අත්ථදස්සී බුද්ධො
ඉන්පසු කාලයේ අත්ථදස්සි නම් භාග්‍යවතුන් වහන්සේ පහළවූ සේක. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ අනූඅට කෝටියක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ අසූඅටදහසක්ද, තෙවැන්නේද එසේමය. එකල බෝසත්හු සුසීම නම් මහත් සෘද්ධි ඇති තාපසකයකු වී දිව්‍යලෝකයෙන් මදාරා මල් කූඩයක් ගෙනවුත් ශාස්තෲන් වහන්සේට පූජා කළේය. උන්වහන්සේද මෙතෙම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ බුදුරදුන් උපන් නගරය සෝභිත නම් විය. සාගර නම් රජු පියාය. සුදස්සන යනු මවයි. සන්ත, උපශාන්ත යනු අග්‍රශ්‍රාවකයෝ දෙනමයි. අභය නම් උපස්ථායකයාද විය. ධම්මා, සුධම්මා යනු අග්‍රශ්‍රාවිකාවෝ දෙනම වූහ. සපුගස බෝධියයි. ශරීරය රියන් අසූවක් උසය. ශරීර ප්‍රභාව යොදුන් සතක් පමණ හාත්පස පැතිරී සිටියේය. ආයුෂ වර්ෂ ලක්‍ෂයකි.
ඒ මණ්ඩ කල්පයෙහි මහා අඳුර දුරුකොට අත්‍ථදස්සි නම් වූ මහා පුරුෂයා සම්මා සම්බෝධියට පත්වූයේය.
ධම්මදස්සී බුද්ධො
ඉන්පසු කාලයේ ධම්මදස්සි නම් ශාස්තෲන් වහන්සේ පහළවිය. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක්ම වූහ. පළමු සන්නිපාතයේ කෝටිසියයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නේ හැත්තෑ කෝටියක්ද, තෙවැන්නේ අසූකෝටියක්ද වශයෙනි. එකල බෝසත්හු ශක්‍ර දිව්‍යරාජයා වී, දිව්‍ය මල්වලින්ද, දිව්‍ය තූර්යනාදයෙන්ද පූජා කළේය. ඒ ශාස්තෲන් වහන්සේ මෙතම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය සරණ නම් විය. පියා සරණ නම් රජුය. මව සුනන්දා නම් වූවාය. සුමන පුෂ්පදේව යනු අග්‍රශ්‍රාවකයෝ දෙනම වෙති. උපස්ථායකයා සුනෙත නම් වේ. අග්‍රශ්‍රාවිකාවෝ දෙනම ඛේමා, සච්චනාමා නම් වූහ. රත්කරඬු ගස බෝධියයි. එයට බිඹුදැල් යයිද කියනු ලැබේ. උන්වහන්සේගේ ශරීරය රියන් අසූවක් උසය. වර්ෂ ලක්‍ෂයක් ආයුෂ වී,
“එම මණ්ඩ කල්පයෙහි මහා යශස් ඇති කීර්තිමත් වූ, ධම්මදස්සී බුදුන් වහන්සේ ලොව පහළව, අන්‍ධකාරය දුරුකොට දෙවියන් සහිත ලෝකය බැබළවීය.”
සිද්ධත්ථො බුද්ධො
එයට පසුකාලයේ මෙයින් අනූසතර කල්පයක් මත්තෙහි එක් කල්පයක එකම සිද්ධත්‍ථ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවූහ. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනෙකි. පළමු සන්නිපාතයේ භික්‍ෂූන්ගේ ගණන කෝටිසියයක් විය. දෙවැන්නේ අනූකෝටියක්ද, තෙවැන්නේ අසූකෝටියක්ද වූහ. එකල අප බෝසත්හු උග්‍රතේජස් ඇති, අභිඥා බලසම්පන්න වූ, මංගල නම් තාපසයෙක් විය. මහජම්බු ගෙඩියක් ගෙනවුත් තථාගතයන්ට දුන්නේය. ශාස්තෲන් වහන්සේ ඒ ගෙඩිය වළඳා අනූසතර කල්පයක් මස්තකයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය වේභාර නම් විය. පියා ජයසේන නම් රජුය. මව සුඵුස්සා නම් වූවාය. සම්බල, සුමිත්ත යනු අග්‍රශ්‍රාවකයෝ දෙනම වෙත්. උපස්ථායකයා රේවත නම් වේ. සීවලී සුරාමා යනු අග්‍ර ශ්‍රාවිකාවෝ දෙනමයි. කිණිහිරිය ගස බෝධියයි. ශරීරය හැටරියනක් උසය. ආයුෂ වර්ෂ ලක්ෂයකි.
ධම්මදස්සී බුදුනට මත්තෙහි සිද්ධාර්ථ ලෝකනායකයාණෝ, සූර්යයා උදා වූ කලක් මෙන්, සකල අන්ධකාරයන් දුරුකොට බුද්ධත්වයට පත්වූ සේක.
තිස්සො බුද්ධො
එයට පසුකාලයේ මෙයින් කල්ප අනූදෙකකට මත්තෙහි එක් කල්පයක තිස්ස, ඵුස්ස යනුවෙන් බුදුවරු දෙනමක් උපන්නාහ. තිස්ස බුදුරදුන්ට ශ්‍රාවක සන්නිපාත තුනෙකි. පළමු සන්නිපාතයේ භික්‍ෂූන් කෝටි සියයක් විය. දෙවැන්නේ අනූකෝටියක්ද, තෙවැන්නේ අසූ කෝටියක්ද වශයෙනි. එකල අප බෝසත්හුව මහත් භෝග ඇති මහත් යශස් ඇති, සුජාත නම් රජවී, සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිවී මහත් සෘද්ධිභාවයට පැමිණ, බුදුන් උපන්නේ යයි අසා දිව්‍යමය වූ මදාරා, පියුම්, පරසතු මල් ආදියද, ගෙන සිවු පිරිස මැද යන්නා වූ බුදුරදුන්ට පූජා කළේය. අහසෙහි මල් වියනක් වූයේය. ඒ ශාස්තෲන් වහන්සේද මෙතෙම මෙයින් අනූකපක් මත්තෙහි බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ බුදුරදුන්ගේ නගරය ඛේම නම් විය. පියා ජනසන්‍ධ නම් වූයේය. මව පදුමා නම් වූවාය. බ්‍රහ්මදේව, උදය යනුවෙන් අග්‍ර ශ්‍රාවකයෝ දෙනමක් වූහ. උපස්ථායක සුමන නම් විය. ඵුස්සා-සුදත්තා යනුවෙන් අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙකි. අසනිය ගස බෝධියයි. ශරීරය හැටරියන් පමණ උස විය. වර්ෂ ලක්ෂයක් ආයුෂ විය.
සිද්ධාර්ථ බුදුරදුන්ට පසුව අනන්ත සිල් ඇති අප්‍රමාණ යශස් ඇති අසහාය අසම සම තිස්ස ලෝකනායකයාණන් වහන්සේ පහළ වූහ.
ඵුස්සො බුද්ධො
එයට පසුකාලයේ ඵුස්ස නම් ශාස්තෲන් වහන්සේ පහළ විය. උන්වහන්සේටද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයේ සැටලක්ෂයක් භික්‍ෂුහු වූහ. දෙවැන්නේ ලක්ෂ පනහක්ද, තෙවැන්නේ ලක්ෂ තිස්දෙකක්ද වූහ. එකල අප බෝධිසත්ත්වයෝ විජිතාවි නම් ක්‍ෂත්‍රිය රජව මහා රාජ්‍යය හැර ශාස්තෲන් සමීපයේ පැවිදිවී තුන්පිටකය ඉගෙන මහජනයාට ධර්මය වදාළ සේක. සීල පාරමිතාවද පිරීය. උන්වහන්සේද මෙතෙම බුදුවන්නේ යයි විවරණ දුන් සේක. උන්වහන්සේගේ නගරය කසීනම් වී. ජයසේන නම් රජතුමා පියා විය. මව සිරිමා නම් වූවාය. සුරක්ඛිත, ධම්මසේන යනු අග්‍ර ශ්‍රාවකයෝ දෙනමක් වූහ. උපස්ථායකයා අභය නම් වී. සාලා, උපසාලා යනු අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. නෙල්ලි ගස බෝධියයි. ශරීරය පනස්අට රියන් උස විය. අවුරුදු අනූදහසක් ආයුෂ වින්දේය.
ඒ මණ්ඩ කල්පයෙහි, උපමා රහිත වූ, මහා කීර්තිමත් වූ, නිරුත්තර වූ ලෝකයට අග්‍රනායක වූ ඵුස්ස නම් ශාස්තෲන් වහන්සේ පහළවූ සේක.
විපස්සී බුද්ධො
ඉන් මතුකාලයේ මෙයින් කල්ප එක අනූවකට පෙර විපස්සි නම් භගවත්හු පහළ විය. උන්වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනෙක් වූහ. පළමු සන්නිපාතයේ අටසැට ලක්ෂයක භික්‍ෂූහු වූහ. දෙවැන්නේ අනූ එක් ලක්ෂයක්ද, තුන්වැන්නේ අසූ දහසක්ද වූහ. එකල බෝසත්හු මහා සෘද්ධි ඇති මහානුභාව සම්පන්න අතුල නම් නාගරාජයා වී මැණික් හතක් ඔබ්බවන ලද මාණික්‍යය පුටුවක් බුදුරජාණන් වහන්සේට පිදීය. උන්වහන්සේද, මෙතෙම මෙයින් කල්ප එක් අනූවකින් මතු බුදුවන්නේ යයි විවරණ ප්‍රකාශ කළ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ උපන් නගරය බන්‍ධුමතී නම් විය. බන්‍ධුමා නම් රජු පියා විය. මව බන්‍ධුමතී නම් වූවාය. ඛණ්ඩ, තිස්ස යනු අග්‍ර ශ්‍රාවකයෝ දෙනම වූහ. අසෝක යනු උපස්ථායකයාය. චන්ද්‍ර, චන්ද්‍රමිත්තා යනුවෙන් අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙකි. පළොල් ගස බෝධියයි. ශරීරය අසූ රියනක් උසය. ශරීර ප්‍රභාව යොදුන් සතක් දුර පැතිරී තිබුණේය. අවුරුදු අසූදහසක් ආයුෂ වින්දේය.