13. තෙවිජ්ජ සූත්ර වර්ණනාව
එවං මෙසුතං යනු තෙවිජ්ජ සූත්රයයි. මේ එහි ගැඹුරුපද වර්ණනාවයි. මනසාකටං ඒ ගමෙහි නම. උත්තරෙන මනසා කටස්ස මනසාකට ගමට නුදුරෙහි උතුරු පස. අම්බවනෙ තරුණ අඹරුක් ලැහැබෙහි. ඒ භූමිභාගය රමණීයය. යට රිදීපටවන් වැලි විසුරුවන ලද්දේය. මත්තෙහි මැණික් වියනක් බඳු ඝනට වැඩුණු ශාඛා පත්ර ඇති අඹවනයයි. ඒ බුදුවරුන්ට සුදුසු විවේක සුව ඇති අඹවනයෙහි වාසය කරන සේක යන අර්ථයි.
අහිඤ්ඤාතා අභිඤ්ඤාතා කුලචාරිත්ර ආදී සම්පත්තියෙන් ඒ ඒ තැන ප්රසිද්ධ වූ. චංකී ආදිය ඔවුන්ගේ නම්ය. එහි චංකී ඔපසාද වැසියෙකි. තාරුක්ඛ ඉච්ඡානංගල වැසියෙකි. පොක්ඛරසාතී උක්කුට්ඨා වැසියෙකි. ජාණුස්සොණි සැවැත්නුවර වැසියෙකි. තොදෙය්ය තුදී ගමෙහි වැසියෙකි. අඤ්ඤෙච අන් බොහෝ ජනයෝ තම තමාගේ නිවාසස්ථානවලින් පැමිණ මන්ත්ර සජ්ඣායනය පිණිස එහි වාසය කරත්. මනසාකටයෙහි රමණීය බව නිසා ඒ බමුණෝ එහි නදීතෙර ගෙවල් කරවා වටකරවා අන් බොහෝ දෙනාගේ ප්රවේශය වළක්වා අතරින් පතර එහි පැමිණ වසත්.
වාසෙට්ඨ භාරද්වාජානං වාසෙට්ඨගේ සහ පොක්ඛරසාතිගේ අතවැසියාගේ, භාරද්වාජගේද තාරුක්ඛගේ ද අතවැසියාගේ ද මේ දෙදෙන ජාති සම්පන්න ත්රිවේදයෙහි පරතෙරට ගියාහු වූහ. ජංඝා විහාරං බොහෝ කලක් හිඳගෙන සිටීමේ හේතුවෙන් වෙහෙස නැතිකිරීම පිණිස පයින් ඇවිදීම. ඔව්හු දිවාකල්හි සජ්ඣායනා කොට සවස නැගිට නෑම සඳහා අවශ්ය බඩු ගඳමල් සේදූ ඇඳුම් ගෙන්වාගෙන තමාගේ පිරිවරින් පිරිවරන ලදුව නහනු කැමැත්තාහු නදීතෙරට ගොස් රිදීපටක වර්ණය ඇති වැලිමැද ඔබමොබ සක්මන් කළහ. එකකු සක්මන් කරනවිට අනිකා ඔහු අනුව සක්මන් කළේය. නැවත අනිකා අනුව සක්මන් කළේය. එහෙයින් කියන ලදි. අනුචංක මන්තානං අනුවිචරන්තානං’ යනුවෙන් මග්ගා මග්ගෙ මාර්ගයෙහිද අමාර්ගයෙහිද, කුමක් හෝ ප්රතිපත්තියක් පුරා කුමන මගකින් සුවසේ බඹලොවට යාමට හැකිදැයි මෙසේ මගනොමග අරබයා කථාවක් නැංවූහ යන අර්ථයි.
අඤ්ජසායනො සෘජු මාර්ගයට සමාන වචනයකි. කෙළින් මාර්ගයද සෘජු මාර්ගයකි. මෙයින් අයත්ති - යත්නුයි අඤ්ජසායනො. නීය්යාණිකො නිය්යාති යන්නේ යයි යන අර්ථයි. කොහි යයිද?
තක්කර බ්රහ්මයාගේ සහභාවයට යමෙක් ඒ මාර්ගය කරයිද පිළිපදීද ඔහුගේ බ්රහ්මයා සමග එක්වීමෙන් එක්තැනක පහළවීම පිණිස යයි යන අර්ථයි. ය්වායං නම් වේ. අක්ඛාතො කියන ලද්දේ දක්වන ලද්දේ බ්රාහ්මණෙන පොක්ඛරසාතිනා තමාගේ ආචාර්යවරයා පෙන්වයි. මෙසේ වාසෙට්ඨ තමාගේම ආචාර්ය වාදයට ස්තුතිකොට තදින් ගෙන හැසිරේ. භාරද්වාජද තමාගේ ආචාර්යවාදය ගෙන හැසිරේ. එහෙයින් කියන ලදි. ‘නෙව ඛො අසක්ඛි වාසෙට්ඨො’ ආදිය.
ඉක්බිති වාසෙට්ඨ අප දෙදෙනාගේම කථාව අනෛර්යාණිකය. මේ ලෝකයෙහි භවත් ගෞතමයන් හා සමාන මාර්ග කුශලතා ඇත්තෙක් නැත. භවත් ගෞතමයෝ ද නුදුරෙහි වසති. උන්වහන්සේ තුලාවක් ගෙන හුන් වෙළෙන්දකු මෙන් සැක සිඳින්නෝ යයි සිතා ඒ බව භාරද්වාජට දන්වා දෙදෙනාම ගොස් තමාගේ කථාව භාග්යවතුන් වහන්සේට දැන්වූහ. එහෙයින් කියන ලදි. ඉක්බිති වාසෙට්ඨ -පෙ- තාරුක්ඛ බ්රාහ්මණයා විසින් යමක් කියන ලද්දේ ද යනුවෙන්.
එත්ථ භො ගොතමො මේ මගනොමගෙහි. විග්ගහො ආදී තන්හි කලින් හටගන්නා බැවින් විග්රහ වෙයි. පසුව විවාදයයි. විවිධ වූ එය නොයෙක් ඇදුරන්ගේ වාදයෙන් නානාවාද වෙයි.
අථ කිස්මිං පන වො ඔබද මෙයම මාර්ගය යැයි තමාගේ ආචාර්යවාදයම තදින් අල්ලාගෙන සිටින්නෙහිය. භාරද්වාජද තමාගේ ආචාර්යවාදය තදින් අල්ලාගෙන සිටී. එකකුට එකකු කෙරෙහි සැකයක් නැත. මෙසේ ඇතිකල අපගේ කුමන විග්රහයක් දැයි අසයි.
මග්ගාමග්ගෙ භො ගොතමො භවත් ගෞතමයෙනි, මගෙහිද නොමගෙහිද, සෘජු මාර්ගයෙහිද වක්ර මාර්ගයෙහි ද යන අර්ථයි. මොහු එක් බමුණෙකුගේවත් මාර්ගය අමාර්ගයයි නොකියයි. යම්සේ තමාගේ ආචාර්යවරයාගේ මාර්ගය සෘජු මාර්ගය වේද, එය අන්යයන්ට නො අනු දනී. ඒ නිසා ඒ අරුත දක්වන්නේ ‘කිඤ්චාපි හො ගොතම’ යනාදිය කීය.
සබ්බානි තානි ලිංග විපර්යාසයෙන් කියයි. ඒ සියල්ල යයි කියන ලද්දේ වෙයි. බහූනි අටක් හෝ දහයක් හෝ නානා මග්ගා මහත් නොමහත් පා මග, ගැල්මහ ආදි වශයෙන් නානා විධ හාත්පස ගම් ගංගා පොකුණු කෙත් ආදී අතරින් පැමිණ ගමට පිවිසෙන මාර්ග.
නීයන්ති ති වාසෙට්ඨ වදෙසි භාග්යවතුන් වහන්සේ තෙවරක් කථා කරවා ප්රතිඥාවක් කරවූ සේක. කුමක් නිසාද යත්, තීර්ථකයෝ පිළිගෙන පසුව නිග්රහ කරමින් අවමන් කරති. එසේ කිරීමට නොහැකි වන්නාහුය.
තෙචතෙවිජ්ජා ඒ තෙවිජ්ජයෝ. ච කාරය ආගම සන්ධි මාත්රයකි. අන්ධවෙණී අන්ධ ප්රවේණිය. එක් ඇස් ඇති අයකු විසින් ගන්නා ලද යෂ්ටියෙහි කොන එක් අන්ධයෙක් ගනී. ඔහු තවෙකෙක් අල්ලා ගනී. ඔහු තවෙකෙක් අල්ලා ගනී. මෙසේ පනහක් හැටක් අන්ධයෝ පිළිවෙළින් ගැටුණෝ අන්ධවේණී යයි කියනු ලැබේ. පරම්පරං සංසත්තා ඔවුනොවුන් ලැගුණාහු. යෂ්ටිය ගන්නා ඇස් ඇත්තකු නැති යන අර්ථයි. එක් ධූර්තයෙක් අඳ පිරිස දැක අසුවල් ගමෙහි කෑම් බීම් සුලභයයි උත්සාහ ඇතිකොට ඔවුන් විසින් ‘ස්වාමීනි, එතැනට ගෙන ගෙන යන්න ඔබට මෙනම් දෙයක් දෙමු’යි කී කල්හි අල්ලස් ගෙන අතරමග මගින් ඉවතට ගොස් මහා පඳුරක් වටකොට පළමුවැන්නාගේ අතින් පසුව එන්නාගේ කිසිල්ල අල්ලවා මට වැඩක් ඇත. උඹලා පලයල්ලා යයි කියා පළා ගියේය. ඔවුහු දවසම ගොස් මග නොදැන ඇස් ඇත්තා කොහිද, මග කොහිදැයි හඬා වැලපී මග නොදැන එහිම හැසිරුණාහුය. ඒ සඳහා කියන ලදි. ‘පරම්පර සංසත්තා’ යනුවෙන්. පුරිමොපි ආචාර්ය ප්රාචාර්යයන් මැද එකෙක්. පච්ඡිමොපි දැන් තෙවිජ්ජයන් අතර එකෙක්. හස්සකඤ්ඤෙවා සිනාසිය යුතු අන්යයෝ. නාමකඤ්ඤෙවා ලාමක අන්යයෝ. මෙය අර්ථයක් නැති බැවින් රික්තයකි. රික්තක බැවින්ම තුච්ඡ කොට සලකන ලද්දේය. දැන් බ්රහ්මයා සිටියා වේ. හේ තෙවිජ්ජයන් විසින් නොදක්නා ලද විරූය. යම් තෙවිජ්ජයෝ සඳහිරු බලත්ද ඔවුන්ගේ සහභාවයව යාමට මාර්ගය දෙසන්ට නොපොහොසත් වෙතියි දක්වන්ට තංකිං මඤ්ඤසි ආදිය කීය.