවත් පුතෙකු ලැබුවාය. ඔහුට ‘චුල්ලපාල’ යන නම තබා වැඩිමලාට ‘මහාපාල’ යන නම තැබීය. ඔවුහු සුදුසු වියට පත්කල්හි ගෘහබන්ධනයට (විවාහයට) ඇතුළත් වූහ.
එසමයෙහි දම්සක් දේශනා පැවැත්වු බුදුරජාණන්වහන්සේ ජනයා සගමොක්මගෙහි පිහිටුවමින් පිළිවෙළින් වැඩමවා, අනේපිඬු සිටුහු විසින් පනස්හතර කෝටියක් ධනය වියදම්කොට කරවනලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක. තථාගතයන් වහන්සේ මවුපසින් අසූවක් පමණ පවුල්වල අයද, පියපසින් අසූවක් පමණ කුලවල අයද, යන අසූවේ කුලදෙකක නෑයන් දහස්ගණනක් විසින් කරනලද විහාරයෙහි එකම වසක් විසුසේක. අනේපිඬුසිටුහු විසින් කරනලද ජේතවනාරාමයෙහි එකුන්විසි (19 ක්) වසක්ද, විසිහත් කෝටියක වියදමින් විශාඛාව විසින් කරවනලද පූර්වාරාමයෙහි සවසක්ද විසුසේක. ඒ දෙකුලයේ අයගේ ගුණමහත්වය ගැන සලකා මෙසේ සැවැත්පුර විසිපස්වසක් පමණ වස් විසූසේක.
අනේපිඬු සිටුතුමාත්, විශාඛා මහාඋපාසිකාවත් නිතිපතා දවසට දෙවරක් බුද්ධෝපස්ථානය සඳහා විහාරයට යති. එසේ යනවිට ‘ළඳරුසාමණේරුවරු විහාරයට ගිය විට අපේ අත් දෙස බලත්’ යයි සිතා හිස් අතින් කිසිවිටෙකත් නොගියහ. පෙරබත් වේලාවේ (උදේ වරුවේ) යනවිට කෑයුතු දේවල් ගෙන්වාගෙන යති. පසුබත් වේලෙහි නම් පස්වැදෑරුම් බෙහෙත්ද, අටවැදෑරුම් පානවර්ගද රැගෙන යති. ඒ දෙදෙනාගේ ගෙවල්වල භික්ෂුන් දහසක් දෙනා වෙනුවෙන් නිතරම ආසන පනවා ඇත. යම් භික්ෂුනමක් ආහාරපාන බෙහෙත් ආදී යමක් කැමැත්තේ නම් ඒ සියල්ල තමන් කැමති හැටියකට එහි සමීපාදනයවී තිබිණි.
ඔවුන් අතරින් අනේපිඬුසිටුහු විසින් එකම එක දවසක්වත් බුදුරදුන්ගෙන් ප්‍රශ්න අසා නැත. ‘තථාගතයන්වහන්සේ බුදුවරයෙකු නිසා සියුමැලිය. ක්ෂත්රිය කුලයේ කෙනෙකු නිසාත් සියුමැලිය. මේ ගෘහපතියා මට උපකාර කරන්නෙකියි සිතා දහම් දෙසනවිට උන්වහන්සේට ක්ලාන්ත ගතිය ඇතිවිය හැකිය’ ආදී කරුණු සලකා බුදුන් කෙරෙහි අධිකමාත්‍ර ආදරය නිසා එසේ ප්‍රශ්න නොඅසනලදී.
බුදුරජාණන්වහන්සේ එගෙට වැඩමවා ආසනයේ වැඩ සිටි හැටියේම, මේ සිටුවරයා මා නොරැකියයුතු තැන රකියි, මා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අබරණින් සැරසු මගේ හිස කපාදී, දෑස් ගළවාදී, හදවත උගුල්ලාදී, ප්රාණාසම අඹුදරුවන් දන්දී පාරමී සම්පුර්ණ කෙළේ දහම් දෙසීම සඳහාමයි. එහෙත් මොහු මා නොරැකියයුතු තැන රකීය’යි සිතා කුමක් හෝ දම්දෙසුමක් කරනසේක්මය.
එකළ සැවැත්නුවර සත්කෙළක් මිනිස්සු වාසය කළහ. එයින් බුදුරදුන්ගෙන් බණ අසා පස්කෙළක් පමණ මිනිස්සු ආර්ය ශ්‍රාවකයෝ වූහ. දෙකෙළක් පමණ පෘථග්ජනයෝ වූහ. ඔවුහු ආර්යශ්රාවකයන් වෙනුවෙන් කාර්ය දෙකක් ඉටුකළහ. පෙරවරුවේ දන් දුන්හ. පස්වරුවේ සුවඳමල් අතින් ගෙන වස්ත්‍ර, බෙහෙත් වර්ග, පානවර්ග ගෙන බණ අසනු පිණිස විහාරයට ගියහ. දිනක් ආර්යශ්රාවකයන් සුවඳමල්ද රැගෙන විහාරයට යනු බලා සිටි මහාපාල, මේ පිරිස කොහි යෙත්දැයි විචාරා බණ ඇසීමට යනබව දැන, මාත් එහි යායුතුයයි සිතා විහාරයට ගොස් පිරිස් කෙළෙවරට වී සිටියේය.
බුදුවරු දහම් දෙසන කල, පිරිස දෙස බලා සරණ සීලයෙහි හෝ පැවිදි වීමෙහි හෝ අදහස් ඇති අය දැක, ඔවුන්ගේ අදහස්වලට ගැළපෙන සේ දහම් දෙසති. එහෙයින් එදින බුදුරජාණන්වහන්සේ මහාපාලගේ උපනිශ්‍රය සම්පත් හෙවත් වාසනාමහිමය දැක ඒ අනුව ආනුපුබ්බීකථාව හෙවත් පිළිවෙළකථාව අනුගමනය කරමින් දහම් දෙසුසේක. ඒ පිළිවෙළකථාව කෙසේදයත්? දානකථාව, සීලකථාව, ස්වර්ගකථාව, කාමයන්ගේ ආදීනවකථාව, ඒ සියල්ලෙහි නිසරුබව හා කෙලෙස්වලින් යුක්තබව ආදීකථාත්, අවසානයෙහි ඒ සියල්ලෙන් නික්මීමෙහි හෙවත් හැර දැමීමෙහි ආනිසංසත් ප්‍රකාශ කිරීමයි. ඒ අසා සිටි මහාපාල කෙලෙඹියා මෙසේ සිතිය. ‘පරලොව යන විට තම දූපුතුන් හෝ භවභෝග සම්පත් හෝ තමන් සමඟ නොයයි. තම සිරුර පවා තමන් සමඟ නොයයි. මේ ගිහිගෙයි විසීමෙන් ඇති ඵලය කුමක්ද? මමත් මහණවන්නෙමි’යි දේශනාවසානයෙහි බුදුරදුන් වෙත එළඹ තමන් පැවිදිකරවන ලෙස ඉල්ලා සිටියේය.
බුදුපියාණෝ මෙසේ විචාළහ. ඇයි මේ ගැන අසා බැලිය යුතු නෑ කෙනෙක් ඔබට නැද්ද? ස්වාමීනී, මගේ බාල සොහොයුරා ඇත. එසේ නම් ගොස් ඔහුගෙන් අසා බලන්නැයි බුදුහු වදාළහ. හෙතෙම මැනවැයි පිළිගෙන බුදුන් වැඳ ගෙදර ගොස් බාලසොහොයුරා කැඳවා මෙසේ කීවේය. මලණුවනි, අපේ කුලපරම්පරාවට අයිති සප්රාණික අප්‍රාණික යම්තාක් දෙයක් ඇත්නම් ඒ සියල්ල ඔබට භාරකරමි. එය පිළිගන්නැයි කීය. ඇයි ඔබ කුමක් කරන්නෙහිදැයි චුල්ලපාල ඇසීය. මම බුදුන් ළඟ මහණවන්නෙමියි හේ පිළිතුරු දුන්නේය. සොහොයුර, ඔබ කුමක් කියන්නෙහිද? මගේ මව මැරුණු පසු මව හැටියටත් පියා මැරුණු පසු පියා හැටියටත් සිටින්නේ ඔබයි. අපේ පරපුරේත් විශාල ධන සම්පත් ඇත. ගෙදර වසන ගමන්ම පිනුත් කළ හැකිය. ඒ නිසා පැවිදි නොවුව මැනව. මලණුවනි, මම බුදුන්ගෙන් බණ ඇසුවෙමි. බුදුරජාණන්වහන්සේ ඉතා සියුම් ලෙස සියලු දහම් ත්රිලක්ෂණයට නගා මුල මැද අගයහපත්වු ධර්මය දේශනා කළහ. ඒ, දහම් පිළිවෙත ගිහිගෙයි වසන ගමන් පිරිය නොහැකි නිසා මම පැවිදි වෙමි. සොහොයුර ඔබ තවමත් තරුණය, මහලු වී පැවිදිවන්න. මලණුවනි, මහල්ලාට තමන්ගේ අත්පා පවා වසඟ නොවෙයි. කැමති ලෙස තබාගැනීමත් දුෂ්කරයි. නෑයන් ගැන කියනු කවරේද? ඒ නිසා මම ඔබේ අවවාදය පිළිනොගනිමි. මහණදම් පුරන්නෙමි.