ධර්ම විනය වශයෙන් ද්විවිධ වන්නේ කෙසේද? මේ සියල්ලම ධර්මයද විනයද යනුවෙන් ගැනේ. එහි විනය පිටකය විනයයි. ඉතිරි බුද්ධ වචනය ධර්මයයි. එහෙයින්ම කියන ලදි. ‘අපි ධර්මයද විනයද සංගායනා කරන්නෙමු නම් මැනවි’යි මම උපාලි තෙරුන්ගෙන් විනය විමසමි. අනඳ තෙරුන්ගෙන් ධර්මය විමසමි’ මෙසේ ධර්ම විනය වශයෙන් ද්විවිධය.
ප්‍රථම මධ්‍යම පශ්චිම වශයෙන් ත්‍රිවිධ වන්නේ කෙසේද? මේ සියල්ලම ප්‍රථම බුද්ධ වචනය, මධ්‍යම බුද්ධ වචනය, පශ්චිම බුද්ධ වචනයයි ප්‍රභේද තුනක් වෙයි. එහි :
නොයෙක් ජාතිහි සසර - ගෙවඩුවා සොයමින්
නොදැක දිව ගියෙමි - නැවත නැවත දුක හටගති
ගෙවඩුවා දකිනු ලැබුවෙහි - යලි ගේ නොසදව.
කයේ සියලු අර බිඳුණේය - කැණිමඬල විසිරිණි
සිත සකරින් මිදුණේය - තණ්හාව නැසුවෙමි.
මේ ප්‍රථම බුද්ධ වචනයයි. ඇතැමෙක් ‘යදා භවෙ පාතු භවන්ති ධම්මා’ යන ඛන්ධකයෙහි උදාන ගාථාව යයි කියති. මෙය වනාහි සම්‍යක් මාර්ගය අනුගමනය කිරීම් වශයෙන් සර්වඥභාවයට පැමිණි සෝමනස්සය ඤාණයෙන් ප්‍රත්‍යයාකාරය ප්‍රත්‍යවේක්‍ෂා කරන උන්වහන්සේට උපන් උදාන ගාථායයි දතයුතුය.
පිරිනිවන්පානා කල්හි ‘හන්‍දදානි භික්ඛවෙ ආමන්තයාමි වො, අප්පමාදෙන සම්පාදෙථ’ යනුවෙන් යමක් පවසන ලද්දේ ද එය පශ්චිම බුද්ධ වචනයයි. මේ අතරෙහි යමක් කියන ලද්දේ ද එය මධ්‍යම බුද්ධ වචනය නමි. මෙසේ ප්‍රථම මධ්‍යම පශ්චිම බුද්ධවචන වශයෙන් ත්‍රිවිධ වෙයි.
පිටක වශයෙන් ත්‍රිවිධ වන්නේ කෙසේද? මේ සියල්ලම විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකයයි ප්‍රභේද තුනක්ම වෙයි. එහි ප්‍රථම සංගීතියෙහිදී සංගෘහිත වූද සංගෘහිත නොවූද සියල්ල එක්වගෙන ‘උභය ප්‍රාතිමෝක්‍ෂය, විභංග දෙක, ඛන්‍ධක විසිදෙක, පරිවාර සොළොස’ යන මේ විනය පිටකය නමි. බ්‍රහ්මජාල ආදී තිස්හතරක් වූ සූත්‍රාන්ත සංග්‍රහය දීඝනිකාය නමි. මූලපරියාය සූත්‍රය ආදී වූ පනස්දෙකක් වූ සූත්‍ර සංගහය මජ්ඣිම නිකාය නමි. ඔඝතරණ සූත්‍රය ආදී වූ සත්දහස් සත්සිය හැටක් වූ සූත්‍ර සංග්‍රහය සංයුත්ත නිකාය නමි. චිත්ත පරියාදාන සූත්‍රය ආදී වූ නවදහස් පන්සිය පනස්හතක් වූ සූත්‍ර සංග්‍රහය අංගුත්තර නිකාය නමි. ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්‍ථු, පේතවත්‍ථු, ථෙර ථෙරී ගාථා, ජාතක නිද්දේස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංස, චරියාපිටක වශයෙන් පසළොසක් ප්‍රභේද ඇත්තේ ඛුද්දක නිකාය යන මෙය සුත්තන්ත පිටක නමි. ධම්මසංගහ, විභංග, ධාතු කථා, පුග්ගල පඤ්ඤත්ති, කථාවත්‍ථු, යමක, පට්ඨාන යන මෙය අභිධම්ම පිටක නමි. එහි :
නොයෙක් වෙසෙසි නය ඇති බැවින් - කය වදන් හික්මන හෙයින්ද
විනය අරුත් දතුවන් විසින් මේ - විනය විනයැයි කියන ලදි.
විවිධා වනාහි මෙහි පස්වැදෑරුම් පාතිමොක්ඛ, උද්දේස, පාරාජිකා ආදී ආපත්තික්ඛන්‍ධසත, මාතිකා, විභංග ආදී ප්‍රභේද ක්‍රමයයි. විශේෂ වූද, දළ්හිකම්ම ලිහිල් කිරීමේ යෙදීම අනුප්‍රඥප්ති ක්‍රමයයි. කායික වාචසික අජ්ඣාචාර නිෂේධනයෙන් ද මෙය කය ද වචනයද හික්මවයි. ඒ නිසා විවිධ නය ඇති බැවින් විශේෂනය ඇති බැවින් කය වචනය හික්මවන බැවින් විනය යැයි කියන ලදි. ඒ නිසා ඒ මේ වචන කුසලතාව පිණිස කියන ලදි.
නොයෙක් වෙසෙසි නය ඇති බැවින් - කයවදන් හික්මවන බැවින්ද
විනය අරුත් දතුවන් විසින් මේ - විනය විනයැයි කියන ලද.
අන්‍යයෝ වනාහි :
අරුත් දක්වන බැවින් මැනවින් කියන ලද බැවින්
අසන බැවින් පැසවන බැවින්,
සූත්‍රයන්ට නූලක් වැනි බැවින් සූත්‍ර සූත්‍ර යැයි කියන ලද.
එය වනාහි ආත්මාර්ථ පරාර්ථ ආදි ප්‍රභේද ඇති අර්ථයන් කියවනු ලැබේ. මනා සේ කියන ලදි යන අර්ථයෝ හික්මවීමේ අදහසට අනුලෝමව කියන ලද බැවින් මෙය අර්ථයන්, ශස්‍ය ඵල දෙන්නාක් මෙන් ගලාබසීනුයි, එකතු කෙරේනුයි පිසතියිද කියන ලද්දේ වෙයි. දෙනක මෙන් කිරි වගුරුවතියි කියන ලද්දේ වෙයි. මනාසේ ආරක්ෂා කරයි. රැකගනියි. කියන ලද්දේ වෙයි. සූත්‍රයක් මෙන් යම්සේ වඩුවන්ට නූල ප්‍රමාණ වේද, බුද්ධිමතුන්ට මෙය වේද, යම්සේ සූත්‍රායන් ගොතන ලද මල් නොවිසිරේද විනාශ නොවන්නේය. එසේ අර්ථයෝ සංගෘහිතය. ඒ නිසාම මෙහි වචනාර්ථ කුසලතාව පිණිස කියන ලදි.
අරුත් දක්වන බැවින් - මැනවින් කියන ලද බැවින්
අසන බැවින් පැසවන බැවින් සූත්‍රයන්ට නූලක් වැනි බැවින්
සූත්‍ර සූත්‍ර යයි කියන ලදි.
අන්‍යයෝ වනාහි :
මෙහි යමක් වැඩේද, සලකුණු ඇත්ද පුදන ලද ද පිරිසිඳින ලද ද
ඒ අධිකව කියූ දහම් - අබිදම් යයි කියන ලදි.
මෙහි ‘අභි’ ශබ්දය වෘද්ධි ස්වලක්‍ෂණ පූජිත පරිච්ඡින්න අර්ථ දක්නට ලැබේද මෙයද එසේය. ‘බාළ්හා මෙ ආවුසො දුක්ඛා වෙදනා අභික්කමන්ති’ ආදි තන්හි වෘද්ධියෙහි ආයේය. ‘යාතා රත්තියො අභිඤ්ඤතා අභිලක්ඛිතා’ ආදි තන්හි ස්වලක්‍ෂණයෙහි ආයේය. ‘රාජාභිරාජා මනුජින්‍දො’ ආදී තන්හි පූජිතාර්ථයෙහි ආයේය. ‘පටිබලො විනෙතුං අභිධම්මෙ අභිවිනයෙ’ ආදී තන්හි පූජිතාර්ථයෙහි ආයේය. අන්‍යොන්‍යව විකාර රහිත ධර්මයෙහිද විනයෙහිදැයි කියන ලද්දේ වෙයි. ‘අභික්කන්තෙන වණ්ණෙන’ ආදී තන්හි අධිකාර්ථයෙහි ආයේය.
මෙහිද ‘රූපූපපත්තියා මග්ගං භාවෙති, මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති’ ආදී ක්‍රමයෙන් වැඩීමක් ඇති ධර්මයෝ කියන ලදහ. ‘රූපාරම්මණං වා සද්දාරම්මණං වා’ ආදී ක්‍රමයෙන් ආරම්මණ ආදීන්ගෙන් ලකුණු කළයුතු වන බැවින් ස්වලක්‍ෂණද ‘සෙඛා ධම්මා අසෙඛා ධම්මා ලොකුත්තරා ධම්මා’ ආදී ක්‍රමයෙන් පුදන ලද්දාහුද පූජාවට සුදුසු වූවෝය යන අදහසයි. ‘ඵස්සො හොති වෙදනා හොති’ ආදී ක්‍රමයෙන් ස්වභාව පරිච්ඡින්න බැවින් පරිච්ඡින්නයෝද, ‘මහග්ගතා ධම්මා අප්පමාණා ධම්මා අනුත්තරා ධම්මා’ ආදී ක්‍රමයෙන් අධික වූද ධර්මයෝ කියන ලදහ. ඒ නිසා මෙය මෙහි වචන කුසලතාව සඳහා කියන ලදි.