කොණාගමනො බුද්ධො
උන්වහන්සේට මතුකාලයේ කෝණාගමන නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ විය. උන්වහන්සේටද එකම ශ්රාවක සන්නිපාතයකි. එහි භික්ෂූන් තිස්දහසක් වූහ. එකල බෝසත්හු අප ‘පර්වත’ නම් රජවී, ඇමති සේනාව පිරිවරා ශාස්තෲන් සමීපයට ගොස් ධර්මදේශනාව අසා බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට ආරාධනාකොට මහදන් පවත්වා උවටැන් කොට පාත්ර පත්තුණ, චිනවස්ත්ර, ලිහිල් කම්බල කෝසෙය්ය දුහුලී වස්ත්රද රන්වන් මිරිවැඩි ද අනෙක් බොහෝ පිරිකර ද පුදා ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි විය. උන්වහන්සේද මෙතෙම බුදුවන්නේ යයි විවරණ දුන් සේක. උන්වහන්සේ සෝභවතී නම් නගරයෙහි උපන්නේය. යඤ්ඤදත්ත නම් බ්රාහ්මණ තෙමේ පියා විය. උත්තරා නම් බැමිණිය මව වූවාය. භිය්ය, උත්තර යනු අග්ර ශ්රාවකයෝ දෙනම වෙති. සොතිම්ප් යනු උපස්ථායක භික්ෂුවයි. සමුද්දා, උත්තරා යනු අග්ර ශ්රාවිකාවෝ වූහ. දිඹුල් ගස බෝධිය විය. ශරීරය රියන් තිහක් උසය. වර්ෂ තිස්දහසක් ආයුෂ වින්දේය.
“කකුසඳ බුදුරදුන්ගෙන් මතු ලොවට පහනක් වැනි නරශ්රේෂ්ඨ වූ ලෝකජ්යෙෂ්ඨ වූ කෝණාගමන ජිනේත්රයාණන් වහන්සේ ලොව පහළවූ සේක.”
කස්සපො බුද්ධො
උන්වහන්සේට මතුකාලයේ කස්සප නම් ශාස්තෲන් වහන්සේ පහළවූ සේක. උන්වහන්සේටද එකම ශ්රාවක සන්නිපාතයකි. එහි විසිදහසක් භික්ෂූහු වූහ. එකල අප බෝධිසත්ත්වයෝ ජෝතිපාල නම් මානවකයා වී ත්රිවේදයේ පරතෙරට පැමිණ පොළොවේද අහසේද ප්රකට වූයේය. ඔහු ඝටීකාර කුඹල්කරුගේ මිත්රයා විය. හෙතෙම ඔහු සමග ශාස්තෲන් වෙත එළඹ ධර්මදේශනාව අසා පැවිදි වී, පටන්ගත් වීර්ය ඇතිව තුන්පිටකය ඉගෙන වත්පිළිවෙතින් බුද්ධශාසනය ශෝභාමත් කළහ. උන්වහන්සේද මෙතම බුදුවන්නේ යයි වියරණ දුන්හ. ඒ භාග්යවතුන් වහන්සේගේ උපන් නගරය බරණැස නම් විය. බ්රහ්මදත්ත නම් බමුණා පියා වූයේය. බන්ධුමතී නම් බැමිණිය මව වූවාය. තිස්ස භාරද්වාජ යනු අග්ර ශ්රාවකයෝ දෙනම වූහ. උපස්ථායකයා සබ්බමිත්ත නමි. අනුලා, උරුවෙලා නමින් අග්ර ශ්රාවිකාවෝ දෙනමකි. නුගරුක බෝධියයි. ශරීරය විසිරියනක් උසය. වර්ෂ විසිදහසක ආයු කාලයක් වින්දේය.
“කෝණාගමන බුදුරදුන්ට පසුව සූර්යරාජයකු වැනි ලොවට පහනක් වැනි ධර්මරාජන් වූ කස්සප බුදුරදුන් පහළ වූ සේක.”
යම් කල්පයක දීපංකර භාග්යවත්හු පහළ වේද, එම කල්පයෙහි තවත් බුදුවරු තෙනමක්ද වූහ. උන්වහන්සේලා සමීපයේ බෝධිසත්වයාණන්ට විවරණ දීමක් නොමැත. එහෙයින් ඔවුහු මෙහි නොපෙනෙත්. අට්ඨකථාවේ, තණ්හංකර බුදුරදුන්ගේ පටන් සියළු බුදුවරුන් පෙන්වීමට මෙය කියන ලදි :-
“තණ්හංකර මේධංකර තවද සරණංකර, දීපංකර ලොවට පහනක් බඳු කොණ්ඩඤ්ඤ බුදුරදුන්ද,
මංගල, සුමන, රේවත එසේම සෝභිත, අනෝමදස්සි, පදුම, නාරද, පදුමුත්තර
සුමේධ ද, සුජාත ද මහත් කීර්තිමත් පියදස්සී, අත්ථදස්සි, ධම්මදස්සි, සිද්ධාර්ථ ලෝකනායකවරු
තිස්ස, ඵුස්ස සම්බුදුරදුන්ද, විපස්සී, සිඛී, වෙස්සභු, කකුසඳ, කෝණාගමන, කස්සප යන ශාස්තෲවරුද,
වීතරාගී වූ එකඟ වූ සිත් ඇති මේ සම්බුදුවරු වූහ. මහ අඳුර දුරු කරමින් සූර්යරාජයා මෙන් උපන්නාහුය. ශ්රාවක සංඝයා සහිත ඔවුහු ගිනිකඳන් සේ බැබළී නිවුණෝය.”
ගොතමො බුද්ධො
එහිදී අපගේ බෝධිසත්ත්වයෝ දීපංකර ආදි සිව්විසි බුදුවරුන්ගේ සමීපයේ ප්රාර්ථනා කරන්නේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයක සිට පැමිණි සේක. කාශ්යප බුදුරජාණන් වහන්සේගෙන් පසුභාගයෙහි මේ සම්යක් සම්බුද්ධයන් වහන්සේ හැර, වෙනත් බුදුකෙනෙක් නම් නැත්තාහ. මෙසේ දීපංකරාදී සූවිසි බුදුවරුන්ගෙන් ලබන ලද විවරණ ඇති බෝසතාණෝ,
“මිනිසත් භාවයද, ලිංග සම්පත්තියද, ශාස්තෲ කෙනෙකු දැකීමේ වාසනාවද, පැවිදිවීමද, මහත් ගුණ සමූහයද බුදුවීමේ දැඩි කැමැත්තද, මේ අෂ්ට ධර්ම ගැලපීමෙන් ප්රාර්ථනාව සමෘද්ධ වේ.”
යන මේ අෂ්ට ධර්ම සමාදන් වී, දීපංකර පාමුල කරන ලද අභිනීහාර ඇත්තේ, ඒකාන්තයෙන් සැමතැන බුද්ධකාරක ධර්මයේ සොයමියි සොයන්නේ පළමු දාන පාරමිතාව දුටුවෙමි. දානපාරමිතා ආදී බුද්ධකාරක ධර්මයෝ දක්නා ලදි. ඒවා පුරමින් වෙස්සන්තර ආත්මභාවය දක්වා පැමිණියේය. එසේ පැමිණෙන්නේද පැමිණෙන්නාහු කරන ලද යම් ඒ අභිනීහාරයන්හි ආනිශංස වර්ණනා කරන ලදි.
මෙසේ සියළු අංගවලින් යුක්ත වූ, සම්පූර්ණ බුදුබවට නියත පුද්ගලයෝ කල්ප කෝටි සියගණන් දිග සසර සැරිසරන්නාහු නමුදු,
අවීචියෙහි නූපදිති. එසේම ලෝකන්තරිකවලද නූපදිති. නිජ්ඣාම තණ්හික ඛුප්පිපාස කාලකඤ්ජක නොවෙති.
දුගතියෙහි ඉපදුන ද, ක්ෂුත්ර ප්රාණීහු නොවෙති. මිනිසුන් අතර උපදනා ඔවුහු ජාත්යන්ධයෝ නොවෙති.
කර්ණ විකලතා නොවෙති. ගොළු නොවෙති. ස්ත්රීත්වයට නොයති. උභතො බ්යඤ්ජක පණ්ඩක නොවෙති.
බෝධියට නියත උතුමෝ පරියාපන්න නොවෙති. ආනන්තරිකයන්ගෙන් වෙන් වූවාහු හැමතන්හි පිරිසිදු චරියා ඇත්තෝ,
කර්මවාදී කිරියවාදී දර්ශන ඇත්තාහු මිථ්යාදෘෂ්ටිය ඇසුරු නොකරති. ස්වර්ගයෙහි සිටියත් අසංඥ සත්තයෙහි නූපදිති.