වෙස්සභූ බුද්ධො
ඉන්පසු කාලයේ වෙස්සභූ නම් ශාස්තෲන් වහ්නසෙ ලොව පහළවූ සේක. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ අසූ ලක්ෂයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ සැත්තෑ දහසක්ද, තෙවැන්නේ සැටදහසක්ද වූහ. එකල බෝසත්හු සුදර්ශන නම් රජවී බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට චීවර සහිත මහදන් දී උන්වහන්සේ සමීපයේ පැවිදි වී ආචාර ගුණ සම්පන්නව බුද්ධරත්නයෙහි නොසැලෙන ප්‍රීති බහුලතාවයෙන් යුතු විය. ඒ භාග්‍යවතුන් වහන්සේද මෙතෙම මෙයින් කල්ප තිස්එකක් ඇවෑමෙන් බුදු වන්නේ යයි විවරණ දුන් සේක. ඒ භගවත්හු අනෝම නුවර උපන්හ. සුප්පතීත නම් රජු පියා විය. යසවතී මව වූවාය. සෝණ, උත්තර යනුවෙන් අග්‍ර ශ්‍රාවකයෝ දෙනමකි. උපස්ථායකයා උපශාන්ත වී. රාමා, සුරාමා යනු අග්‍ර ශ්‍රාවිකාවෝ දෙනමය. සල්රුක බෝධියයි. හැට රියනක් උස ශරීරය විය. වර්ෂ හැටදහසක් ආයු වැළඳියේය.
“මේ කල්පයෙහි අසම වූ අපමණ ගුණ ඇති වෙස්සභු නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක.”
කකුසන්ධො බුද්ධො
ඉන් මෑත භාගයේ මේ කල්පයෙහි බුදුවරු සතර නමක් උපන්නෝය. කකුසඳ, කෝණාගම, කස්සප සහ අපගේ භාග්‍යවතුන් වහන්සේ යනුවෙනි. කකුසඳ බුදුරදුන්ට එකම ශ්‍රාවක සන්නිපාතයකි. එහි සතළිස් දහසක් භික්‍ෂූහු වූහ. එකල අප බෝසත්, ඛේම නම් රජ වී බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට පාත්‍රසිවුරු ද, අඳුන් ආදි බෙහෙත් දන් දී ශාස්තෲ ධර්ම දේශනාව අසා පැවිදි විය. උන්වහන්සේද මෙතෙම බුදුවන්නේ යයි විවරණ දුන් සේක. කකුසඳ බුදුරදුන් උපන් නුවර ඛේම නම් විය. අග්ගිදත්ත නම් බ්‍රාහ්මණයා පියා වූයේය. විසාඛ නම් බැමිණිය මව වූවාය. විදුර, සංජීව නමින් අග්‍ර ශ්‍රාවකවරු දෙනමකි. උපස්ථායකයා බුද්ධිජ නම් වී. සාමා, චම්පා යනුවෙන් අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. මහරිය ගස බෝධියයි. ශරීරය රියන් හතළිහක් උස විය. වර්ෂ හතළිස් දහසක් ආයුෂ වින්දේය.
“වෙස්සභු බුදුරදුන්ට මතුකාලයේ ලොවට උතුම් පහනක් වූ අප්‍රමාණ ඤාණ සම්භාරයෙන් පිරි වෙත පැමිණීම දුෂ්කර වූ කකුසඳ නම් සම්බුදුරදුන් ලොව පහළ වූහ.”
කොණාගමනො බුද්ධො
උන්වහන්සේට මතුකාලයේ කෝණාගමන නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ විය. උන්වහන්සේටද එකම ශ්‍රාවක සන්නිපාතයකි. එහි භික්‍ෂූන් තිස්දහසක් වූහ. එකල බෝසත්හු අප ‘පර්වත’ නම් රජවී, ඇමති සේනාව පිරිවරා ශාස්තෲන් සමීපයට ගොස් ධර්මදේශනාව අසා බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට ආරාධනාකොට මහදන් පවත්වා උවටැන් කොට පාත්‍ර පත්තුණ, චිනවස්ත්‍ර, ලිහිල් කම්බල කෝසෙය්‍ය දුහුලී වස්ත්‍රද රන්වන් මිරිවැඩි ද අනෙක් බොහෝ පිරිකර ද පුදා ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි විය. උන්වහන්සේද මෙතෙම බුදුවන්නේ යයි විවරණ දුන් සේක. උන්වහන්සේ සෝභවතී නම් නගරයෙහි උපන්නේය. යඤ්ඤදත්ත නම් බ්‍රාහ්මණ තෙමේ පියා විය. උත්තරා නම් බැමිණිය මව වූවාය. භිය්‍ය, උත්තර යනු අග්‍ර ශ්‍රාවකයෝ දෙනම වෙති. සොතිම්ප් යනු උපස්ථායක භික්‍ෂුවයි. සමුද්දා, උත්තරා යනු අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. දිඹුල් ගස බෝධිය විය. ශරීරය රියන් තිහක් උසය. වර්ෂ තිස්දහසක් ආයුෂ වින්දේය.
“කකුසඳ බුදුරදුන්ගෙන් මතු ලොවට පහනක් වැනි නරශ්‍රේෂ්ඨ වූ ලෝකජ්‍යෙෂ්ඨ වූ කෝණාගමන ජිනේත්‍රයාණන් වහන්සේ ලොව පහළවූ සේක.”
කස්සපො බුද්ධො
උන්වහන්සේට මතුකාලයේ කස්සප නම් ශාස්තෲන් වහන්සේ පහළවූ සේක. උන්වහන්සේටද එකම ශ්‍රාවක සන්නිපාතයකි. එහි විසිදහසක් භික්‍ෂූහු වූහ. එකල අප බෝධිසත්ත්වයෝ ජෝතිපාල නම් මානවකයා වී ත්‍රිවේදයේ පරතෙරට පැමිණ පොළොවේද අහසේද ප්‍රකට වූයේය. ඔහු ඝටීකාර කුඹල්කරුගේ මිත්‍රයා විය. හෙතෙම ඔහු සමග ශාස්තෲන් වෙත එළඹ ධර්මදේශනාව අසා පැවිදි වී, පටන්ගත් වීර්ය ඇතිව තුන්පිටකය ඉගෙන වත්පිළිවෙතින් බුද්ධශාසනය ශෝභාමත් කළහ. උන්වහන්සේද මෙතම බුදුවන්නේ යයි වියරණ දුන්හ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ උපන් නගරය බරණැස නම් විය. බ්‍රහ්මදත්ත නම් බමුණා පියා වූයේය. බන්‍ධුමතී නම් බැමිණිය මව වූවාය. තිස්ස භාරද්වාජ යනු අග්‍ර ශ්‍රාවකයෝ දෙනම වූහ. උපස්ථායකයා සබ්බමිත්ත නමි. අනුලා, උරුවෙලා නමින් අග්‍ර ශ්‍රාවිකාවෝ දෙනමකි. නුගරුක බෝධියයි. ශරීරය විසිරියනක් උසය. වර්ෂ විසිදහසක ආයු කාලයක් වින්දේය.
“කෝණාගමන බුදුරදුන්ට පසුව සූර්යරාජයකු වැනි ලොවට පහනක් වැනි ධර්මරාජන් වූ කස්සප බුදුරදුන් පහළ වූ සේක.”
යම් කල්පයක දීපංකර භාග්‍යවත්හු පහළ වේද, එම කල්පයෙහි තවත් බුදුවරු තෙනමක්ද වූහ. උන්වහන්සේලා සමීපයේ බෝධිසත්වයාණන්ට විවරණ දීමක් නොමැත. එහෙයින් ඔවුහු මෙහි නොපෙනෙත්. අට්ඨකථාවේ, තණ්හංකර බුදුරදුන්ගේ පටන් සියළු බුදුවරුන් පෙන්වීමට මෙය කියන ලදි :-