දූරෙනිදානකථා
දැන් දක්වනුයේ දූරෙ නිදානයයි. මෙයින් සතර අසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයකට ඉහත අමරවතී නම් නගරයක් විය. එහි සුමේධ නම් බ්‍රාහ්මණයකු වාසය කරයි. උභය කුල පරිශුද්ධව ඔහුගේ මවද පියාද, කුල හතක් දක්වා පිරිසිදු වූ පරම්පරා ඇති, අපහාස නොලැබූ, නින්දා නොලැබූ, උපතින් මනාරූ ඇති, දැකුම්කළු පැහැදීම් ඇති කරන පරම වර්ණයෙන් හේ සමන්විතය. හෙතම වෙනත් ක්‍රියාවක් නොකොට බ්‍රාහ්මණ ශිල්පයම උගත්තේය. ඔහුගේ ළදරු කාලයේම දෙමව්පියෝ කළුරිය කළහ. ඉක්බිති ඔහුගේ රාසිවර්ධක ඇමතියා (භාණ්ඩාගාරය භාර නිලධාරියා) අයපොත ගෙන්වාගෙන රන් රිදී මුතුමැණික් ආදියෙන් පිරුණ නිධන් ගැබ විවරකොට කුමාරයාණනි; ඔබට මවගෙන් උරුම මෙපමණය, පිය උරුමයෙන් මෙපමණය මුත්තාගේ හා මීමුත්තාගේ ධනය මෙපමණය. ධනය ගැන කියවා, මේවා පිළිගන්නැයි කීවේය. සුමේධ පණ්ඩිතයා මෙසේ සිතීය. මේ ධනය පිළිගෙන මගේ පියමුතු පරපුර පරලොව යන්නාහු එක කහවනුවකුදු ගෙන නොගියේය. මා විසින් පිළිගෙන පරිත්‍යාග කිරීම වටී යයි, රජුට දැනුම් දී, නගරයේ බෙරහඬ නංවා, මහජනයාට දන් දී තාපස ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි විය. ඔහුගේ මේ අදහස හෙළි කිරීමට, මෙතැන්හිදී සුමේධ කථාව කිවයුතුය. එය වනාහි නිරතුරුව බුද්ධවංසයෙහි ආ පරිද්දෙන් ගාථා බන්ධනයෙන් යුක්ත බැවින් සරළ ලෙස ප්‍රකට නොවේ. එහෙයින් ඒ අතරතුර ගාථා සම්බන්ධ වචන හා අර්ථ සමග කියන්නෙමු.
සුමෙධකථා
සාර අසංඛෙය්‍ය කල්ප සත් දහසකට අධික වූ මත්තෙහි, දස ශබ්දවලින් නිරතුරු පැවති, දර්ශනීය වූ, මනහර වූ, අමරවතී යයි ද, අමර යයි ද නම් ලද නගරයක් විය. යමක් සඳහා බුද්ධවංස පාළියේ කියන ලද්දේද;
“සාරාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයකට පෙර, දසවිධ ශබ්දයෙන් නිරතුරු පැවති ආහාරපානවලින් සුලභ දර්ශනීය මනෝරම්‍ය වූ අමර නම් නගරයක් වී.
එහි දසහිසද්දෙහි අවිවිත්තං යනු ඇත් ශබ්දයෙන්, අශ්ව ශබ්දයෙන්, රථ ශබ්දයෙන්, භේරි ශබ්දයෙන්, උඩැක්කි නාදයෙන්, වීණා නාදයෙන්, ගීත ශබ්දයෙන්, හක් ශබ්දයෙන්, පණාබෙර නාදයෙන් අනුභව කරවු! වළඳවු! කවු! බොවු! යන දසවිධ ශබ්දයෙන්ද මෙම ශබ්දවලින් නිරතුරුව පැවතියේ විය. ඒ ශබ්දය එකක් වශයෙන් ගෙන
“ඇත් ශබ්ද, අශ්ව ශබ්ද, බෙර, සක්, රථ ද කවු, බොවු ආහාරපානයෙන් ඝෝෂා කරන ලද සේ” යයි –
බුද්ධවංස පාළියේ මේ ගාථාව කියා :-
“සියළු කාමවස්තුවලින් යුක්ත වූ සියළු නගර අංගයන්ගෙන් පිරිපුන් සත්රුවනින් යුතු නොයෙක් ජනයාගෙන් ගැවසුණු පින් කැමැතියන්ට ආවාසයක් වූ දේව නගරයක් මෙන් සමෘද්ධ වූ”
“නොයෙක් කෝටි ගණනින් රැස්කළ බොහෝ ධනය ඇති සුමේධ නම් බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් අමරවතී නගරයෙහි විසූහ.
හේ වේදය ඉගෙන, වේද මන්ත්‍ර දරන, ත්‍රිවේදයේ පරතෙරට පත් ඉතිහාසය ලක්‍ෂණ විද්‍යාව සහිත තම ධර්මයෙහි පරතෙරට පැමිණියේ” යයි කියන ලදි.
ඉක්බිති එක්දිනක් ඒ සුමේධ පණ්ඩිත තෙම ප්‍රාසාද තලය මස්තකයේ රහසිගතව හිඳ පලඟක් බැඳ හුන්නේ මෙසේ සිතීය. පුනර්භවයෙක යළි ප්‍රතිසන්ධි ගැනීම නම් දුකකි. එසේ උපන් උපන් තැන ශරීරයේ බිඳීමද, (දුකයි.) මම ඉපදීම ස්වභාවකොට ඇත්තෙමි. ජරාව ස්වභාවකොට ඇත්තෙමි. ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙමි මරණය ස්වභාවකොට ඇත්තෙමි. මෙසේ ඇතිකල්හි මා විසින්, නොඉපදීමද, නොදිරීමද, නිරෝගී බවද, නොමැරීමද, දුක් නැති බවද, සිසිල් වූ අමෘත මහා නිර්වාණය සෙවීමට වටී යයි, අවශ්‍යයෙන්ම භවයෙන් මිදී නිර්වාණගාමී වූ ඒකායන මාර්ගයෙන්ම විය යුතුය. ඒ නිසාවෙන් කියන ලදී.
“රහසිගතව හිඳ - මම එකල මෙසේ සිතුවෙමි, ශරීරයේ බිඳීමද පුනර්භවයද දුකකි.”
“ජාති ජරා ව්‍යාධි ස්වභාවකොට ඇති මම අජර අමර ක්‍ෂේම වූ නිවන සොයන්නෙමි.”
“ඉදින් මේ කුණුකය නොයෙක් නොයෙක් කුණපවලින් පිරී ඇත. අර්ථයක් නැතිව, බලාපොරොත්තු රහිතව එය හැරදමා යා යුතුය.
හේතුවක් නැතිව කිසිවක් සිදු නොවේ. හේතුවක් ඇති එවැනි මාර්ගයක් ඇත. භවයෙන් මිදෙනු ලබන්නා වූ ඒ මාර්ගය සොයා යන්නෙමි.”
ඉක්බිති පසුවද මෙසේ සිතුවේය. යම්සේ ලෝකයෙහි දුකට ප්‍රතිවිරුද්ධ වූ, සැප නමින් දෙයක් ඇති මෙසේ භවය ඇතිකල්හි එයට විපක්‍ෂ වු විභවයක්ද තිබිය යුතුය. යම්සේ උෂ්ණය ඇතිකල්හි එය මැඩපැවැත්වීමට සීතලක්ද ඇත. මෙසේ රාග ගිනි ආදිය සංසිඳවීම පිණිස නිවනක්ද තිබිය යුතුය. යම්සේ ළාමක පාප ධර්මයට විරුද්ධ වූ යහපත් නිරවද්‍ය පෙරදැරි වු ධර්මයක් ද ඇත්තේමය. එසේම පාපකාරී උපතක් ඇතිකල්හි සියළුම උත්පත්තීන් නික්මීමට සමත් නොඉපදීම මුල් වූ නිර්වාණයක් ද තිබිය යුතුමය. එසේ හෙයින් කියන ලදී –