විපස්සී බුද්ධො
ඉන් මතුකාලයේ මෙයින් කල්ප එක අනූවකට පෙර විපස්සි නම් භගවත්හු පහළ විය. උන්වහන්සේට ශ්රාවක සන්නිපාත තුනෙක් වූහ. පළමු සන්නිපාතයේ අටසැට ලක්ෂයක භික්ෂූහු වූහ. දෙවැන්නේ අනූ එක් ලක්ෂයක්ද, තුන්වැන්නේ අසූ දහසක්ද වූහ. එකල බෝසත්හු මහා සෘද්ධි ඇති මහානුභාව සම්පන්න අතුල නම් නාගරාජයා වී මැණික් හතක් ඔබ්බවන ලද මාණික්යය පුටුවක් බුදුරජාණන් වහන්සේට පිදීය. උන්වහන්සේද, මෙතෙම මෙයින් කල්ප එක් අනූවකින් මතු බුදුවන්නේ යයි විවරණ ප්රකාශ කළ සේක. ඒ භාග්යවතුන් වහන්සේ උපන් නගරය බන්ධුමතී නම් විය. බන්ධුමා නම් රජු පියා විය. මව බන්ධුමතී නම් වූවාය. ඛණ්ඩ, තිස්ස යනු අග්ර ශ්රාවකයෝ දෙනම වූහ. අසෝක යනු උපස්ථායකයාය. චන්ද්ර, චන්ද්රමිත්තා යනුවෙන් අග්ර ශ්රාවිකාවෝ දෙදෙනෙකි. පළොල් ගස බෝධියයි. ශරීරය අසූ රියනක් උසය. ශරීර ප්රභාව යොදුන් සතක් දුර පැතිරී තිබුණේය. අවුරුදු අසූදහසක් ආයුෂ වින්දේය.
ඵුස්ස බුදුන් වහන්සේට මතුයෙහි, ලොවට ඇසක් වැනි වූ, දෙපා ඇත්තන්ට උතුම් වූ, විපස්සී නම් සම්බුද්ධයන් වහන්සේ ලොව පහළවූ සේක.
සිඛී බුද්ධො
ඉන්පසු කාලයේ මෙයින් කල්ප තිස්එකක් මත්තෙහි සිඛී, වෙස්සභු යන බුදුවරු දෙනම වූහ. සිඛි බුදුරදුන්ට ශ්රාවක සන්නිපාත තුනෙක් වූහ. පළමු සන්නිපාතයේ භික්ෂූන් ලක්ෂයක් විය. දෙවැන්නේ අසූදහසක්ද, තෙවැන්නේ සැත්තෑදහසක්ද වූහ. එකල බෝසත්හු අරින්දම නම් රජු වී බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට චීවර සහිත මහා දානයක් පවත්වා, සත්රුවනින් අලංකාර කළ, හස්තිරත්නයක් දී ඇතකු ප්රමාණ කැප බඩුද දන් දුන්නේය. ඒ ශාස්තෲන් වහන්සේ මෙයින් එක්තිසක් කල්පයෙහි මෙතෙම බුදුවන්නේ යයි විවරණ කළ සේක. ඒ භාග්යවත් බුදුරදුන් උපන් නුවර අරුණවතී නම් විය. අරුණ නම් ක්ෂත්රිය රජු පියා විය. ප්රභාවතී බිසව මව වූවාය. අභිභු, සම්භුත යනුවෙන් අග්ර ශ්රාවක දෙනමක් වූයේය. ඛේමංකර යනු උපස්ථායක භික්ෂුවයි. මඛිලා, පදුමා යනු අග්ර ශ්රාවිකාවෝ වූහ. ඇටඹ ගස බෝධියයි. ශරීරය තිස්හත් රියනක් උස විය. ශරීර ප්රභාව යොදුන් තුනක් දුර පැතිරී සිටියේය. අවුරුදු සැත්තෑදහසක් ආයුෂ වැළඳියේය.
“විපස්සි බුදුරදුන්ට පසුව, ලොවට පහනක් වැනි දෙපා ඇත්තවුන්ට නායක වූ අසමසම, අසහාය සිඛී නම් බුදුරදුන් ලොව පහළවූ සේක.”
වෙස්සභූ බුද්ධො
ඉන්පසු කාලයේ වෙස්සභූ නම් ශාස්තෲන් වහ්නසෙ ලොව පහළවූ සේක. උන්වහන්සේටද ශ්රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ අසූ ලක්ෂයක් භික්ෂූහු වූහ. දෙවැන්නේ සැත්තෑ දහසක්ද, තෙවැන්නේ සැටදහසක්ද වූහ. එකල බෝසත්හු සුදර්ශන නම් රජවී බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට චීවර සහිත මහදන් දී උන්වහන්සේ සමීපයේ පැවිදි වී ආචාර ගුණ සම්පන්නව බුද්ධරත්නයෙහි නොසැලෙන ප්රීති බහුලතාවයෙන් යුතු විය. ඒ භාග්යවතුන් වහන්සේද මෙතෙම මෙයින් කල්ප තිස්එකක් ඇවෑමෙන් බුදු වන්නේ යයි විවරණ දුන් සේක. ඒ භගවත්හු අනෝම නුවර උපන්හ. සුප්පතීත නම් රජු පියා විය. යසවතී මව වූවාය. සෝණ, උත්තර යනුවෙන් අග්ර ශ්රාවකයෝ දෙනමකි. උපස්ථායකයා උපශාන්ත වී. රාමා, සුරාමා යනු අග්ර ශ්රාවිකාවෝ දෙනමය. සල්රුක බෝධියයි. හැට රියනක් උස ශරීරය විය. වර්ෂ හැටදහසක් ආයු වැළඳියේය.
“මේ කල්පයෙහි අසම වූ අපමණ ගුණ ඇති වෙස්සභු නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක.”
කකුසන්ධො බුද්ධො
ඉන් මෑත භාගයේ මේ කල්පයෙහි බුදුවරු සතර නමක් උපන්නෝය. කකුසඳ, කෝණාගම, කස්සප සහ අපගේ භාග්යවතුන් වහන්සේ යනුවෙනි. කකුසඳ බුදුරදුන්ට එකම ශ්රාවක සන්නිපාතයකි. එහි සතළිස් දහසක් භික්ෂූහු වූහ. එකල අප බෝසත්, ඛේම නම් රජ වී බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට පාත්රසිවුරු ද, අඳුන් ආදි බෙහෙත් දන් දී ශාස්තෲ ධර්ම දේශනාව අසා පැවිදි විය. උන්වහන්සේද මෙතෙම බුදුවන්නේ යයි විවරණ දුන් සේක. කකුසඳ බුදුරදුන් උපන් නුවර ඛේම නම් විය. අග්ගිදත්ත නම් බ්රාහ්මණයා පියා වූයේය. විසාඛ නම් බැමිණිය මව වූවාය. විදුර, සංජීව නමින් අග්ර ශ්රාවකවරු දෙනමකි. උපස්ථායකයා බුද්ධිජ නම් වී. සාමා, චම්පා යනුවෙන් අග්ර ශ්රාවිකාවෝ වූහ. මහරිය ගස බෝධියයි. ශරීරය රියන් හතළිහක් උස විය. වර්ෂ හතළිස් දහසක් ආයුෂ වින්දේය.