ඉධ ඛො පන මෙහි බ්රහ්මලෝක මාර්ගයෙහි. ආදිසිත්වා නොමග මගැයි එළඹ. සංසීදන්ති සමතලයක්ය යන හැඟීමෙන් මඩට බැසගත්තාක් මෙන් පිවිසෙති. සංසීදිත්වා විසාදං පාපුණන්ති මෙසේ මඩෙහි මෙන් හිඳ දුර්මුඛ බව අඟපසඟ බිඳීමට පැමිණෙති. සුක්ඛතරං මඤ්ඤෙ පතරං මිරිඟුවෙන් මුළාවී කාකපෙය්ය නදියක් යයි හැඟීමෙන් තරණය කරන්නෙමුයි අතින් පයින් වෑයම් කරමින් පැල්ම වඩා වියලි යයි හඟිමි. ඒ නිසා ඔවුහු අත්පා බිඳීමක් කෑමක් වේද එසේ අපායයන්හි බිඳීම් කෑමවලට පැමිණෙත්. මෙලොවද සැපයක් හෝ සතුටක් නොලබත්. තස්මා ඉදං තෙවිජ්ජානං බ්රාහ්මණානං ඒ නිසා මෙය තෙවිජ්ජ බ්රාහ්මණයන්ට බ්රහ්ම සහව්යතාව සඳහා මගපෙන්වන තෙවිජ්ජක ධර්මය වෙයි. තෙවිජ්ජා ඊරිතං තෙවිජ්ජ අරණ්යයකි. ඉරණ යනු ගමක් නැති මහා අරණ්යයයි කියනු ලැබේ. එහි මාර්ගයෙන් ඉවත්ව හැරෙන්නට පවා නොහැක්කේය. ඒ සඳහා කීය. තෙවිජ්ජා විපිනං යයි ද කියනු ලැබේ.
තෙවිජ්ජා ව්යසනං මෙය තෙවිජ්ජයන්ගේ පංචවිධ ව්යසනයන්ට සමානය. යම්සේ ඥාති රෝග භෝග දෘෂ්ටි ශීල ව්යසනයන්ට පත්වූවහුට සැපයක් නම් නැද්ද, මෙසේ තෙවිජ්ජයන්ට තෙවිජ්ජක ධර්මයට පැමිණ සැපයක් නම් නැතැයි දක්වයි.
ජාතවද්ධෙ උපන්නේද වැඩුණේද, යමෙක් හුදෙක් එහි උපන්නේ වෙයිද අන්තැනක වැඩුණේ වෙයි. ඔහුට හාත්පස ග්රාම මාර්ග සර්වාකාරයෙන් ප්රත්යක්ෂ නොවේද, ඒ නිසා ජාතවද්ධො යයි කීය. ජාතවද්ධයකු වුවද යමෙක් බොහෝ කලක් ගමෙන් නික්ම සිටියේද ඔහුට සර්වාකාරයෙන් ප්රත්යක්ෂ නොවේ. ඒ නිසා එකෙණෙහ නික්මුණේයයි කීය. එකෙණෙහි නික්මුණු යන අර්ථයි. දන්ධායිතත්තං මාර්ගය මෙයද, මාර්ගය මෙයදැයි සැක වශයෙන් කල්යන බව. විත්ථායිතත්තං යම්සේ සියුම් දෙයක් වහා අසනු ලැබූවහුගේ ශරීරය තදබවක් ගනීද එසේ තදබව, අලස බව ගැනීමයි. නත්ථෙ ව මෙයින් සර්වඥතා ඥානයෙහි අදූෂිත බව දැක්වේ. ඒ පුරුෂයාගේ මාරාවේශ වශයෙන් ඥානයෙහි විනාශයක් වේද, ඒ නිසා ඔහු අලස හෝ වන්නේය. පැකිළෙන්නේ හෝ වෙයි. සර්වඥතාඥානය අදූෂිත බැවින් එයට කවරකු විසින් හෝ අන්තරායක් කිරීමට නොහැකි යයි දක්වයි.
උල්ලුම්පතු භවං ගොතමො භවත් ගෞතමයන් වහන්සේ ඔසවා තබන සේක්වා. බ්රාහ්මණිංපජං බමුණු දරුවා. භවත් ගෞතමයන් වහන්සේ බ්රාහ්මණ පුත්රයකු වූ මා අපාය මාර්ගයෙන් උඩට ඔසවා බ්රහ්මලෝක මාර්ගයෙහි පිහිටුවන සේක්වා යන අර්ථයි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ බුද්ධෝත්පාදය දක්වා පූර්වභාග ප්රතිපදාව සමග මෛත්රී විහාර ආදී බ්රහ්මලේකයට යන මාර්ගය දේශනා කරනු කැමති සේක් ‘තෙනහි වාසෙට්ඨ’ ආදිය කී සේක. එහි ඉධ තථාගතො’ ආදිය සාමඤ්ඤ ඵලයෙහි විස්තර කරන ලදි. ‘මෙත්තා සහගතෙන’ ආදී තන්හි යමක් කිවයුතුද ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි බ්රහ්මවිහාර කම්මට්ඨාන කථාවෙහි කියන ලදි.
සෙය්යථාපි වාසෙට්ඨ බලවා සංඛධමො ආදිය මෙහි පෙර නො ආයේය. එහි බලවා යනු බලසම්පන්න, සංඛධමො සක් පිඹින්නෙක්. අප්පකසිරෙන කරදර නැතිව, දුකක් නැතිව, දුර්වල සක් පිඹින්නා සක පිඹින්නේ වුවද සිව්දෙස ශබ්දයෙන් දන්වන්ට නොහැක්කේ වෙයි. ඔහුගේ සක්හඬ සැමතැන නොපැතිරේ. බලවන්තයාගේ හඬ පැතිරී යන්නක් වේ. ඒ නිසා බලවා යයි කීය. මෙත්තාය චෙතො විමුත්තියා මෙහි මෙත්තා යයි කීවිට උපචාරයද, අර්පණාවද වටී. චෙතො විමුත්ති යයි කීවිට අර්පණාව පමණක් වටී. යං පමාණ කතං කම්මං පමාණ කතං කම්මං යනු කාමාවචරයයි කියනු ලැබේ. අප්පමාණ කතං කම්මං යනු රූපාවචර අරූපාවචරයයි. එය ප්රමාණය ඉක්මවා නියත අනියත දිශාවන්හි පැතිරීම් වශයෙන් වර්ධනය කොට කරන ලද බැවින් අප්පමාණ කතං යයි කියනු ලැබේ. න තං තත්ර වසිස්සති න තං තත්රාවතිට්ඨති ඒ කාමාවචර කර්මය එහි රූපාවචර අරූප්ය කර්මයෙන් සෝදා හරී. නොසිටී. කුමක් කියන ලද්දේ ද? ඒ කාමාවචර කර්මයට ඒ රූපාවචර අරූපාවචර කර්මය අතර ලගින්ට හෝ සිටින්ට හෝ රූපාවචර අරූපාවචර කර්මය පතුරුවා අභිභවා සිටින්ට තමාගේ අවකාශයක් ගෙන පිහිටා සිටීමට නොහැකිය. නැවතද, රූපාවචර අරූපාවචර කර්මයම කාමාවචරය මහා දියකඳක් මෙන් මඳ දියක් පතුරුවා අභිභවා තමාගේ අවකාශයක් ගෙන සිටී. එහි විපාකය ඉවත්කොට තමාම බ්රහ්ම සහව්යතාවට ගෙනයයි. එවං විහාරී මෙසේ මෛත්රී ආදි විහාර ඇත්තේ.