පදුමුත්තරො බුද්ධො
නාරද බුදුරදුන්ට පසුකාලයේ කල්ප ලක්ෂයකින් මත්තෙහි එක් කල්පයක එක් පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ශ්රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේදී කෝටි ලක්ෂයක් භික්ෂූහු වූහ. දෙවෙන්නේදී වේභාර පර්වතයේ අනූකෝටියක්ද, තෙවෙන්නේදී අසූකෝටියක්ද වූහ. එකල අප බෝසත්හු ජටිල නම් මහසිටු වී බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට තුන්සිවුරු දානය දුන්හ. ඒ ශාස්තෲන් වහන්සේද හෙතම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ තීර්ථකයෝ නම් නොවූහ. සියලුම දෙව් මිනිස්සු බුදුන් සරණම ගියහ. ඒ භාග්යවතුන් වහන්සේගේ නගරය හංසවතී නම් විය. පියා ආනන්ද නම් ක්ෂත්රියෙකි. මව සුජාතා නම් දේවියයි. දේවල, සුජාත යනුවෙන් අග්රශ්රාවකයෝ දෙනමක්ද, සුමන නම් උපස්ථායකයාද වූහ. අග්රශ්රාවිකාවෝ දෙනම අමිතා අසමා නම් වූහ. සල්රුක බෝධියයි. ශරීරය අටඅසූරියන් උස විය. ශරීරප්රභාව දොළොස් යොදුන් හාත්පස පැතිරුණේය. වර්ෂ ලක්ෂයක් ආයුෂ වින්දේය.
නාරද බුදුරදුන්ට මතුයෙහි, සාගරයට සමාන ගැඹුරු ගුණ ඇති, නොකැළඹිය හැකි, පදුමුත්තර නම් ජිනයන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණි සේක.
සුමෙධො බුද්ධො
ඉන්පසු කාලයේ කල්ප තිස්දහසක් ඉක්මවා සුමේධය, සුජාත යයි එකම කල්පයේ බුදුවරු දෙනමක් පහළවූහ. සුමේධ බුදුරදුන්ගේ ශ්රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයේ සුදර්ශනා නගරයේ කෝටි සියයක් ක්ෂීණාශ්රවයෝ වූහ. දෙවැන්නේ අනූකෝටියක්ද, තෙවැන්නේ අසූ කෝටියක්ද වූහ. එකී බෝධිසත්වයෝ උත්තර නම් මානවකයා වී නිධන් කර තිබූ අසූ කෝටියක් ධනය වියදම්කොට බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහදන් දුන්හ. දන් දී, දහම් අසා, සරණ ශීලයේ පිහිටා නික්මගොස් පැවිදි විය. හෙතෙමේ අනාගතයේ බුදුවන බවට උන්වහන්සේ විවරණ දුන් සේක. සුමේධ බුදුරදුන්ගේ නගරය සුදර්ශන නම් විය. සුදත්ත නම් රජු පියා විය. මවද සුදත්තා නම් වූවාය. වරුණය සම්බකාමය යනු අග්ර ශ්රාවකයෝ දෙනමයි. උපස්ථායකයා සාගරනම් වී රාමා සුරාමා යනු අග්ර ශ්රාවිකාවෝ දෙනමය. මහකොහොඹ ගස බෝධිය විය. ශරීරය අසූඅටරියන් උසය. අනූදහසක් වර්ෂ ආයුෂ ඇත්තේ විය.
පදුමුත්තර බුදුන්ට ඉක්බිතිව, ලංවීමට දුෂ්කර වූ, බලවත් වූ, තේජස් ඇති, සකල ලෝකයට උතුම් වූ, සුමේධ නම් නායකයාණෝ බුද්ධත්වයට පැමිණියහ.
සුජාතො බුද්ධො
උන්වහන්සේට පසුව, සුජාත නම් ශාස්තෲන් වහන්සේ, පහළ වූහ. උන්වහන්සේටද ශ්රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ සැටදහසක් භික්ෂූහු වූහ. දෙවැන්නේ පනහකි. තුන්වැන්නේ සතළිහකි. එකල අප බෝධිසත්ත්වයෝ චක්රවර්ති රජවී බුදුන් උපන්නේ යයි අසා, එළඹ බණ අසා බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට සත්රුවන් සමග සතර මහද්වීපවල රාජ්යය පවරා දී ශාස්තෲන් සමීපයේ පැවිදි විය. සියළු රටවැසියෝ රාජ්ය පඬුරු රැගෙන ආරාමික කෘත්යය සාදන්නෝ බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට නිතර මහදන් පිරිනැමූහ. ඒ ශාස්තෲන් වහන්සේද මෙතම භික්ෂු සංඝයාට නිතර මහදන් පිරිනැමූහ. ඒ ශාස්තෲන් වහන්සේද මෙතම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ බුදුරදුන්ගේ නගරය, සුමංගල නම් විය. උග්ගත නම් රජු පියා විය. මව ප්රභාවතී නම් වූවාය. සුදර්ශන, සුදේව නම් අග්ර ශ්රාවකයෝ දෙනමකි. උපස්ථායකයා නාරද නම් විය. නාගා, නාගසමාලා අග්ර ශ්රාවිකාවෝ දෙනම වෙති. මහ උණගස බෝධිය විය. එය මද සිදුරු ඇති, ඝන කඳ ඇති, උඩට විහිදුණා වූ මහා ශාඛා ඇති, නිර්මල ඡත්රයෙන් ගැවසී ගත් මොනර පිල කළඹක් මෙන් බැබළියේය. උන්වහන්සේගේ සිරුර පනස් රියන් උසය. අනූදහසක් අවුරුදු ආයුෂ විය.
ඒ මණ්ඩ කල්පයෙහි, මනාව වැඩුණු කය ඇති, ළංවී ගැටී එළඹිය නොහැකි, සිංහයකුට බඳු හනු ඇත්තා වූ, සුජාත නම් බුදුන් වහන්සේ පහළ වූ සේක.
පියදස්සී බුද්ධො
සුජාත බුදුරදුන්ට පසු භාගයෙහි මෙයින් කල්ප සියයක් අධික කල්ප අටළොස් කපකට මත්තෙහි එක් කල්පයක, පියදස්සි, අත්ථදස්සි, ධම්මදස්සි යන තුන් බුදුවරු උපන්නාහ. පියදස්සි බුදුරදුන්ගේ ශ්රාවක සන්නිපාත තුනෙකි. පළමු සන්නිපාතයේ කෝටි සියයක් භික්ෂූහු වූහ. දෙවැන්නේ අනූ කෝටියක්ද, තෙවැන්නේ අසූවක්ද වූහ. එකල බෝසත්හු කස්සප නම් මානවකව ත්රිවේදයේ පරතෙරට පැමිණ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා කෝටි ලක්ෂ ගණනින් ධන පරිත්යාගයෙන් සංඝාරාමයක් කරවා ශරණයෙහිද ශීලයෙහිද පිහිටියේය. ඉක්බිති ඒ ශාස්තෲන් වහන්සේ කල්ප අටළොසක් ඇවෑමෙන් බුදුවන්නේ යයි විවරණ දුන් සේක. උන්වහන්සේ උපන් නගරය අනෝම නම් විය. පියා සුදින්න නම් රජය. මව සුචන්දා නම් වූවාය. පාලිත, සබ්බදස්සි යනු අග්රශ්රාවකයෝ දෙනම වෙති. උපස්ථායකයා සෝභිත නම් විය. සුජාතා ධම්මදින්නා යනුවෙන් අග්ර ශ්රාවිකාවෝ දෙදෙනෙකි. පියඟු ගස (පුවඟු) බෝධියයි. ශරීරය අසූරියනක් උස විය. ආයුකාලය වර්ෂ අනූදහසක් වූයේය.