5. බාහිර මාතෘකා වර්ණනාව
සබ්බාපි ධම්මසංගණී ධාතුකථාය මාතිකා යන මේ සසැටක් වූ තික පද මෙන්ම සියයක් වූ දුක පද ද හකුළුවා තබන ලද බැවින් බාහිර මාතෘකා නම් වේ. මෙය වනාහි පඤ්චක්‍ඛන්‍ධා -පෙ- මනසිකාරො යන මෙසේ ධාතු කථාවේ ඇතුළත නොකියා සබ්බාපි ධම්මසංගණී යන ධාතුකථාවේ මාතෘකාවලින් බාහිරව තබන ලද බැවින් බාහිර මාතෘකා යයි කියනු ලැබේ.
මෙසේ මාතෘකාවෙහි පස් අයුරකින් සිටි බව දැන දැන සංග්‍රහ අසංග්‍රහ යනාදියෙහි පළමුව සංග්‍රහය ජාති, සඤ්ජාති, ක්‍රියා, ගණන වශයෙන් සතරාකාර වේ. එහි, සියළු ක්‍ෂත්‍රියෝ පැමිණෙත්වා. සියළු බ්‍රාහ්මණයෝ සියළු වෛශ්‍යයෝ, සියළු ශුද්‍රයෝ පැමිණෙත්වා. විසාඛ! යම් සම්‍යක් වචනයක්, සම්‍යක් කර්මාන්තයක්, සම්‍යක් ආජීවයක් වේද, ඒ සියල්ල සීල ස්කන්‍ධයෙහි සංග්‍රහ වේ යන මෙය ජාති සංග්‍රහ නම් වේ. එක් ජාතියක් පැමිණේවා කියූ තැන මෙන් මෙහි සියළු ජාතීහු එක් සංග්‍රහයකට ඇතුළත් වූහ. සියළු කොසොල් රටවැස්සෝ පැමිණෙත්වා, සියළු මගධ රටවැසියෝ පැමිණෙත්වා. සියළු භෘගුකච්ඡවාසීහු පැමිණෙත්වා. විසාඛ! යම් සම්‍යක් ව්‍යායාමයක්, සිහියක්, එකඟකමක් වේද, ඒ සියල්ල සමාධි ස්කන්ධයෙහි සංග්‍රහ වේය යන මෙය සඤ්ජාති සංග්‍රහ නම් වේ. එක් ස්ථානයක ඉපදුණු වැඩුණු තැනැත්තෝ පැමිණෙත්වා කියූ තැන මෙන් මෙහි හටගත් තැනින් විසූ තැනින් එක් සංග්‍රහයකට පැමිණියේය. සියළු ඇතරුවෝ පැමිණෙත්වා. සියළු අසරුවෝ පැමිණෙත්වා. සියළු රියරුවෝ පැමිණෙත්වා. විසාඛ, යම් සම්මා දිට්ඨියක්, සම්මා සංකප්පයක් වේද, මේ ධර්ම ප්‍රඥා ස්කන්‍ධයෙහි සංග්‍රහ වේය යන මෙය ක්‍රියා සංග්‍රහ නම් වේ. සියල්ලෝම තමාගේ ක්‍රියා කිරිමෙන් එක් සංග්‍රහයකට පැමිණියහ. චක්‍ෂු ආයතනය කුමන ස්කන්ධයට අයත්ද? චක්‍ෂු ආයතනය රූපස්කන්‍ධයට අයත්ය. ඒ නිසා චක්‍ෂු ආයතනය රූපස්කන්‍ධයෙහි සංග්‍රහ වේ යයි කිවයුතු මෙය ගණන සංග්‍රහ නම් වේ. මෙය මෙහි අභිප්‍රේතය. ඊට ප්‍රතිපක්‍ෂ වශයෙන් අසංග්‍රහය දැනගත යුතුය. සංග්‍රහ කිරීමෙන් අසංග්‍රහාදිය ඒවායේ විකල්ප වශයෙන් දතයුතුය. එකට ඉපදීම, නිරුද්ධවීම, එක් වස්තුවක හා අරමුණක පැවතීම වශයෙන් සම්ප්‍රයෝගය වේ. ඊට ප්‍රතිපක්‍ෂ වශයෙන් විප්‍රයෝගය වේ. සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුත්තාදිය ඒවායේ විකල්ප වශයෙන් වේ. පංචස්කන්‍ධාදි ස්කන්ධ විභංගවල කියන ලද නයින්ම දතයුතුය. මෙහි ස්පර්ශ ආදිය වනාහි නිශ්චය වශයෙන් කියන ලද සියළු චිත්තුප්පාද සාධාරණ ලෙස කියන ලදී.
මාතෘකා වර්ණනාව නිමා විය.
නිර්‍දෙශ වර්ණනාව
1. සංග්‍රහ අසංග්‍රහ පද වර්ණනාව
ඛන්ධපදවණ්ණනා
දැන් පංචස්කන්‍ධාදී වශයෙන් තබන ලද මාතෘකාව සංගහ අසංගහ ආදියෙන් නය මාතෘකා පද සමග දැක්වීමට රූපක්‍ඛන්‍ධො කතීහි ඛන්‍ධෙහි යනාදි නයින් නිද්දේසවාරය අරඹන ලදී. එය එහි සංගහො අසංගහො යන නය මාතෘකා මුල්කොට කීය. සංගහො තීහි අසංගහො යන නය මුඛ මාතෘකා යම්සේ තබන ලදද, එහෙයින් රූපස්කන්‍ධාදියේ සංග්‍රහය දැක්වීමට කතීහි බන්‍ධෙහි කතීහායතනෙහි කතීහි ධාතූහි යන ස්කන්ධ ධාතු ආයතන පද තුන උපුටන ලදී. චත්තාරි සච්චානි යනාදියෙහි එකකුදු පරාමර්ශනය නො කරන ලදී. සභාගො විසභාගො යන ලක්‍ෂණ මාතෘකා යම්සේ තබන ලද ද එහෙයින් මේ ප්‍රශ්නය විසඳීමෙහි රූපක්‍ඛන්‍ධො එකෙන බන්‍ධෙන යනාදිය කියන ලදී. ඒවායේ සභාග වනාහි මේ ස්කන්ධාදියයි. එහි එකෙන ඛන්‍ධෙන යනු රූපස්කන්‍ධයම වේ. යම්කිසි රූපයක් රූපස්කන්ධයට සභාග බැවින් රූපස්කන්‍ධයටම සංග්‍රහ වේනුයි රූපස්කන්‍ධයෙහිම ලා ගණන් ගන්නා ලදී. එය රූපස්කන්‍ධයෙන්ම බෙදන ලදී. එකාදසහායතනෙහි යනු මනායතනය අත්හැරීමෙන් යනු වේ. සියළු රූපස්කන්‍ධය වනාහි ආයතන දහයකි. ධම්මායතනයෙහි ඒක දේශයක් වේ. එනිසා එකොලොස් ආයතනයකින් ගණින ලදී. වෙන්කරන ලදී. එකාදසහි ධාතුහි යනු විඤ්ඤාණ ධාතු හත අත්හැර එකොලහය. මේවායෙහි ඇතුළත් නොවූ රූපයක් නම් නැත.
අසංග්‍රහ නය නිර්දේශයෙහි කතීහි අසංගහිතො යනු කෙටියෙන් ප්‍රශ්න කරන ලදී. විසඳීමෙහි වනාහි මේ රූපස්කන්‍ධයට විසභාග වූයේ අරූපස්කන්‍ධ සතර, මනායතනය හා විඤ්ඤාණ ධාතු හතය. ඒ නිසා චතුහි ඛන්‍ධෙහි යනාදිය කියන ලදී. සියළු පදවල සංග්‍රහ අසංග්‍රහ මේ නයින් දතයුතුය. මේ ස්කන්‍ධ නිර්දේශයෙහි රූපක්‍ඛන්‍ධො කතීහි ඛන්‍ධෙහි යනාදියෙහි පළමුවෙන් ඒක මූලකයෙහි ප්‍රශ්න පහ සහ විසඳුම් පහ සංග්‍රහ නයෙහි ස්වරූපයෙන්ම දක්වන ලදී. අසංග්‍රහ නයෙහි ප්‍රශ්න පහ සහ විසඳුම් පහ කෙටියෙන් දක්වන ලදී. දුක මූලකාදියෙහි ද ප්‍රශ්න හා විසඳුම් මේ උපායෙන් දතයුතුය. මෙහි රූපස්කන්‍ධ මූලකයෙහි ද දුක තික චතුක්ක දක්වන ලදී. පංචකයෙහි වනාහි රූපක්‍ඛන්‍ධො ච -පෙ- විඤ්ඤාණක්‍ඛන්‍ධොච යන මෙසේ භේද වශයෙන් ද පඤ්චක්‍ඛන්‍ධා කතීහි ඛන්‍ධෙහි යන මෙසේ අභේද වශයෙන් දැයි ප්‍රශ්න හා විසඳුම් දෙයාකාරයකින් කරන ලදී. මේ පාළි නය දතයුතුය.