අනොමදස්සී බුද්ධො
ඉන්පසු කාලයේ එක් අසංඛෙය්යක් ඉක්මවා, එක් කල්පයක බුදුවරු තෙනමක් උපන්නාහ. අනෝමදස්සි පදුම සහ නාරද යනුවෙනි. අනෝමදස්සි බුදුන්ගේ ශ්රාවක සන්නිපාත තුනෙක් විය. පළමු සන්නිපාතයේදී අටලක්ෂයක් භික්ෂූහු වූහ. දෙවැන්නේ සත් ලක්ෂයක්ද, තෙවැන්නේ හයලක්ෂ්යක්ද වූහ. එකල අප බෝසත්හු මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න, නොයෙක් කෝටිලක්ෂ ගණනාවක් යක්ෂයන්ට අධිපති යක්ෂ සේනාපතියෙක් විය. හෙතම බුදුන් උපන්නේ යයි අසා අවුත්, බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහදන් පැවැත්වීය. උන්වහන්සේද මෙතම ලෝකයේ බුදුවන්නේ යයි, විවරණ දුන් සේක. අනෝමදස්සි භාග්යවතුන් වහන්සේගේ නගරය චන්ද්රවතී නම් විය. ‘යසවා’ නම් රජු පියා වූයේය. යසෝධරා මව වූවාය. නිසභ, අනෝම යනුවෙන් අග්ර ශ්රාවකයෝ දෙනමක්ද, වරුණ නම් උපස්ථායකයාද, සුන්දරී, සුමනා නම් අග්ර ශ්රාවිකාවෝ දෙනමක්ද වූහ. කුඹුක් ගස බෝධියයි. රියන් පනහක් උස ශරීරයක්ද විය. වර්ෂ ලක්ෂයක් ආයුෂ වින්දේය.
“සෝභිත බුදුරදුන්ට පසුව අපමණ යසස් ඇති, තේජස් ඇති, ඉකුත් කිරීමට අපහසු දෙපා ඇත්තන්ට උතුම් වූ අනෝමදස්සී
පදුමො බුද්ධො
එයට පසු කාලයේ ‘පදුම’ නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේටද ශ්රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ කෝටි ලක්ෂයක් භික්ෂූහු වූහ. දෙවැන්නේ තුන් ලක්ෂයක්ද, තෙවැන්නේ ග්රාම්ය නොවූ අරණ්යයේ මහවනවාසී, භික්ෂූන් දෙලක්ෂයක්ද වූහ. එකල අප බෝසත් තෙම සිංහයකු වී ශාස්තෲන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදින ආකාරය දැක, පැහැදුණු සිත් ඇත්තේ වැඳ, ප්රදක්ෂිණා කොට ප්රීති සොම්නසට පැමිණියේ, තුන්වරක් සිංහනාද කොට සත්දිනක් බුද්ධාලම්භන ප්රීතිය අත්නොහැර ප්රීතිසුඛයෙන් ගොදුරු පිණිස පිටත්ව නොගොස්, ජීවිතය පරිත්යාගකොට බුදුරදුන් ආශ්රය කරමින් සිටියේය. ශාස්තෲන් වහන්සේ සත්දිනක් ඇවෑමෙන් නිරෝධ සමවතින් නැගිට සිංහයා දෙස බලා භික්ෂු සංඝයා කෙරෙහිද සිත පහදවා සංඝයා වඳින්නේය. භික්ෂු සංඝයා පැමිණේවා!යි සිතුවේය. භික්ෂූහු එකෙණෙහි ආවාහුය. සිංහයාද භික්ෂු සංඝයා කෙරහි ප්රසාදයට පත්විය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ මනස බලා, අනාගතයේ බුදුවන්නේ යයි ඔහුට විවරණ දුන් සේක. ‘පදුම’ බුදුරදුන්ගේ නගරය චම්පක නම් විය. පදුම නම් රජු පියා විය. (‘පදුම’ බුදුන්ගේ පියා අසම රජු නමින් බොහෝ අට්ඨ කථාවල සඳහන් වෙතත් මෙහි ඇත්තේ ‘පදුම’ රජු කියාය.) මව අසමා නම් වූවාය. සාල, උපසාල නමින් අග්ර ශ්රාවකයෝ දෙනමක්ද, වරුණ නම් උපස්ථායකයාද වූහ. රාමා, සුරමා නමින් අග්ර ශ්රාවිකාවෝ දෙනමකි. සෝමුරුතු ගස බෝධිය විය. රියන් පනස් අටක් උස ශරීරයක් විය. ආයුෂ වර්ෂ ලක්ෂයකි.
“අනෝමදස්සි බුදුරදුන්ගෙන් පසුව අසමසම වූ අප්රතිම පුද්ගල වූ දිපදුත්තම වූ පදුම නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක.”
නාරදො බුද්ධො
ඉන්පසු කාලයේ නාරද නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේටද ශ්රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේ කෝටි ලක්ෂයක් භික්ෂූහු වූහ. දෙවැන්නේ අනූකෝටි ලක්ෂයක්ද, තෙවැන්නේ අසූකෝටි ලක්ෂයක්ද වූහ. එකල අප බෝධිසත්ත්වයෝ සෘෂි ප්රවෘජ්යාවෙන් පැවිදිව පංච අභිඥා, අෂ්ට සමාපත්ති උපදවා පුරුදු කරන ලද ඉන්ද්රිය වසඟ ඇත්තේ බුදුරදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහදන් දී රත්හඳුන්වලින් පූජා කළේය. උන්වහන්සේද මෙතම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. ඒ බුදුරදුන්ගේ නගරය ධඤ්ඤවතී නම් විය. සුමේධ නම් ක්ෂත්රියා පියාය. මව අනෝමා නම් වූවාය. සුළුමුරුත ගස බෝධිවෘක්ෂය විය. ශරීරය අසූ රියනක් උස ඇත්තේ විය. වර්ෂ අනූදහසක් ආයුෂ වැළඳූ සේක.
“පදුමුත්තර බුදුරදුන්ට පසුව, ලොවට උතුම් වූ අසම සම ‘නාරද’ නම් බුදුරජහු ලොව පහළ වූහ.”
පදුමුත්තරො බුද්ධො
නාරද බුදුරදුන්ට පසුකාලයේ කල්ප ලක්ෂයකින් මත්තෙහි එක් කල්පයක එක් පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ශ්රාවක සන්නිපාත තුනක් වූහ. පළමු සන්නිපාතයේදී කෝටි ලක්ෂයක් භික්ෂූහු වූහ. දෙවෙන්නේදී වේභාර පර්වතයේ අනූකෝටියක්ද, තෙවෙන්නේදී අසූකෝටියක්ද වූහ. එකල අප බෝසත්හු ජටිල නම් මහසිටු වී බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට තුන්සිවුරු දානය දුන්හ. ඒ ශාස්තෲන් වහන්සේද හෙතම අනාගතයේ බුදුවන්නේ යයි විවරණ දුන් සේක. පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ තීර්ථකයෝ නම් නොවූහ. සියලුම දෙව් මිනිස්සු බුදුන් සරණම ගියහ. ඒ භාග්යවතුන් වහන්සේගේ නගරය හංසවතී නම් විය. පියා ආනන්ද නම් ක්ෂත්රියෙකි. මව සුජාතා නම් දේවියයි. දේවල, සුජාත යනුවෙන් අග්රශ්රාවකයෝ දෙනමක්ද, සුමන නම් උපස්ථායකයාද වූහ. අග්රශ්රාවිකාවෝ දෙනම අමිතා අසමා නම් වූහ. සල්රුක බෝධියයි. ශරීරය අටඅසූරියන් උස විය. ශරීරප්රභාව දොළොස් යොදුන් හාත්පස පැතිරුණේය. වර්ෂ ලක්ෂයක් ආයුෂ වින්දේය.
නාරද බුදුරදුන්ට මතුයෙහි, සාගරයට සමාන ගැඹුරු ගුණ ඇති, නොකැළඹිය හැකි, පදුමුත්තර නම් ජිනයන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණි සේක.
සුමෙධො බුද්ධො
ඉන්පසු කාලයේ කල්ප තිස්දහසක් ඉක්මවා සුමේධය, සුජාත යයි එකම කල්පයේ බුදුවරු දෙනමක් පහළවූහ. සුමේධ බුදුරදුන්ගේ ශ්රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයේ සුදර්ශනා නගරයේ කෝටි සියයක් ක්ෂීණාශ්රවයෝ වූහ. දෙවැන්නේ අනූකෝටියක්ද, තෙවැන්නේ අසූ කෝටියක්ද වූහ. එකී බෝධිසත්වයෝ උත්තර නම් මානවකයා වී නිධන් කර තිබූ අසූ කෝටියක් ධනය වියදම්කොට බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහදන් දුන්හ. දන් දී, දහම් අසා, සරණ ශීලයේ පිහිටා නික්මගොස් පැවිදි විය. හෙතෙමේ අනාගතයේ බුදුවන බවට උන්වහන්සේ විවරණ දුන් සේක. සුමේධ බුදුරදුන්ගේ නගරය සුදර්ශන නම් විය. සුදත්ත නම් රජු පියා විය. මවද සුදත්තා නම් වූවාය. වරුණය සම්බකාමය යනු අග්ර ශ්රාවකයෝ දෙනමයි. උපස්ථායකයා සාගරනම් වී රාමා සුරාමා යනු අග්ර ශ්රාවිකාවෝ දෙනමය. මහකොහොඹ ගස බෝධිය විය. ශරීරය අසූඅටරියන් උසය. අනූදහසක් වර්ෂ ආයුෂ ඇත්තේ විය.