ආකාසානඤ්චායතනං
දැන් අරූපාවචර කුශලය දක්වන්නට නැවතත් කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන් ගන්නා ලදී. එහි අරූපූපපත්තියා යනු අරූපභවය අරූපයි. අරූපයෙහි උත්පත්තිය = අරූපූපපත්තිය, එයට අරූපූපපත්තියා, මග්ගභාවෙති යනු උපාය හේතු කරුණු උපදවයි. වඩයි, සබ්බසො යනු සියලු ආකාරයෙන්, සියල්ලන්ගේ හෝ අනවසේසයන්ගේ යන අර්ථයි. රූපසඤ්ඤානං යනු සංඥා ශීර්ෂයෙන් කියන ලද රූපාවචර ධ්‍යානයන්ගේ මෙන්ම තදාරම්මණයන්ගේ ද, රූපාවචර ධ්‍යානයන්ට ද රූපයැයි කියනු ලැබේ. ‘රූපී රූපානි පස්සති’ යන ආදීන්හි එහි අරමුණද ‘බහිද්ධා රූපානි පස්සති සුවණ්ණ දුබ්බණ්ණානි’ යන ආදීන්හිද, එහෙයින් මෙහි රූපෙ සඤ්ඤා රූපසඤ්ඤා යැයි මෙසේ සංඥා ශීර්ෂයෙන් රූපාවචර ධ්‍යනයට මේ නමකි. රූපය යන සංඥාව මොහුටය යනු = රූපසඤ්ඤාය, රූප යනු මෙහි නාමය යැයි කියන ලද්දේ වෙයි. මෙසේ පඨවි කසිණාදී භේද ඇති තදාරම්මණයට ද මෙය නමකැයි දතයුතුයි.
සමතික්කමා යනු විරාගයෙන් ද නිරෝධයෙන් ද කුමක් කියන ලද්දේ වේ ද? මොවුන්ගේ කුශල විපාක ක්‍රියා වශයෙන් පසළොස් ධ්‍යාන සංඛ්‍යාත රූප සංඥාවන්ගේද පඨවි කසිණාදී වශයෙන් වූ අටවැදෑරුම් ආරම්මණ සංඛ්‍යාත මේ රූප සංඥාවන්ගේ ද සර්වාකරයෙන් නිරවශේෂව වෙන්වීමෙන් නිරෝධයෙන් ද විරාගයට මෙන්ම නිරෝධයටද හේතු වූ ආකාසානඤ්චායතනය පැමිණ වාසය කරයි. සර්වාකාරයෙන් රූප සංඥාව නොඉක්මවූවහු විසින් මේ ධ්‍යානයට පැමිණ වාසය කරන්නට නොහැක්කේය යනුයි.
යම්හෙයකින් අරමුණෙහි ඇලුණහුට සංඥා සමතික්‍රමයක් නොවේ ද, සමතික්‍රමය කළ සංඥාවන්හි ද අරමුණ සමතික්‍රමය වූයේම වෙයි ද, එහෙයින් ආරම්මණ සමතික්‍රමය නොකියා ‘(එහි) රූපසංඥාව කවරේද, රූප සමාපත්තියට සමවැදුනහුට හෝ සමාධිය උපන්නකුට හෝ දිට්ඨධම්ම සුඛවිහාරියකුට හෝ සංඥාවක් දැනීමක් දැනුණු බවක් වේද මේ රූපසංඥා යැයි කියනු ලැබේ. මේ රූපසංඥා ඉක්මවූයේ වේද ව්‍යතික්‍රමය කළේ වේද සමතික්‍රමය කෙළේ වේද එහෙයින් සර්වාකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමයෙන් යැයි කියනු ලැබේ’ යනුයි යැයි මෙසේ විභංගයෙහි සංඥාවන්ගේම සමතික්‍රමය කියන ලදී. යම්හෙයකින් වනාහි ආරම්මණ සමතික්‍රමෙන් පැමිණිය යුතු මේ සමාපත්තීහු ප්‍රථමධ්‍යානාදීන් මෙන් එක් අරමුණෙකම නොවේද එහෙයින් මේ අර්ථ වර්ණනාව ආරම්මණ සමතික්‍රම වශයෙන් ද කරන ලදැයි දතයුතුයි.
පටිඝ සඤ්ඤානං අත්‍ථංගමා යනු චක්‍ෂුරාදී වස්තූන්ගේ ද රූපාදී ආරම්මණයන්ගේ ද ගැටීමෙන් උපන් සංඥාවෝ ප්‍රතිඝ සංඥාවෝය. රූප සංඥාදීන්ට මේ නමකි. මෙසේ ද කීහ. ‘එහි ප්‍රතිඝ සංඥාව ස්පර්ශ සංඥාව යන මේවා ප්‍රතිඝ සංඥා යැයි කියනු ලැබේ’ යනුයි. ඒ කුශල විපාක පසේ ද අකුශල විපාක පසේදැයි සර්වාකාරයෙන් දශ ප්‍රතිඝ සංඥාවන්ගේ අස්තංගමයෙන් ප්‍රහාණයෙන් නොඉපිදවීමෙන් නොපැවැත්ම කොට යැයි කියන ලද්දේ වෙයි.
ප්‍රථම ධ්‍යනාදියට සමවැදුණවුන්ට කාම සංචේතනාවෝ නැත්තාහ. එසමයෙහි සිත පංචද්වාර වශයෙන් නො පවතී. මෙසේ ඇති කල්හි ද අන්තැනක ප්‍රහීණ වූ සුඛදුඃඛාදීන්ගේ ද චතුර්ථ ධ්‍යනයේදී මෙන් ද සක්කායදිට්ඨි ආදීන් තෘතීය ධ්‍යාන මාර්ගයේ වෙත් ද මේ ධ්‍යානයෙහි උත්සාහ ඉපදවීම පිණිස ද මේ ධ්‍යානයට ප්‍රශංසා වශයෙන් මොවුන් පිළිබඳව මෙහිදී කීම දතයුතුයි. නොහොත් රූපාවචරයම සමවැදුණහුට ඔව්හු නැද්ද, එසේත් නැතිනම් ප්‍රහීණ හෙයින් නැද්ද, රූප විරාග හෙයින් රූපාවචර භාවනාවක් නැත. මොවුන්ගේ පැවැත්ම රූපයට අයත්මය. මේ භාවනාව වනාහි රූප විරාගය පිණිස පවතී. එහෙයින් මෙහිදී මොව්හු ප්‍රහීණයවයි කියන්නට වටී. හුදෙක් කියන්නට පමණක් නොවේ. ඒකාන්තයෙන්ම මෙසේ දරන්නට ද වටී. මීට පෙර වනාහි ඔවුන් අප්‍රහීණ හෙයින්ම ප්‍රථම ධ්‍යානයට සමවැදුණහුට ශබ්දය කටුවක් මෙනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙහිද ප්‍රහීණ හෙයින්ම අරූප සමාපත්තීන්ගේ නොසැලෙන බව ද ශාන්ත විමෝක්‍ෂය ද කියන ලදී. අරූප ධ්‍යානයට සමවන් ආලාරකාලාම අසලින් ගිය පන්සියයක් පමණ ගැල් නො දුටුවේය. ශබ්දය ද නෑසීය යනුයි.