දැන් ඒවා විස්තර කොට දක්වන සේක් “කතමා ච භික්ඛවෙ” ආදිය කීහ. එහි සමුදයං යනු උපතයි. අත්ථගමං යනු භේදය (විනාශය) යි, අස්සාදං යනු මිහිරිබවයි. ආදීනවං යනු අමිහිරි බවයි. දොෂයයි. නිස්සරණං යනු අත්හළ බවයි. කාමෙසු යනු වස්තුකාමයන්හිය, කාමරාගො යනු කාමයන් අරබයා උපන් රාගයයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි. අනුසෙති යනු හටගැනීමයි. අයං වුච්චති භික්ඛවෙ කාමයොගො යනු මහණෙනි, මෙය කාමයන්හි යෙදවීමේ කාරණය බැඳීමේ කාරණය කියනු ලැබේයයි මෙසේ සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුයි.
ඵස්සායතනානං යනු චක්ඛු ආදීන්ගේ ඇස ගැටීම් ආදී කාරණයයි. අවිජ්ජා අඤ්ඤාණං යනු ඤාණයට ප්‍රතිපක්ෂ බවෙන් අඥාන සංඛ්‍යාත වූ අවිද්‍යාවයි. ඉතිකාමයොගො යන මෙහි ඉතිශබ්දය යොගසතර සමඟම යෙදිය යුතුය. කාමයොගය මෙසේය, භවයොගය මෙසේය යනුවෙනි. සංයුත්තො යනු පිරිවරන ලදුයේයි. පාපකෙහි යනු ලාමක වූ දෙයිනි. අකුසලෙහි යනු අදක්ෂ බවින් හටගත් දෙයිනි, සංකිලෙසෙහි යනු කිළිටි කරන දෙයිනි, පහන් සිතේ පහන්බව කෙලෙසන දෙයිනි යන අර්ථයයි. පොනොභවිකෙහි යනු පුනර්භවය නිපදවන්නා වූ දෙයිනි, සදරෙහි යනු සිත්තැවුල්වලිනි, දුක්ඛවිපාකෙහි යනු විපාක කාලයෙහි දුක් උපදවන්නා වූ දෙයිනි, ආයති ජාතිජරාමරණෙහි යනු අනාගතයෙහි යළියළිත් ජාතිජරාමරණ උපදවන්නා වූ දෙයිනි, තස්මා අයොගක්ඛෙමිති වුච්චති යනු යම්හෙයකින් ප්‍රහීන නොවූ යොග ඇති පුද්ගල තෙමේ මේ ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වෙයිද එහෙයින් සතර යෝගයන්ගෙන් ක්ෂේම වූ නිර්‍වාණය අවබෝධ නොකළ බැවින් න යොගක්ඛෙමී යයි කියනු ලැබේ.
විසංයොගො යනු වෙන්කරන්නා වූ කරුණුයි. කාමයොග විසංයොගො යනු කාමයොගයෙන් වෙන්කිරීමේ කරුණයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි. එහි අසුභ ධ්‍යානය කාමයොග විසංයොගයයි. එය පාදකකොට එළඹි අනාගාමි මාර්ගය එකාන්තයෙන්ම කාමයොගවිසංයොග නමි. අරහත් මාර්ගය භවයොග විසංයොග නමි. සෝවාන්මග දිට්ඨියොග නවිසංයොග නමි, අරහත් මග අවිජ්ජායෝග විසංයොග නමි. දැන් ඒවා විස්තර කොට දක්වමින් “කතමො ච භික්ඛවේ” යනාදිය කීහ. එහි අර්ථය කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.
භවයොගෙන වූහයං යනු භවයෝගයෙන් ද යුක්ත වූවාහු කිසි වැඩි යමක්ද වේ. දෙක දෙකින්මද එක්ව යෙදුනාහු යම්කිසි යොග දෙකකින් යුක්ත වූවාහුය යන අර්ථයයි. පුරක්ඛතා යනු පෙරටුකොට හෝ පිරිවරන ලද්දාහු හෝයි. කාමෙ පරිඤ්ඤා යනු දෙවැදෑරුම් කාමයන් මනාව දැනයි. සමූහච්ච යනු මුළුමනින් විනාශ කොටයි. විරාජයං යනු බැබලෙමින් හෝ බැබලීහෝයි. බැබලෙමියි කී කල මාර්ගය කියන ලදි. බැබලී යයි කී කල ඵලයයි. මුනි යනු ආශ්‍රවයත් ක්ෂය කළ මුනිවරයායි. මෙසේ මේ සූත්‍රයෙහි ද ගාථාවන්හි ද සසර මෙන්ම නිවන ද කියන ලදි.
භණ්ඩගාම වර්ගය පළමුවැන්නයි
2. චර වර්ගය
1. චරන්ත සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයේ පළමුවැනි සූත්‍රයේ අධිවාසෙති යනු සිතෙහි නංවා වාසය කරයි. න පජහති යනු අත් නොහරියි, න විනොදෙති යනු ඉවත් නොකරයි. න ව්‍යන්තිකරොති යනු පහවූ කෙළවර ඇති පිරිසිඳින ලද චක්‍රයක් නොකරයි. න අනභාවං ගමෙති යනු මුළුමනින් අභාවයට, නොවැඩීමට, විනාශයට නොයවයි. චරම්පි යනු හැසිරෙන්නේ ද යනුයි. අනාතාපි යනු වීර්ය නැත්තේයි. අනොත්තාපී යනු දොෂාරොපනයට බියරහිත වූයේයි. සත්තං යනු නිතරයි. සමිතං යනු නිරතුරුවයි. මෙසේ සියලු තැන අර්ථය දැන පුන්‍ය පක්ෂයෙහි කියන ලද්දට වෙනස් අයුරින් අර්ථය දතයුතුය.
ගාථාවන්හි ගෙහනිස්සිතං යනු කෙලෙස් ඇසුරු කළාවූයි. මොහනෙය්‍යස්සු යනු මුළාව දනවන අරමුණුවලයි. අභබ්බො යනු බඳුන් නොවූයේයි. පුට්ඨුං සම්බොධිමුත්තමං යනු අරහත් මාර්‍ග සංඛ්‍යාත උතුම් ඤාණය ස්පර්‍ශ කිරීමටය.
2. ශීල සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි සම්පන්නසීලා යනු පිරිපුන්සිල් ඇත්තෝයි. සම්පන්නපාතිමොක්ඛා යන පිරිපුන් පාමොක් ඇත්තාහුයි. පාතිමොක්ඛසංවරසංවුතා යනු ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් සංවර වූවාහු වසන ලද්දාහු යුක්ත වූවාහු වී වාසය කරවු. ආචාරගොචර සම්පන්නා යනු හැසිරීමෙන් ද ඇවතුම් පැවතුමෙන් ද යුක්ත වූවාහු එළඹුනාහු වෙවු. අණුමත්තෙසු වජ්ජෙසු යනු සුළු වූද දොෂයන්හියි. භයදස්සාවිනො යනු ඒ සුළු වූ වැරදි බියෙන් දක්නාසුලුවූයි. සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු යනු සියලු ශික්ෂා කොටස්වල ඒ ඒ සමාදන් වියයුතු දෙය සමාදන්ව රැගෙන හික්මෙවු. “සම්පන්න සීලානං -පෙ- සික්ඛා පදෙසා” යනුවෙන් මෙපමණ වූ දහම් විස්තර කිරීමකින් සමාදන් කරවා මෙන්ම ලබන ලද ගුණයන්හි ද පැසසීම කොට. දැන් මත්තෙහි කළ යුතු දෙය දක්වන සේක් “කිමස්ස” යනාදිය කී සේක. එහි- කිමස්ස යනු කුමක් වන්නේ ද යනුයි.