3. දුක තික පට්ඨාන වර්ණනාව
දුකතික පට්ඨානයෙහි හෙතුං කුසලං ධම්මං පටිච්ච හෙතු කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා මෙසේ ප්රශ්න පමණක් ඉදිරීම් වශයෙන් සංක්ෂේපයෙන් දේශනා කරන ලදි. කුසලං අලොභං පටිච්ච අදොසො අමොහො යනාදි නයින් විස්තර කළයුතු වන්නේය. එය යට දක්වන ලද නයින් හැකිවේ. නොකියන ලද්ද දැනගැනීමට එක් පදයක් ද එක් පච්චයක් හෝ නොකියන ලදි. සංක්ෂේපයෙන් යම් දේශනාවක් කරන ලද්දේද එය මෙසේ කරන ලදැයි දතයුතුය. හේතු දුක සමග කුසල පද යොදා පටිච්ච වාරයෙහි අනුලෝමයේද පච්චනීයේ ද වශයෙන් සියළු ලැබෙන පච්චයන් දක්වන ලදි. අනුලෝම පච්චනීය පච්චනීය අනුලෝම නය ද සහජාත වාරාදිය ද නො දක්වන ලදි. හුදෙක් පටිච්ච වාරෙ සදිසංයෙව විත්ථාරෙ තබ්බං යයි කියන ලදි. ප්රශ්න වාරයෙහි ප්රශ්න නො විසඳා හුදෙක් ප්රශ්න ඉදිරීම් පමණක් කොට අනුලෝම පච්චනීය වශයෙන්ම ලැබෙන පච්චය දක්වන ලදි. යථා ච කුසල පදං එවං අකුසල අබ්යාකත පදානිපි හෙතු දුකෙන සද්ධිං යොජෙතබ්බා හෙතු කුසල දුකතිකං නිද්දිසිතබ්බං යයි කියන ලදි.
ඉන්පසු හේතු සැප වේදනාවෙන් යුත් ධර්මය ආදි නයින් හේතුවේදනා දුකතිකාදි එක්විසි දුකතික දක්වන ලදි. යම් හේතුවක් නම් සනිදස්සන සප්පටිඝ අතිදස්සන සප්පටිඝ පද නොයොදන ලදි. මෙසේ හේතු දුක සමග ලැබීම් වශයෙන් දෙවිස්සෙහි යොදා නැවත ඒවා සහේතුක දුකාදියෙන් සරණ දුක අවසන් කොට ඇති සියළු දුක සමග යොදන ලදි. එහි යම් යම් පද යම් යම් පද සමග යෙදීම් නොලබයි. ඒවා පෙළෙහි නොලැබේ යයි කියන ලදි. මෙසේ මෙහි එක් දුකක් සමග දෙවිසි වන තිකයෙහි යොදා නැවත වෙනත් දෙවිස්සක් වෙනත් දෙවිස්සක්දැයි පිළිවෙලින් දුක සියයෙහි ලැබෙන දුක පද සමග දෙවිසි තිකය යොදන ලදි. දෙවිසි තිකය ගෙන දුක සියයෙහි බහා දුකතික පට්ඨානය නම් දේශනා කරන ලදි. එහි ඒ ඒ තැන්වල නය දක්වා පෙළ සංක්ෂෙප කරන ලදි. ඒ ඒ තැන්වල දක්වන ලද නයානුරූපයෙන් විස්තර දතයුතුය.
දුකතික පට්ඨානය නිමි.
4. තික දුක පට්ඨාන වර්ණනාව
තිකදුක පට්ඨානයෙහි ද කුසලං හෙතුං ධම්මං පටිච්ච කුසලො හෙතු ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා ප්රශ්න ඉදිරීම් වශයෙන් පමණක් දේශනා කරන ලදි. එහි යට යම්සේ හේතු දුක සමග කුසල පද යොදා සියළු පච්චය වශයෙන් සියළු වාරවල සංක්ෂේපයෙන් දේශනා කරන ලදි. මෙසේ මෙහි කුසලත්තිකය සමග හේතු පද යොදා සියළු පච්චය වශයෙන් සියළු වාරවල සංක්ෂේපයෙන් දේශනා කරන ලදි. හේතු පද යම්සේද මෙසේ නහේතු පද ද කුසලත්තිකය සමග යොදා කුසලත්තික හේතු දුක අවසන් කරන ලදි. ඉන්පසු සුඛාය වෙදනාය සම්පයුත්තං හෙතුං ධම්මං යනාදි නයින් වේදනා තික දුකාදිය එක්විසි තික දුක දක්වන ලදි.
මෙසේ දෙවිසි තිකයෙහි සමග හේතු දුක යොදා යළි ඒවා සමග සහේතුක දුකාදිය සරණ දුක අවසන් කොට ඇති ලැබීම් වශයෙන් සියළු දුක යොදන ලදි. මෙහි ද යම් යම් පද යෙදීමට නොයේද ඒවා පෙළෙහිම ප්රතික්ෂිප්තය. මෙසේ දුක සියය ගෙන දෙවිසි තිකයෙහි බහා තික දුක පට්ඨාන දේශනා කරන ලදි. එහිද යම් යම් නයවලින් පෙළෙහි සංක්ෂේප කරන ලදද ඒ ඒ නය විස්තර වශයෙන් දතයුතුය.
තික දුක පට්ඨාන නිමි.
5. තික තික පට්ඨාන වර්ණනාව
තික තික පට්ඨානයෙහි ද කුසලං සුඛාය වෙදනාය සම්පයුත්තං ධම්මං පටිච්ච කුසලො සුඛාය වෙදනාය සම්පයුත්තො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා යයි ප්රශ්න ඉදිරීම් වශයෙන් ම සංක්ෂේපයෙන් දේශනා කරන ලදි. මෙහි ද කුසලත්තිකය වෙදනාත්තිකාදියෙන් වෙදනාත්තිකාදිය ද කුසලත්තිකයෙන්දැයි මෙසේ තිකවලම තික බහාලන ලදි. යම් යම් පද සමග යම් යම් පද යෙදීමට නොයේද, ඒවා පිරිහෙලා ලැබෙන වශයෙන්ම සියළු පච්චයවල වාර ද ගණන නය ද දක්වන ලදි. එහෙයින් ඒවා මනාව පෙළ පරීක්ෂාකොට දතයුතුය. කුසලත්තිකය වේදනාත්තිකාදියෙන් වෙදනාත්තිකාදියද එය සමග යොදා දත යුතුය. එසේ එක එක තික සෙස්සෙන් සෙස්සද ඒවා සමග යොදා දතයුතුය.