සුජාතො බුද්ධො
උන්වහන්සේට පසුව, සුජාත නම් ශාස්තෲන් වහන්සේ, පහළ වූහ. උන්වහන්සේටද ශ්රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ සැටදහසක් භික්ෂූහු වූහ. දෙවැන්නේ පනහකි. තුන්වැන්නේ සතළිහකි. එකල අප බෝධිසත්ත්වයෝ චක්රවර්ති රජවී බුදුන් උපන්නේ යයි අසා, එළඹ බණ අසා බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට සත්රුවන් සමග සතර මහද්වීපවල රාජ්යය පවරා දී ශාස්තෲන් සමීපයේ පැවිදි විය. සියළු රටවැසියෝ රාජ්ය පඬුරු රැගෙන ආරාමික කෘත්යය සාදන්නෝ බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට නිතර මහදන් පිරිනැමූහ. ඒ ශාස්තෲන් වහන්සේද මෙතම භික්ෂු සංඝයාට නිතර මහදන් පිරිනැමූහ. ඒ ශාස්තෲන් වහන්සේද මෙතම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ බුදුරදුන්ගේ නගරය, සුමංගල නම් විය. උග්ගත නම් රජු පියා විය. මව ප්රභාවතී නම් වූවාය. සුදර්ශන, සුදේව නම් අග්ර ශ්රාවකයෝ දෙනමකි. උපස්ථායකයා නාරද නම් විය. නාගා, නාගසමාලා අග්ර ශ්රාවිකාවෝ දෙනම වෙති. මහ උණගස බෝධිය විය. එය මද සිදුරු ඇති, ඝන කඳ ඇති, උඩට විහිදුණා වූ මහා ශාඛා ඇති, නිර්මල ඡත්රයෙන් ගැවසී ගත් මොනර පිල කළඹක් මෙන් බැබළියේය. උන්වහන්සේගේ සිරුර පනස් රියන් උසය. අනූදහසක් අවුරුදු ආයුෂ විය.
ඒ මණ්ඩ කල්පයෙහි, මනාව වැඩුණු කය ඇති, ළංවී ගැටී එළඹිය නොහැකි, සිංහයකුට බඳු හනු ඇත්තා වූ, සුජාත නම් බුදුන් වහන්සේ පහළ වූ සේක.
පියදස්සී බුද්ධො
සුජාත බුදුරදුන්ට පසු භාගයෙහි මෙයින් කල්ප සියයක් අධික කල්ප අටළොස් කපකට මත්තෙහි එක් කල්පයක, පියදස්සි, අත්ථදස්සි, ධම්මදස්සි යන තුන් බුදුවරු උපන්නාහ. පියදස්සි බුදුරදුන්ගේ ශ්රාවක සන්නිපාත තුනෙකි. පළමු සන්නිපාතයේ කෝටි සියයක් භික්ෂූහු වූහ. දෙවැන්නේ අනූ කෝටියක්ද, තෙවැන්නේ අසූවක්ද වූහ. එකල බෝසත්හු කස්සප නම් මානවකව ත්රිවේදයේ පරතෙරට පැමිණ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා කෝටි ලක්ෂ ගණනින් ධන පරිත්යාගයෙන් සංඝාරාමයක් කරවා ශරණයෙහිද ශීලයෙහිද පිහිටියේය. ඉක්බිති ඒ ශාස්තෲන් වහන්සේ කල්ප අටළොසක් ඇවෑමෙන් බුදුවන්නේ යයි විවරණ දුන් සේක. උන්වහන්සේ උපන් නගරය අනෝම නම් විය. පියා සුදින්න නම් රජය. මව සුචන්දා නම් වූවාය. පාලිත, සබ්බදස්සි යනු අග්රශ්රාවකයෝ දෙනම වෙති. උපස්ථායකයා සෝභිත නම් විය. සුජාතා ධම්මදින්නා යනුවෙන් අග්ර ශ්රාවිකාවෝ දෙදෙනෙකි. පියඟු ගස (පුවඟු) බෝධියයි. ශරීරය අසූරියනක් උස විය. ආයුකාලය වර්ෂ අනූදහසක් වූයේය.
සුජාත බුදුරදුන්ට මත්තෙහි, ස්වයම්භුඥාන ඇති, වෙත පැමිණීමට දුෂ්කර වූ අසමසම වූ මහත් කීර්තිමත් වූ, පියදස්සි නම් ලෝක නායකයන් වහන්සේ බුද්ධත්වයට පත්වූ සේක.
අත්ථදස්සී බුද්ධො
ඉන්පසු කාලයේ අත්ථදස්සි නම් භාග්යවතුන් වහන්සේ පහළවූ සේක. උන්වහන්සේටද ශ්රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ අනූඅට කෝටියක් භික්ෂූහු වූහ. දෙවැන්නේ අසූඅටදහසක්ද, තෙවැන්නේද එසේමය. එකල බෝසත්හු සුසීම නම් මහත් සෘද්ධි ඇති තාපසකයකු වී දිව්යලෝකයෙන් මදාරා මල් කූඩයක් ගෙනවුත් ශාස්තෲන් වහන්සේට පූජා කළේය. උන්වහන්සේද මෙතෙම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ බුදුරදුන් උපන් නගරය සෝභිත නම් විය. සාගර නම් රජු පියාය. සුදස්සන යනු මවයි. සන්ත, උපශාන්ත යනු අග්රශ්රාවකයෝ දෙනමයි. අභය නම් උපස්ථායකයාද විය. ධම්මා, සුධම්මා යනු අග්රශ්රාවිකාවෝ දෙනම වූහ. සපුගස බෝධියයි. ශරීරය රියන් අසූවක් උසය. ශරීර ප්රභාව යොදුන් සතක් පමණ හාත්පස පැතිරී සිටියේය. ආයුෂ වර්ෂ ලක්ෂයකි.
ඒ මණ්ඩ කල්පයෙහි මහා අඳුර දුරුකොට අත්ථදස්සි නම් වූ මහා පුරුෂයා සම්මා සම්බෝධියට පත්වූයේය.
ධම්මදස්සී බුද්ධො
ඉන්පසු කාලයේ ධම්මදස්සි නම් ශාස්තෲන් වහන්සේ පහළවිය. උන්වහන්සේටද ශ්රාවක සන්නිපාත තුනක්ම වූහ. පළමු සන්නිපාතයේ කෝටිසියයක් භික්ෂූහු වූහ. දෙවැන්නේ හැත්තෑ කෝටියක්ද, තෙවැන්නේ අසූකෝටියක්ද වශයෙනි. එකල බෝසත්හු ශක්ර දිව්යරාජයා වී, දිව්ය මල්වලින්ද, දිව්ය තූර්යනාදයෙන්ද පූජා කළේය. ඒ ශාස්තෲන් වහන්සේ මෙතම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ භාග්යවතුන් වහන්සේගේ නගරය සරණ නම් විය. පියා සරණ නම් රජුය. මව සුනන්දා නම් වූවාය. සුමන පුෂ්පදේව යනු අග්රශ්රාවකයෝ දෙනම වෙති. උපස්ථායකයා සුනෙත නම් වේ. අග්රශ්රාවිකාවෝ දෙනම ඛේමා, සච්චනාමා නම් වූහ. රත්කරඬු ගස බෝධියයි. එයට බිඹුදැල් යයිද කියනු ලැබේ. උන්වහන්සේගේ ශරීරය රියන් අසූවක් උසය. වර්ෂ ලක්ෂයක් ආයුෂ වී,
“එම මණ්ඩ කල්පයෙහි මහා යශස් ඇති කීර්තිමත් වූ, ධම්මදස්සී බුදුන් වහන්සේ ලොව පහළව, අන්ධකාරය දුරුකොට දෙවියන් සහිත ලෝකය බැබළවීය.”
සිද්ධත්ථො බුද්ධො
එයට පසුකාලයේ මෙයින් අනූසතර කල්පයක් මත්තෙහි එක් කල්පයක එකම සිද්ධත්ථ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවූහ. උන්වහන්සේටද ශ්රාවක සන්නිපාත තුනෙකි. පළමු සන්නිපාතයේ භික්ෂූන්ගේ ගණන කෝටිසියයක් විය. දෙවැන්නේ අනූකෝටියක්ද, තෙවැන්නේ අසූකෝටියක්ද වූහ. එකල අප බෝසත්හු උග්රතේජස් ඇති, අභිඥා බලසම්පන්න වූ, මංගල නම් තාපසයෙක් විය. මහජම්බු ගෙඩියක් ගෙනවුත් තථාගතයන්ට දුන්නේය. ශාස්තෲන් වහන්සේ ඒ ගෙඩිය වළඳා අනූසතර කල්පයක් මස්තකයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ භාග්යවතුන් වහන්සේගේ නගරය වේභාර නම් විය. පියා ජයසේන නම් රජුය. මව සුඵුස්සා නම් වූවාය. සම්බල, සුමිත්ත යනු අග්රශ්රාවකයෝ දෙනම වෙත්. උපස්ථායකයා රේවත නම් වේ. සීවලී සුරාමා යනු අග්ර ශ්රාවිකාවෝ දෙනමයි. කිණිහිරිය ගස බෝධියයි. ශරීරය හැටරියනක් උසය. ආයුෂ වර්ෂ ලක්ෂයකි.