නිදාන කථා
ඒ මේ අර්‍ථ වර්‍ණනාව ඳුරේ නිදාන, අවිදුරේ නිදාන, සන්තිකෙ නිදාන වශයෙන් මේ නිදානයන් තුන දක්වා කියනු ලබන්නේ අසන්නන් විසින් ආරම්භයේ පටන් මැනවින් දැනගන්නා ලද්දේ නම් වෙයි. එම නිසා ඒ නිදානයන්ගේත් මෙම විස්තරය දත යුතුය.
දීපඞ්කර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති මහා බෝධිසත්ත්‍වයන් වහන්සේගේ තුසිත පුරයෙහි උපත දක්වා පවත්නා කථා මාර්‍ගය දුරේ නිදාන නම් වේ. තුසිත භවනෙහි පටන් බෝ මැඩ සර්‍වඥතා ඥානයට පැමිණීම දක්වා පවත්නා කථා මාර්‍ගය අවිදුරේ නිදාන නම්වේ. මහ බෝමැඩ සිට වර්‍තමාන කථාව දක්වා පවත්නා කථා මාර්‍ගය සන්තිකෙ නිදාන නම් වේ. මේ ත්‍රිවිධ නිදානයන් අතුරෙන් දුරේ නිදානය හා අවිදුරේ නිදානය සියලු දේශනාවන්ට සාධාරණ වේ. එම නිසා ඒවා ජාතකට්ඨ කථාවෙහි විස්තර කළ අයුරින්ම විස්තර වශයෙන් දත යුතුය. සන්තිකේ නිදානයෙහි වනාහි විශේෂයක් ඇති නිසා ඒ ත්‍රිවිධ නිදානයන්ගේ මේ ආරම්භයේ සිට සංක්‍ෂේප කථාවයි.
දීපඞ්කර භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලයෙහි කළ ප්‍රාර්ථනා ඇති බෝධිසත්ත්‍ව වූ ලෝකනාථයන් වහන්සේ තම ප්‍රාර්ථනාවට අනුරූප සමතිස් පාරමීදම් පුරා සර්‍වඥතා ඥාන සම්භාරය මුදුන් පමුණුවා තුසිත භවනෙහි උපන්සේක් බුදුබව සඳහා ඉපදීමට සුදුසු කල්බලමින් එහි ආයු ඇතිතෙක් සිට එයින් චුතව ශාක්‍යරාජ කුලයෙහි ඉපිද අපමණ පෙරහරින් හා මහත් වූ සෞභාග්‍යයෙන් වැඩෙන්නාහු පිළිවෙළින් යොවුන් වියට පත්ව විසිනමවන වියේදී කළ මහබිනික්මන් ඇත්තාහු සාවුරුද්දක් මහත් වීර්‍ය්‍ය වඩා වෙසක් පුණු පොහෝ දින බෝරුක් මුල වැඩ සිටි සේක් හිරු අවරට නොගියේම මාර බලය පරාජය කොට පෙරයම පෙර විසූ කඳ පිළිවෙළ සිහි කොට මැදියම දිවැස් පිරිසිදු කොට පැසුළුයම එක් දහස් පන්සියයක් කෙලෙස් නසා අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ සේක.
ඉක්බිති එහිම සති හතක් ගතකොට ඇසළ පුණු පොහෝ දින බරණැසට වැඩම කොට මිගදාය නම් වූ ඉසිපතනයෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ ප්‍රමුඛ දහඅට කෝටියක් ක්‍රමයන්ට දහම් අමා පොවමින් දම්සක් පවත්වා යසකුල පුත්‍රයා ආදිකොට ඇති හික්මවිය යුතු ජනයා රහත් ඵලයෙහි පිහිටුවා ඒ සියලු හැටනමක් රහතුන් ලෝකානුග්‍රහ පිණිස යවා තමන් වහන්සේ උරුවෙලා ජනපදයට වැඩම කරන්නාහු කප්පාසික නම් වන ලැහැබෙහි තිහක් පමණ භද්දවග්ගිය කුමාරයන් සෝවාන් ඵලාදියෙහි පිහිටුවා උරුවෙල් දනව්වට වැඩම කොට තුන් දහස් පන්සීයක් ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා දහසක් ජටිලයන් පිරිවර කොට ඇති උරුවේල කාශ්‍යපාදී තුන් බෑ ජටිලයන් හික්මවා ඔවුන් විසින් පිරිවරන ලද්දාහු රජගහනුවර සමීපයෙහි වූ ලට්ඨිවන නම් උයනෙහි වැඩ හුන්සේක් බිම්බිසාර රජු ප්‍රධාන එක් ලක්‍ෂ විසි දහසක් බ්‍රාහ්මණ ගෘහපතීන් සසුනට ඇතුළත් කොට බිම්සර මගධ රජු විසින් කරවන ලද වෙළුවන විහාරයෙහි වැඩ වසන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසන කල්හි සැරියුත් මුගලන් තෙරවරුන් අග්‍රශ්‍රාවක තනතුරෙහි පිහිට වූ කල්හි ශ්‍රාවකයන්ගේ රැස්වීම සිදුවූ කල්හි සුද්ධෝදන මහරජ “මගේ පුතණුවන් වහන්සේ වනාහි සය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කොට උතුම් වූ බුද්ධත්‍වයට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු රජගහ නුවර ඇසුරු කොට වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති”යි අසා “මපුතණුවන් මෙහි කැඳවා දක්වව්” යයි කියා පුරුෂයන් දස දහසක් පිරිවරකොට ඇති ඇමතියන් දස දෙනෙකු පිළිවෙළින් යැවීය. ඔවුන් රජගහ නුවරට ගොස් ශාස්තෲන් වහන්සේගේ ධර්‍ම දේශනාව අසා රහත් ඵලයෙහි පිහිටි කල්හි කාලුදායි තෙරුන් විසින් රජුගේ අදහස දැනුම් දුන් විට භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් රහතන් වහන්සේ විසින් පිරිවරන ලද්දාහු, රජගහනුවරින් නික්ම සැටයොදුන් මග ගෙවා දෙමසකින් කිඹුල්වත් පුරයට පැමිණි සේක. ශාක්‍ය රජවරු “අපගේ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් දකින්නෙමු” රැස්ව නිග්‍රෝධාරාමය භාග්‍යවතුන් වහන්සේටත් භික්‍ෂු සංඝයාටත් වාසයට සුදුසු ලෙස සකස් කොට සුවඳමල් ආදිය ගත් අත් ඇතිව පෙරගමන් කොට ශාස්තෲන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කරවූහ. එහි භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් මහරහතුන් විසින් පිරිවරන ලද්දාහු පනවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් සේක. ශාක්‍යයෝ මානයෙන් දැඩි වූවාහු ශාස්තෲන් වහන්සේට පිණිපා (වන්දනා) නො කළහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අදහස දැක මානය බිඳ ඔවුන් ධර්‍ම දේශනාවට බඳුන් කරගනු පිණිස අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැද එම ධ්‍යානයෙන් නැගිට ඔවුන්ගේ හිසෙහි පා පස් වගුරුවන්නා සේ අහසට පැන නැගී ගණ්ඩම්බ රුක් මුල්හි කළ පෙළහර සමාන යමාමහ පෙළහරක් කළ සේක. රජතුමා ඒ අසිරිය දැක “මෙතෙම ලෝකයෙහි අග්‍රපුද්ගලයා ය”යි වැන්දේය. රජු වැඳි කල්හි සියලුම ශාක්‍යයෝ වැන්දාහ.