දීපංකර බුදුරජාණන් වහන්සේගේ සන්නිපාත (සේවිත) තුනක් විය. ප්‍රථම සමාගම කෝටි ලක්‍ෂයකට විය.
නැවත බුදුරජාණන් වහන්සේ නාරද කූටයෙහි විවේකගතව වැඩහුන් කල්හි පහකළ කෙලෙස්මල ඇති කෝටි සියක් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා රැස්වූහ.
කෙලෙසුන් වසඟ කළ මහාවීරයන් වහන්සේ යම් අවස්ථාවක සුදර්ශන පර්වතයේ වැඩසිටි සේක් ද, එකල්හි බුදුරජාණන් වහන්සේ කෝටි අනූදහසක් සමග පැවරූ සේක.
මම එසමයෙහි උග්‍ර තපස් ඇති, අහසෙහි හැසිරෙන පංචාභිඥාවන්හි පරතෙරට පැමිණි ජටිලයෙක් වීමි.
ඒ අවස්ථාවේ දී දෙලක්‍ෂයකට ධර්මාවබෝධය විය. එක්කෙනා දෙදෙනා බැගින් අවබෝධ කරගත් අය ගණනින් අසංඛිතයහ.
එකල දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ ජනයා අතර පැතිරුණේ, සමෘද්ධිමත් වූයේ, අතිශයින් පිරිසිදු වූයේ ද, විය.
හැමකල්හි ෂට් අභිඥාප්‍රාප්ත මහත් සෘද්ධි ඇති හාරලක්‍ෂයක් (ශ්‍රාවකයන් වහන්සේලා) දීපංකර බුදුන් පිරිවැරූහ.
එසමයෙහි ඇතැම් කෙනෙක් මිනිසත් බව අත්හරිත්. නො පැමිණි අර්හත්ඵල ඇති ඒ ශෛක්‍ෂයෝ ගර්හිතයෝ මෙන් වෙත්.
තාදී ගුණයෙන් (අටලෝ දහමින් නොසැලෙන) යුත් රහතන් වහන්සේලා විසින් ශාසනය මනාව පුබුදුවන ලදී. දෙවියන් සහිත ලෝකය හොබනේ වෙයි.
දීපංකර බුදුරජාණන් වහන්සේට රම්‍යවතී නම් නුවරක් විය. සුදේව නම් රජ (පියා විය.) මව සුමේධා නම් වූවාය.
දීපංකර බුදුරජාණන් වහන්සේට සුමංගලය. තිස්සය යන දෙනම අග්‍ර ශ්‍රාවකයෝ වූහ. උපස්ථායකයන් වහන්සේ සාගත නම් විය.
නන්දා සුනන්දා යන දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය පුලිල (රුක) යැයි කියනු ලැබේ.
අසූරියනක් උස් වූ දීපංකර මහා මුනීන්ද්‍රයන් වහන්සේ පහන් රුකක් මෙන් ද, පිපුණු සාලවෘක්‍ෂ රාජයකු මෙන් ද බබළන සේක.
මහාර්ෂී වූ ඒ බුදුන්ට ලක්‍ෂයක් ආයු වෙයි. එතෙක් කල් වැඩසිටිනා වූ උන්වහන්සේ බොහෝ ජනතාව (සසරින්) එතෙර කරවන සේක.
ශ්‍රාවකයින් සහිත වූ ඒ (භාග්‍යවතුන් වහන්සේ) සද්ධර්මය බබුළුවා මහජනයා (සසරින්) සමාන කොට ගිනිකඳක් මෙන් බැබළී පිරිනිවි සේක.
(උන්වහන්සේගේ) ඒ ඍද්ධියත්, ඒ කීර්තියත් ශ්‍රී පාදයන්හි වූ ඒ චක්‍රරත්නත් යන සියල්ල අතුරුදහන් විය. සියලු සංස්කාරයෝ ඉතිරි නො වන්නේ වේද?
දීපංකර භාග්‍යවතුන් වහන්සේට මැත භාගයේ දී එක් අසංඛ්‍යයක් ඉක්ම කොණ්ඩඤ්ඤ නම් ශාස්තෲන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමුවන සන්නිපාතයේ දී කෝටිලක්‍ෂයකි. දෙවන සන්නිපාතයේ දී කෝටි දහසකි. තුන්වන සන්නිපාතයේ දී අනූකෝටියකි.
එකල්හි බෝසතාණෝ විජිතාවි නම් සක්විති රජව බුද්ධ ප්‍රමුඛ කෝටි ලක්‍ෂයක් භික්‍ෂු සංඝයාට මහා දානයක් දුන්හ. ශාස්තෲන් වහන්සේ බෝසතුන් බුදුවන්නේ යැයි ප්‍රකාශ කොට දහම් දෙසූ සේක. ඒ බෝසතාණෝ ශාස්තෲන් වහන්සේගේ ධර්මකථාව අසා රාජ්‍යය භාරදී පැවිදි වූ සේක් ත්‍රිපිටකය ඉගෙන අෂ්ට සමාපත්ති ද පංච අභිඥාවන් ද උපදවාගෙන නො පිරිහුණු ධ්‍යාන ඇතිසේක් බඹලොව උපන්හ. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේට වනාහි රම්‍යවතී නම් නුවරක් විය. සුනන්ද නම් රජ පියා විය. මව සුජාතා නම් වූවාය. භද්‍රය, සුභද්‍රය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. අනුරුද්ධ නම් උපස්ථායකයෙක් විය. තිස්සා ය උපතිස්සා ය යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. සල්කලණ බෝධිය විය. ශරීරය අසූඅටරියන් විය. ආයු ප්‍රමාණය අවුරුදු ලක්‍ෂයක් විය.
උන්වහන්සේට මැතභාගයේ දී එක් අසංඛ්‍යයක් ඉක්ම එක් කපෙක්හිම මංගලය, සුමනය, රේවතය, සෝභිතය යන බුදුවරු සතර නමක් උපන්හ. මංගල බුදුරජාණන් වහන්සේට වනාහි ශ්‍රාවක සන්නිපාත තුනෙක් පළමුවන සන්නිපාතයේ දී භික්‍ෂූන් වහන්සේලා කෝටි ලක්‍ෂයක් වූහ. දෙවන සන්නිපාතයේ දී කෝටි දහයක් වූහ. තුන්වන සන්නිපාතයේ දී අනූකෝටියක් වූහ. උන්වහන්සේගේ එක් පියෙකු හා වෙනස් මවුවරුන් ඇති සොහොයුරු වූ ආනන්ද නම් කුමාර තෙම වනාහි අනූකෙළක් පිරිස සමග බණ ඇසීම පිණිස බුදුන් වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ ඔහුට පිළිවෙළ කථාව වදාළ සේක. හෙතෙම පිරිවර සමග සිව්පිළිසිඹියාව සමග රහත් විය. ශාස්තෲන් වහන්සේ ඒ කුලපුත්‍රයන්ගේ පෙර සිරිත බලනසේක් සෘද්ධිමය පාසිවුරුවලට හේතුසම්පත් දැක දකුණු අත දිගුකොට ‘මහණෙනි, එව්’ යැයි වදාළහ. එකෙණෙහිම සියලු දෙන සෘද්ධිමය පාසිවුරු දරන්නෝ සැටවයස් තෙරුන් මෙන් ආකල්ප සම්පන්නව බුදුන් වැඳ පිරිවරා ගත්හ. මෙය උන්වහන්සේගේ තුන්වන ශ්‍රාවක සන්නිපාතය විය.