1. නය මාතෘකා වර්ණනාව
සංග්‍රහ අසංග්‍රහ යනාදි වශයෙන් මේ ප්‍රකරණය තුදුස් විදියකින් බෙදන ලදැයි කියන ලදී. ඒ සියල්ලම උද්දේස නිද්දේස වශයෙන් දෙයාකාරයකින් පවතී. එහි මාතෘකා උද්දේසය නය මාතෘකා, අභ්‍යන්තර මාතෘකා, නයමුඛ මාතෘකා ලක්‍ෂණ මාතිකා, බාහිර මාතිකා යයි එය පස්වැදෑරුම් වේ. එහි සංගහ අසංගහො -පෙ- විප්පයුත්තෙන සංගහිත අසංගහිතං යයි පද තුදුසකින් තබන ලද මෙය නය මාතෘකා නම් වේ. මෙය වනාහි මේ සංග්‍රහාදි නයින් ධාතුකථා ධර්ම බෙදන ලදැයි දැක්වීමට තබන ලද්දේ නය මාතෘකා යයි කියනු ලැබේ. මේ පදවලට මුල්වූ හෙයින් මුල් මාතෘකා යයි කීමට ද වටී.
2. අභ්‍යන්තර මාතෘකා වර්ණනාව
පඤ්චක්‍ඛන්‍ධා -පෙ- මනසිකාරො යන පද එකසිය විසිපහකින් තබන ලද්දේ අභ්‍යන්තර මාතෘකා නම් වේ. මේ සියල්ල ද ධම්ම සංගණී ධාතු කථාවේ මාතෘකා යයි මෙසේ නොකියා සංග්‍රහ ආදි නයින් බෙදූ ස්කන්‍ධාදි ධර්මයන් ස්වරූපයෙන් දක්වා ධාතුකථාවේ අභ්‍යන්තරයේම තබන ලද හෙයින් අභ්‍යන්තර මාතෘකා යයි කියනු ලැබේ. ස්කන්‍ධාදී පද ධම්ම සංගණ මාතෘකාවේ සංග්‍රහ නොවූ බැවින් ප්‍රකීර්ණක මාතෘකා යයි ද කීමට වටී.
3. නයමුඛ මාතෘකා වර්ණනාව
තීහි සංගහො තීහි අසංගහො චතූහි සම්පයොගො චතූහි විප්පයොගො යන මේ පද සතරින් තබන ලද බැවින් නය මුඛ මාතෘකා නම් වේ. මෙය වනාහි සියළුම පංචස්කන්‍ධාදියෙහි මෙන්ම කුසල ත්‍රිකාදියෙහි ද මාතෘකා ධර්මවල ස්කන්‍ධ ධාතු ආයතන පද තුනෙන්ම සංග්‍රහ අසංග්‍රහය ද යෙදිය යුතුය. එසේම සතර අරූපකන්ධවලින් සයෝග විප්‍රයෝගය ද යෙදිය යුතුය. මේවා මේ සංග්‍රහාදි නයවල මුඛ යයි දැක්වීමට තබන ලද බැවින් නියමුඛ මාතෘකා යට කියනු ලැබේ.
4. ලක්‍ෂණ මාතෘකා වර්ණනාව
සභාග විසභාග දෙපදයෙන් තබන ලද්දේ ලක්‍ෂණ මාතෘකා නම් වේ. මෙය වනාහි සභාග ලක්‍ෂණ ධර්මවලින් සංග්‍රහ නය වේ. විභාග ලක්‍ෂණවලින් අසංග්‍රහ නය වේ. එසේම සම්ප්‍රයෝග විප්‍රයෝග නය ද යෙදිය යුතු වේ. සභාග විසභාග ලක්‍ෂණ වශයෙන් සංග්‍රහාදි ලක්‍ෂණ දැක්වීමට තබන ලද බැවින් ලක්‍ෂණ මාතෘකා යයි කියනු ලැබේ.
5. බාහිර මාතෘකා වර්ණනාව
සබ්බාපි ධම්මසංගණී ධාතුකථාය මාතිකා යන මේ සසැටක් වූ තික පද මෙන්ම සියයක් වූ දුක පද ද හකුළුවා තබන ලද බැවින් බාහිර මාතෘකා නම් වේ. මෙය වනාහි පඤ්චක්‍ඛන්‍ධා -පෙ- මනසිකාරො යන මෙසේ ධාතු කථාවේ ඇතුළත නොකියා සබ්බාපි ධම්මසංගණී යන ධාතුකථාවේ මාතෘකාවලින් බාහිරව තබන ලද බැවින් බාහිර මාතෘකා යයි කියනු ලැබේ.
මෙසේ මාතෘකාවෙහි පස් අයුරකින් සිටි බව දැන දැන සංග්‍රහ අසංග්‍රහ යනාදියෙහි පළමුව සංග්‍රහය ජාති, සඤ්ජාති, ක්‍රියා, ගණන වශයෙන් සතරාකාර වේ. එහි, සියළු ක්‍ෂත්‍රියෝ පැමිණෙත්වා. සියළු බ්‍රාහ්මණයෝ සියළු වෛශ්‍යයෝ, සියළු ශුද්‍රයෝ පැමිණෙත්වා. විසාඛ! යම් සම්‍යක් වචනයක්, සම්‍යක් කර්මාන්තයක්, සම්‍යක් ආජීවයක් වේද, ඒ සියල්ල සීල ස්කන්‍ධයෙහි සංග්‍රහ වේ යන මෙය ජාති සංග්‍රහ නම් වේ. එක් ජාතියක් පැමිණේවා කියූ තැන මෙන් මෙහි සියළු ජාතීහු එක් සංග්‍රහයකට ඇතුළත් වූහ. සියළු කොසොල් රටවැස්සෝ පැමිණෙත්වා, සියළු මගධ රටවැසියෝ පැමිණෙත්වා. සියළු භෘගුකච්ඡවාසීහු පැමිණෙත්වා. විසාඛ! යම් සම්‍යක් ව්‍යායාමයක්, සිහියක්, එකඟකමක් වේද, ඒ සියල්ල සමාධි ස්කන්ධයෙහි සංග්‍රහ වේය යන මෙය සඤ්ජාති සංග්‍රහ නම් වේ. එක් ස්ථානයක ඉපදුණු වැඩුණු තැනැත්තෝ පැමිණෙත්වා කියූ තැන මෙන් මෙහි හටගත් තැනින් විසූ තැනින් එක් සංග්‍රහයකට පැමිණියේය. සියළු ඇතරුවෝ පැමිණෙත්වා. සියළු අසරුවෝ පැමිණෙත්වා. සියළු රියරුවෝ පැමිණෙත්වා. විසාඛ, යම් සම්මා දිට්ඨියක්, සම්මා සංකප්පයක් වේද, මේ ධර්ම ප්‍රඥා ස්කන්‍ධයෙහි සංග්‍රහ වේය යන මෙය ක්‍රියා සංග්‍රහ නම් වේ. සියල්ලෝම තමාගේ ක්‍රියා කිරිමෙන් එක් සංග්‍රහයකට පැමිණියහ. චක්‍ෂු ආයතනය කුමන ස්කන්ධයට අයත්ද? චක්‍ෂු ආයතනය රූපස්කන්‍ධයට අයත්ය. ඒ නිසා චක්‍ෂු ආයතනය රූපස්කන්‍ධයෙහි සංග්‍රහ වේ යයි කිවයුතු මෙය ගණන සංග්‍රහ නම් වේ. මෙය මෙහි අභිප්‍රේතය. ඊට ප්‍රතිපක්‍ෂ වශයෙන් අසංග්‍රහය දැනගත යුතුය. සංග්‍රහ කිරීමෙන් අසංග්‍රහාදිය ඒවායේ විකල්ප වශයෙන් දතයුතුය. එකට ඉපදීම, නිරුද්ධවීම, එක් වස්තුවක හා අරමුණක පැවතීම වශයෙන් සම්ප්‍රයෝගය වේ. ඊට ප්‍රතිපක්‍ෂ වශයෙන් විප්‍රයෝගය වේ. සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුත්තාදිය ඒවායේ විකල්ප වශයෙන් වේ. පංචස්කන්‍ධාදි ස්කන්ධ විභංගවල කියන ලද නයින්ම දතයුතුය. මෙහි ස්පර්ශ ආදිය වනාහි නිශ්චය වශයෙන් කියන ලද සියළු චිත්තුප්පාද සාධාරණ ලෙස කියන ලදී.