අවිජහිතට්ඨානකථා
සියලු බුදුවරුන් වහන්සේලාටම අත් නොහරින තැන් සතරෙක් වෙයි. සියලු බුදුවරුන්ට බෝධිපර්යංකය අතනොහැරම එකම ස්ථානයක වෙයි. ධම්සක් පැවැත්වීම, ඉසිපතන මිගදායෙහි නොවෙනස්වම වෙයි. දෙවොරෝහණ වෙලාවෙහි සකස්පුර දොර පළමු පාතබන තැන නොවෙනස්ව වෙයි. දෙව්රම ගඳකිළියෙහි ඇඳෙහි සතර පා තැන නොවෙනස්වම වෙයි. විහාරය වනාහි කුඩා හෝ ලොකු හෝ වෙයි. නගරය වෙනස් නොවන්නේමය.
සහජාතපරිච්ඡෙද-නක්ඛත්තපරිච්ඡෙදකථා
අප භාග්‍යවතුන් වහන්සේ පමණක් සහජාත පරිච්ඡේදයක් නක්‍ෂත්‍ර පරිච්ඡේදයක් දැක්වූහ. අපගේ සර්වඥ බෝසතුන් සමග වනාහි රාහුලමාතාව, ඡන්න, කන්ථක, නිධන්සැළි, මහාබෝධිය, කාළුදායී යන මේ සත එක්ව උපන්නේය. මෙය සහජාත පරිච්ඡේද නමි. මහපුරිස්සු වනාහි උතුරුසළ නකතින් මවුකුස පිළිසිඳ ගත්හ. මහබිනික්මන් නික්මුණහ. ධම්සක් පැවැත්වූහ. යමාමහ පෙළහර කළහ. විසා නැකතින් උපන්හ. බුදුවූහ. පිරිනිවියහ. මාඝ නැකතින් උන්වහන්ගේ ශ්‍රාවක සන්නිපාතයද ආයුසංස්කාර අතහැරීමද විය. අස්විද නැකතින් දෙවාරෝහණය විය. මෙය නක්‍ෂත්‍ර පරිච්ඡේදයයි.
සධම්මතාකථා
දැන් සියලු බුදුවරයන් වහන්සේලාගේ අසාධාරණ ධර්මතාව ප්‍රකාශ කරන්නෙමි. භාග්‍යවතුන් වහන්සේලාගේ ධර්මතාව සමතිස් වැදෑරුම් වෙයි. ඒ මෙසේයි. පශ්චිමභවික බෝසතාණන් වහන්සේගේ මනා සිහිනුවණින් මවුකුස පිළිසිඳ ගැනීම, මවුකුස පර්යංකයෙන් පිටත බලා හිඳීම, බෝසත් මව හිටගෙනම ප්‍රසූත කිරීම, අරුණයෙහිම මවුකුසින් බිහිවීම, රන්පටෙහි පිහිට වූ පාදයෙන් උතුරුදිග බලා සත්පියවරින් ගොස් සිවුදිග බලා සිංහනාද කිරීම, සතර නිමිති දැක පුතුන් උපන් පසු මහාසත්ත්‍වයන්ගේ මහබිනික්මන කිරීම, අරහත්ධජය පිළිගෙන පැවිදිව, යටත් පිරිසෙයින් සතියක් ප්‍රධන් වැඩීම, බුදුබවට පත්වන දින කිරිපිඬු භෝජනය, තණ ඇතිරියෙහි වැඩහිඳ සර්වඥතාඥානය අවබෝධ කිරීම, ආනාපාන කර්මස්ථාන පරිකර්මය, මාරබල නැසීම, බෝපලඟෙහිම ත්‍රිවිද්‍යාව ආදිකොට අසාධාරණඥානාදි ගුණ ප්‍රතිලාභය, සත්සතිය බෝධිසමීපයෙහිම ගතකිරීම, ධර්ම දේශනාව පිණිස බ්‍රහ්මයාගේ ආයාචනය, ඉසිපතන මිගදායෙහි දම්සක් පැවැත්වීම, නවම් පුර පසළොස්වක සිවුවනක් පිරිස් රැස්වීමෙහි පාමොක් දෙසීම, ජේතවන ස්ථානයෙහි නිත්‍යවාසය, සැවැත්නුවර දොර යමාමහ පෙළහර දැක්වීම, තව්තිසා භවනයෙහි විජම්බණ දෙසීම, සකස්පුර දොර දෙව්ලොවින් බැසීම, නිරන්තර පලසමවතට සමවැදීම, දැහැන් දෙක්හි විනෙයජනයන් දෙස බැලීම, හේතුවක් උපන් කල ශික්‍ෂාපද පැනවීම, හේතුවක් ඇතිව ජාතක දේශනාව, ඤාතිසමාගමයෙහි බුද්ධවංසය දේශනා කිරීම, ආගන්තුක භික්‍ෂූන් සමග පිළිසඳර කිරීම, ආරාධිතයන්ට නොදන්වා වස් නිමවා නොවැඩීම, දවසක් පාසා පෙරබත පසු බත පෙරයම මැදියම අලුයම කටයුතු කිරීම, පිරිනිවන් දිනයෙහි මස්රස වැළඳීම, සූවිසි කෙළදහසක් සමවත් සමවැද පිරිනිවීම යන මේ සමතිස් සියලු බුදුවරුන් වහන්සේලාගේ ධර්මතායි.
අනන්තරායිකධම්මකථා
සියලු බුදුවරුන් වහන්සේලා උදෙසා එළවන ලද සිවුපසයට අන්තරාය කිරීම කිසිවෙකු විසිනුත් නොකළ හැකිය. කිසිවෙකු විසිනුත් ආයුෂයට අනතුරු කළ නොහැකිය. එහෙයින් අනුන්ගේ උපා ක්‍රමයෙන් තථාගතයන් වහන්සේගේ දිවි තොර කරන්නේය යන යමක් ඇත්ද මෙය නොවන්නකි. අවකාශ නැත්තේයයි කියන ලදි. බුදුවරුන්ගේ දෙතිස් මහපුරිස් ලකුණුවලට අසීති අනුව්‍යඤ්ජනවලට කිසිවකු විසිනුත් අන්තරාය කළ නොහැක්කේය. බුදුරැස්වලට අනතුරු කිරීම කිසිවකු විසිනුත් කළ නොහැක්කේය. මේ සතර අන්තරාය නොකළ හැකි ධර්ම නම් වෙයි.