තිස්සො බුද්ධො
එයට පසුකාලයේ මෙයින් කල්ප අනූදෙකකට මත්තෙහි එක් කල්පයක තිස්ස, ඵුස්ස යනුවෙන් බුදුවරු දෙනමක් උපන්නාහ. තිස්ස බුදුරදුන්ට ශ්රාවක සන්නිපාත තුනෙකි. පළමු සන්නිපාතයේ භික්ෂූන් කෝටි සියයක් විය. දෙවැන්නේ අනූකෝටියක්ද, තෙවැන්නේ අසූ කෝටියක්ද වශයෙනි. එකල අප බෝසත්හුව මහත් භෝග ඇති මහත් යශස් ඇති, සුජාත නම් රජවී, සෘෂි ප්රවෘජ්යාවෙන් පැවිදිවී මහත් සෘද්ධිභාවයට පැමිණ, බුදුන් උපන්නේ යයි අසා දිව්යමය වූ මදාරා, පියුම්, පරසතු මල් ආදියද, ගෙන සිවු පිරිස මැද යන්නා වූ බුදුරදුන්ට පූජා කළේය. අහසෙහි මල් වියනක් වූයේය. ඒ ශාස්තෲන් වහන්සේද මෙතෙම මෙයින් අනූකපක් මත්තෙහි බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ බුදුරදුන්ගේ නගරය ඛේම නම් විය. පියා ජනසන්ධ නම් වූයේය. මව පදුමා නම් වූවාය. බ්රහ්මදේව, උදය යනුවෙන් අග්ර ශ්රාවකයෝ දෙනමක් වූහ. උපස්ථායක සුමන නම් විය. ඵුස්සා-සුදත්තා යනුවෙන් අග්ර ශ්රාවිකාවෝ දෙදෙනෙකි. අසනිය ගස බෝධියයි. ශරීරය හැටරියන් පමණ උස විය. වර්ෂ ලක්ෂයක් ආයුෂ විය.
සිද්ධාර්ථ බුදුරදුන්ට පසුව අනන්ත සිල් ඇති අප්රමාණ යශස් ඇති අසහාය අසම සම තිස්ස ලෝකනායකයාණන් වහන්සේ පහළ වූහ.
ඵුස්සො බුද්ධො
එයට පසුකාලයේ ඵුස්ස නම් ශාස්තෲන් වහන්සේ පහළ විය. උන්වහන්සේටද ශ්රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයේ සැටලක්ෂයක් භික්ෂුහු වූහ. දෙවැන්නේ ලක්ෂ පනහක්ද, තෙවැන්නේ ලක්ෂ තිස්දෙකක්ද වූහ. එකල අප බෝධිසත්ත්වයෝ විජිතාවි නම් ක්ෂත්රිය රජව මහා රාජ්යය හැර ශාස්තෲන් සමීපයේ පැවිදිවී තුන්පිටකය ඉගෙන මහජනයාට ධර්මය වදාළ සේක. සීල පාරමිතාවද පිරීය. උන්වහන්සේද මෙතෙම බුදුවන්නේ යයි විවරණ දුන් සේක. උන්වහන්සේගේ නගරය කසීනම් වී. ජයසේන නම් රජතුමා පියා විය. මව සිරිමා නම් වූවාය. සුරක්ඛිත, ධම්මසේන යනු අග්ර ශ්රාවකයෝ දෙනමක් වූහ. උපස්ථායකයා අභය නම් වී. සාලා, උපසාලා යනු අග්ර ශ්රාවිකාවෝ වූහ. නෙල්ලි ගස බෝධියයි. ශරීරය පනස්අට රියන් උස විය. අවුරුදු අනූදහසක් ආයුෂ වින්දේය.
ඒ මණ්ඩ කල්පයෙහි, උපමා රහිත වූ, මහා කීර්තිමත් වූ, නිරුත්තර වූ ලෝකයට අග්රනායක වූ ඵුස්ස නම් ශාස්තෲන් වහන්සේ පහළවූ සේක.
විපස්සී බුද්ධො
ඉන් මතුකාලයේ මෙයින් කල්ප එක අනූවකට පෙර විපස්සි නම් භගවත්හු පහළ විය. උන්වහන්සේට ශ්රාවක සන්නිපාත තුනෙක් වූහ. පළමු සන්නිපාතයේ අටසැට ලක්ෂයක භික්ෂූහු වූහ. දෙවැන්නේ අනූ එක් ලක්ෂයක්ද, තුන්වැන්නේ අසූ දහසක්ද වූහ. එකල බෝසත්හු මහා සෘද්ධි ඇති මහානුභාව සම්පන්න අතුල නම් නාගරාජයා වී මැණික් හතක් ඔබ්බවන ලද මාණික්යය පුටුවක් බුදුරජාණන් වහන්සේට පිදීය. උන්වහන්සේද, මෙතෙම මෙයින් කල්ප එක් අනූවකින් මතු බුදුවන්නේ යයි විවරණ ප්රකාශ කළ සේක. ඒ භාග්යවතුන් වහන්සේ උපන් නගරය බන්ධුමතී නම් විය. බන්ධුමා නම් රජු පියා විය. මව බන්ධුමතී නම් වූවාය. ඛණ්ඩ, තිස්ස යනු අග්ර ශ්රාවකයෝ දෙනම වූහ. අසෝක යනු උපස්ථායකයාය. චන්ද්ර, චන්ද්රමිත්තා යනුවෙන් අග්ර ශ්රාවිකාවෝ දෙදෙනෙකි. පළොල් ගස බෝධියයි. ශරීරය අසූ රියනක් උසය. ශරීර ප්රභාව යොදුන් සතක් දුර පැතිරී තිබුණේය. අවුරුදු අසූදහසක් ආයුෂ වින්දේය.
ඵුස්ස බුදුන් වහන්සේට මතුයෙහි, ලොවට ඇසක් වැනි වූ, දෙපා ඇත්තන්ට උතුම් වූ, විපස්සී නම් සම්බුද්ධයන් වහන්සේ ලොව පහළවූ සේක.
සිඛී බුද්ධො
ඉන්පසු කාලයේ මෙයින් කල්ප තිස්එකක් මත්තෙහි සිඛී, වෙස්සභු යන බුදුවරු දෙනම වූහ. සිඛි බුදුරදුන්ට ශ්රාවක සන්නිපාත තුනෙක් වූහ. පළමු සන්නිපාතයේ භික්ෂූන් ලක්ෂයක් විය. දෙවැන්නේ අසූදහසක්ද, තෙවැන්නේ සැත්තෑදහසක්ද වූහ. එකල බෝසත්හු අරින්දම නම් රජු වී බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට චීවර සහිත මහා දානයක් පවත්වා, සත්රුවනින් අලංකාර කළ, හස්තිරත්නයක් දී ඇතකු ප්රමාණ කැප බඩුද දන් දුන්නේය. ඒ ශාස්තෲන් වහන්සේ මෙයින් එක්තිසක් කල්පයෙහි මෙතෙම බුදුවන්නේ යයි විවරණ කළ සේක. ඒ භාග්යවත් බුදුරදුන් උපන් නුවර අරුණවතී නම් විය. අරුණ නම් ක්ෂත්රිය රජු පියා විය. ප්රභාවතී බිසව මව වූවාය. අභිභු, සම්භුත යනුවෙන් අග්ර ශ්රාවක දෙනමක් වූයේය. ඛේමංකර යනු උපස්ථායක භික්ෂුවයි. මඛිලා, පදුමා යනු අග්ර ශ්රාවිකාවෝ වූහ. ඇටඹ ගස බෝධියයි. ශරීරය තිස්හත් රියනක් උස විය. ශරීර ප්රභාව යොදුන් තුනක් දුර පැතිරී සිටියේය. අවුරුදු සැත්තෑදහසක් ආයුෂ වැළඳියේය.
“විපස්සි බුදුරදුන්ට පසුව, ලොවට පහනක් වැනි දෙපා ඇත්තවුන්ට නායක වූ අසමසම, අසහාය සිඛී නම් බුදුරදුන් ලොව පහළවූ සේක.”
වෙස්සභූ බුද්ධො
ඉන්පසු කාලයේ වෙස්සභූ නම් ශාස්තෲන් වහ්නසෙ ලොව පහළවූ සේක. උන්වහන්සේටද ශ්රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ අසූ ලක්ෂයක් භික්ෂූහු වූහ. දෙවැන්නේ සැත්තෑ දහසක්ද, තෙවැන්නේ සැටදහසක්ද වූහ. එකල බෝසත්හු සුදර්ශන නම් රජවී බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට චීවර සහිත මහදන් දී උන්වහන්සේ සමීපයේ පැවිදි වී ආචාර ගුණ සම්පන්නව බුද්ධරත්නයෙහි නොසැලෙන ප්රීති බහුලතාවයෙන් යුතු විය. ඒ භාග්යවතුන් වහන්සේද මෙතෙම මෙයින් කල්ප තිස්එකක් ඇවෑමෙන් බුදු වන්නේ යයි විවරණ දුන් සේක. ඒ භගවත්හු අනෝම නුවර උපන්හ. සුප්පතීත නම් රජු පියා විය. යසවතී මව වූවාය. සෝණ, උත්තර යනුවෙන් අග්ර ශ්රාවකයෝ දෙනමකි. උපස්ථායකයා උපශාන්ත වී. රාමා, සුරාමා යනු අග්ර ශ්රාවිකාවෝ දෙනමය. සල්රුක බෝධියයි. හැට රියනක් උස ශරීරය විය. වර්ෂ හැටදහසක් ආයු වැළඳියේය.
“මේ කල්පයෙහි අසම වූ අපමණ ගුණ ඇති වෙස්සභු නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක.”
කකුසන්ධො බුද්ධො
ඉන් මෑත භාගයේ මේ කල්පයෙහි බුදුවරු සතර නමක් උපන්නෝය. කකුසඳ, කෝණාගම, කස්සප සහ අපගේ භාග්යවතුන් වහන්සේ යනුවෙනි. කකුසඳ බුදුරදුන්ට එකම ශ්රාවක සන්නිපාතයකි. එහි සතළිස් දහසක් භික්ෂූහු වූහ. එකල අප බෝසත්, ඛේම නම් රජ වී බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට පාත්රසිවුරු ද, අඳුන් ආදි බෙහෙත් දන් දී ශාස්තෲ ධර්ම දේශනාව අසා පැවිදි විය. උන්වහන්සේද මෙතෙම බුදුවන්නේ යයි විවරණ දුන් සේක. කකුසඳ බුදුරදුන් උපන් නුවර ඛේම නම් විය. අග්ගිදත්ත නම් බ්රාහ්මණයා පියා වූයේය. විසාඛ නම් බැමිණිය මව වූවාය. විදුර, සංජීව නමින් අග්ර ශ්රාවකවරු දෙනමකි. උපස්ථායකයා බුද්ධිජ නම් වී. සාමා, චම්පා යනුවෙන් අග්ර ශ්රාවිකාවෝ වූහ. මහරිය ගස බෝධියයි. ශරීරය රියන් හතළිහක් උස විය. වර්ෂ හතළිස් දහසක් ආයුෂ වින්දේය.