ධම්මුද්දෙසවාරකථා
පඨමචිත්තං
දැන් අකුශල (ධර්ම) පදය බෙදා දක්වන්නට කතමෙ ධම්මා අකුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි ධර්ම ව්යවස්ථානාදීවාර ප්රභේදය ද යට ආ පදයන්ගේ අර්ථ විනිශ්චය ද යට කියන ලද නයින්ම දතයුතුයි. ඒ ඒ ගැන විශේෂය පමණක් වර්ණනා කරමු. එය සමය ව්යවස්ථානයේ පමණක් යම්හෙයකින් (කුසලයට මෙන්) අකුසලයට භූමි භේදයක් නැද්ද, එහෙයින් ඒකාන්තයෙන් (කාමාවචරය ද මෙය සමානය) කාමාවචර යැයි (නො) කියන ලදී. දිට්ඨිගත සම්පයුත්තං යන මෙහි දිට්ඨිය ම = දිට්ඨිගතය, ගුථගතං වුත්තගතං ආදීන් මෙනි. යායුත්තක් නැති බැවින් හෝ මෙය දෘෂ්ටියට යෑම පමණි යැයි ද = දිට්ඨිගත ය. එයින් යුක්ත වූයේ දිට්ඨිගත සම්පයුත්තය,
එහි අසද්ධර්මය ඇසීම පාපමිත්රතාව ආර්යයන් නොදැකීමේ කැමැත්ත ආදී නුනුවණින් මෙනෙහි කිරීම යන මේ ආදී කරුණුවලින් මේ දෘෂ්ටිගත නම් වූ මිථ්යා දර්ශනයාගේ උත්පත්තිය දතයුතුයි. මේ දෘෂ්ටිවාදවලින් යම් අසද්ධර්ම වේ නම් ඒ ධර්මයන්ට බුහුමන් කිරීම මුල් කරගත් මධ්යස්ථභාවය ඉක්මවීමෙන්, පරීක්ෂාවෙන් තොරව ඇසීමෙන් විපර්යාස වූ දෘෂ්ටි ඇති පාපමිත්රයන්ට අවනතවීම නම් පාපමිත්ර සේවනයෙන්, බුද්ධාදී ආර්යයන් මෙන්ම සත්පුරුෂයන් දැකීමට නො කැමති බැවින්, සතර සතිපට්ඨාන ආදී වූ ආර්ය ධර්මයන්හි අදක්ෂ බැවින්, ප්රාතිමෝක්ෂ සංවරය ඉන්ද්රිය සංවරය සති සංවරය ඥාන සංවරය ප්රහාණ සංවරය යන ප්රභේදවලින් යුත් ආර්ය ධර්මයෙහි මෙන්ම සත්පුරුෂ ධර්මයෙහි ද සංවරභේද නය නම් වූ අවිනයෙන් ද එම කරුණුවලින්ම දියුණු කරන ලද අයෝනිසෝ මනසිකාරයෙන් ද කෝතුහල මංගලාදීන්හි යෙදීමෙන් ද (යන මේ කරුණුවලින්) මෙය උපදී යැයි දතයුතුයි. මේ සිත පිළිබඳ අසංස්කාරභාවය යට කියන ලද නයින්ම දතයුතුයි.
සමුද්දෙස වාරයෙහි ඵස්සො යනු අසල සිත සමග උපන් ස්පර්ශයයි. වෙදනා ආදියෙහි ද මේ නයමය. මෙසේ මොවුන්ගේ පළමු ධර්මයන්ගෙන් වෙනස අකුසල යන්න පමණි.
චිත්තස්සෙකග්ගතා හොති යනු ප්රාණඝාත ආදීන්හි ද අවික්ෂිප්ත භාවයේ සිතේ එකඟ බව ඇතිවෙයි. මිනිස්සු වනාහි සිත එකඟකොට අවික්ෂිප්තව නිවැරදි ආවුධයන් ප්රාණීන්ගේ ශරීරයන්හි හෙළත්, මනාව එකඟ වූ සිත් ඇතිව අන්සතු දේ පැහැර ගනිත්. ඒකරස වූ සිතින් මිථ්යාචාරයේ හැසිරෙත්. මෙසේ අකුසල පැවැත්මේදී ද සිතේ එකඟබව ඇතිවේ.
මිච්ඡාදිට්ඨි යනු අයථා දෘෂ්ටියයි. වරදවා ගන්නා හෙයින් හෝ විෂම වූ දෘෂ්ටිය = මිච්ඡාදිට්ඨි යයි. අනර්ථය ගෙන දෙන පණ්ඩිතයන් විසින් පිළිකුල් කරන ලද දෘෂ්ටිය යනු ද මිච්ඡාදිට්ඨි ය. මිච්ඡා සංකප්ප ආදීන්හි ද මේ නයමය. තවද වරදවා බලන හෙයින් තෙමේ ද වැරදි ලෙස බලයි. මෙය මිථ්යා පමණය යනු ද මිච්ඡා දිට්ඨි ය. එය නුනුවණින් ඇතුළුවීම ලක්ෂණ කොට ඇත්තේය. පරාමර්ශනය රසයකොට ඇත්තේය. මිථ්යා ලෙස ඇතුළුවීම එළඹසිටි කාරණය කොට ඇත්තේය. ආර්යයන් නො දැකීමේ කැමති බව ආදිය ආසන්න කාරණය කොට ඇත්තේය. මෙය පරම වරද යැයි දතයුතුයි. මිච්ඡා සංකප්ප ආදීන්හි මිච්ඡා යන පදමාත්රය වෙනසයි. සෙස්ස කුසලාධිකාරයෙහි කියන ලද නයින්ම දතයුතුයි.
අහිරිකබලං අනොත්තප්පබලං යන මෙහි බලය යන්නෙහි අර්ථය නිර්දේශ වාරයෙහි මතු දැක්වෙයි. අන් තැන්වල වනාහි ලජ්ජා නොවේ යනු = අහිරිකො ය. අහිරිකයාගේ භාවය, ඔත්තප්ප නොවූයේ අනොතප්පය, ඔවුනතුරෙන් අහිරිකය කාය දුශ්චරිතාදියෙන් පිළිකුල් නොවන ලක්ෂණය හෝ ලජ්ජා නොවන ලක්ෂණයයි. අනොත්තප්පය ඒවායින් බිය නොවන ලක්ෂණයයි. තැති නො ගන්නා ලක්ෂණ හෝ යි. අහිරිකයම බලය වූයේ = අහිරික බලං ය. අනොත්තප්පයම බලය වූයේ = අනොත්තප්පබලං ය. මේ මෙහි සංක්ෂේපයයි. විස්තරය වනාහි යට කියන ලද්දට ප්රතිපක්ෂ වශයෙන් දතයුතුයි.
එයින් ලෝභ කරනු ලබත්. තෙමේ හෝ ලෝභ කෙරේ. එය ලෝභ කිරීම් මාත්රයක්ම ය යනු = ලොභො යි. එයින් මුළාවෙත් තෙමේ හෝ මුළාවෙයි. එය මුළාවීම් මාත්රයක්මය යනු = මොහො ය. ඔවුනතුරෙන් ලෝභය අරමුණ ග්රහණය කිරීම ලක්ෂණකොට ඇත්තේය. මකුළුවාගේ ආලේපය මෙනි. රත් වූ කබලෙහි දමන ලද මාංශපේශියක් මෙන් ඇලීම රසය කොට ඇත්තේය. අත්නොහැරීම එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. තෙල් හා අඤ්ජන රාගය මෙනි. සංයෝජනීය ධර්මයන්හි රසවිඳීම ආසන්න කාරණය කොට ඇත්තේය. (එය) තෘෂ්ණා නදිය ස්වභාවයෙන් වැඩෙමින් ශීඝ්ර සැඩපහර ඇති නදියක් මුහුදට යන්නා මෙන් අපායටම ගෙන යයි යැයි දතයුතුයි.
මෝහය සිතේ අන්ධභාවය ලක්ෂණකොට ඇත්තේය. නොදැනීම ලක්ෂණකොට හෝ ඇත්තේ ය. ප්රතිවේධ නොවීම රසය කොට ඇත්තේ ය. අරමුණෙහි ස්වභාවය වැසීම හෝ රසය කොට ඇත්තේ ය. මිථ්යා ප්රතිපත්තිය එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. අන්ධකාරය හෝ එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. අයෝනිසෝ මනසිකාරය ආසන්න කාරණය කොට ඇත්තේ ය. සියලුම අකුශලයන්ගේ මූලය යැයි දතයුතුයි.