රෙවතො බුද්ධො
එයට පසුකාලයේ රේවත නම් ශාස්තෲන් වහන්සේ පහළ විය. උන්වහන්සේටද ශ්රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ සීමාවක් නොවේ. දෙවැන්නේ කෝටි ලක්ෂයක් වූහ. තෙවැන්නේද එසේමය. එකල අප බෝසත්තුමා අතිදේව නම් බ්රාහ්මණයෙකු වී ශාස්තෲ ධර්ම දේශනාව අසා සරණ ශීලයෙහි පිහිටියේ සිරසින් ඇඳිලි බැඳ ඒ ශාස්තෲන් වහන්සේගේ කෙලෙස් ප්රහාණය කිරීමේ වර්ණනාව අසා උතුරුසළුව පූජා කළේය. උන්වහන්සේද, මෙතම බුදුවන්නේ යයි විවරණ කළ සේක. ඒ භාග්යවතුන් වහන්සේගේ නගරය ‘සුධඤ්ඤවතී’ නම් විය. පියා වුපල නම් ක්ෂත්රියෙකි. මව විපුලා නම් වූවාය. වරුණය, බ්රාහ්මදේවයා නමින් අග්ර ශ්රාවකයෝ දෙනමකි. උපස්ථායකයා ‘සම්භව’ නම් විය. භද්දා, සුභද්දා නමින් අග්රශ්රාවිකාවෝ දෙනමකි. ‘නාගස’ බෝධිය විය. ශරීරය අසූරියන් උස විය. ආයුෂ වර්ෂ සැටදහසකි.
සුමන බුදුරජාණන් වහන්සේගෙන් පසුව උපමා රහිත වූ අසදෘශ වූ, අසමාන වූ උත්තම ජින වූ රේවත බුදුන් වහන්සේ ලොව පහළ වූ සේක.
සොභිතො බුද්ධො
එයට පසුකාලයේ ‘සෝභිත’ නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේට ශ්රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයේ කෝටි සියයක් භික්ෂූහු වූහ. දෙවැන්නේ අනූකෝටියක්ද, තෙවැන්නේ අසූකෝටියක්ද වූහ. එකල අප බෝසත්හු අජිත නම් බ්රාහ්මණයෙකුව සිට ශාස්තෲ ධර්ම දේශනාව අසා, සරණ ශීලයෙහි පිහිටා බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහදන් පැවැත්වූහ. උන්වහන්සේද මෙතෙම බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ භාග්යවතුන් වනහන්සේගේ නගරය සුධම්ම නම් විය. පියා සුධම්ම නම් රජුය. මව සුධර්මා නම් බිසව වූවාය. අසම, සුනෙත්ත නමින් අග්ර ශ්රාවකයෝ දෙනමක්ද, අනෝම නම් උපස්ථායකයාද විය. අග්ර ශ්රාවිකාවෝ දෙනම නකුලා ද, සුජාතා ද වූහ. නාගස බෝධියයි. රියන් පනස්අටක් උස ශරීරයක් විය. වර්ෂ අනූදහසක් ආයුෂ විය.
රේවත බුදුන් පිරිනිවි කල්හි තැන්පත් වූ, සන්සුන් සිත් ඇති, අසම වූ සමානයකු නැති, සෝභිත නම් බුදුන්වහන්සේ ලොව පහළවූ සේක.
අනොමදස්සී බුද්ධො
ඉන්පසු කාලයේ එක් අසංඛෙය්යක් ඉක්මවා, එක් කල්පයක බුදුවරු තෙනමක් උපන්නාහ. අනෝමදස්සි පදුම සහ නාරද යනුවෙනි. අනෝමදස්සි බුදුන්ගේ ශ්රාවක සන්නිපාත තුනෙක් විය. පළමු සන්නිපාතයේදී අටලක්ෂයක් භික්ෂූහු වූහ. දෙවැන්නේ සත් ලක්ෂයක්ද, තෙවැන්නේ හයලක්ෂ්යක්ද වූහ. එකල අප බෝසත්හු මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න, නොයෙක් කෝටිලක්ෂ ගණනාවක් යක්ෂයන්ට අධිපති යක්ෂ සේනාපතියෙක් විය. හෙතම බුදුන් උපන්නේ යයි අසා අවුත්, බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහදන් පැවැත්වීය. උන්වහන්සේද මෙතම ලෝකයේ බුදුවන්නේ යයි, විවරණ දුන් සේක. අනෝමදස්සි භාග්යවතුන් වහන්සේගේ නගරය චන්ද්රවතී නම් විය. ‘යසවා’ නම් රජු පියා වූයේය. යසෝධරා මව වූවාය. නිසභ, අනෝම යනුවෙන් අග්ර ශ්රාවකයෝ දෙනමක්ද, වරුණ නම් උපස්ථායකයාද, සුන්දරී, සුමනා නම් අග්ර ශ්රාවිකාවෝ දෙනමක්ද වූහ. කුඹුක් ගස බෝධියයි. රියන් පනහක් උස ශරීරයක්ද විය. වර්ෂ ලක්ෂයක් ආයුෂ වින්දේය.
“සෝභිත බුදුරදුන්ට පසුව අපමණ යසස් ඇති, තේජස් ඇති, ඉකුත් කිරීමට අපහසු දෙපා ඇත්තන්ට උතුම් වූ අනෝමදස්සී
පදුමො බුද්ධො
එයට පසු කාලයේ ‘පදුම’ නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේටද ශ්රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ කෝටි ලක්ෂයක් භික්ෂූහු වූහ. දෙවැන්නේ තුන් ලක්ෂයක්ද, තෙවැන්නේ ග්රාම්ය නොවූ අරණ්යයේ මහවනවාසී, භික්ෂූන් දෙලක්ෂයක්ද වූහ. එකල අප බෝසත් තෙම සිංහයකු වී ශාස්තෲන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදින ආකාරය දැක, පැහැදුණු සිත් ඇත්තේ වැඳ, ප්රදක්ෂිණා කොට ප්රීති සොම්නසට පැමිණියේ, තුන්වරක් සිංහනාද කොට සත්දිනක් බුද්ධාලම්භන ප්රීතිය අත්නොහැර ප්රීතිසුඛයෙන් ගොදුරු පිණිස පිටත්ව නොගොස්, ජීවිතය පරිත්යාගකොට බුදුරදුන් ආශ්රය කරමින් සිටියේය. ශාස්තෲන් වහන්සේ සත්දිනක් ඇවෑමෙන් නිරෝධ සමවතින් නැගිට සිංහයා දෙස බලා භික්ෂු සංඝයා කෙරෙහිද සිත පහදවා සංඝයා වඳින්නේය. භික්ෂු සංඝයා පැමිණේවා!යි සිතුවේය. භික්ෂූහු එකෙණෙහි ආවාහුය. සිංහයාද භික්ෂු සංඝයා කෙරහි ප්රසාදයට පත්විය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ මනස බලා, අනාගතයේ බුදුවන්නේ යයි ඔහුට විවරණ දුන් සේක. ‘පදුම’ බුදුරදුන්ගේ නගරය චම්පක නම් විය. පදුම නම් රජු පියා විය. (‘පදුම’ බුදුන්ගේ පියා අසම රජු නමින් බොහෝ අට්ඨ කථාවල සඳහන් වෙතත් මෙහි ඇත්තේ ‘පදුම’ රජු කියාය.) මව අසමා නම් වූවාය. සාල, උපසාල නමින් අග්ර ශ්රාවකයෝ දෙනමක්ද, වරුණ නම් උපස්ථායකයාද වූහ. රාමා, සුරමා නමින් අග්ර ශ්රාවිකාවෝ දෙනමකි. සෝමුරුතු ගස බෝධිය විය. රියන් පනස් අටක් උස ශරීරයක් විය. ආයුෂ වර්ෂ ලක්ෂයකි.