3. නන්දිය සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි කල්යාණමිත්තෙ යනු හොඳ මිතුරන්, මෙසේ මෙහි කලණමිතුරන් වශයෙන් සඞ්ඝානුස්සතිය කියන ලදි. කබළිංකාරාහාරභක්බානං යනු කාමාවචර දෙවියන්ගේයි, අසමයවිමුත්තො යනු අකාලික වූ විමුක්තියෙන් මිදුණු රහතන් වහන්සේයි,
4. සුභූති සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි කො නාමො අයං සුභූති භික්ඛු යනු දනිමින් ද ශාස්තෲන් වහන්සේ කතාව නංවනු සඳහා අසන සේක, සද්ධස්ස උපාසකස්ස පුත්තො යනු අනේපිඬු සිටු සදහා වදාළ සේක. අනේපිඬු සිටාණන්ගේ පුත්‍රයා සුළු පියා සමීපයෙහි පැවිදිවුයේය. ඉක්බිති සුභූති තෙරණුවෝ ඔහු රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. සද්ධාපදානෙසු යන සැදැහැවත් පුද්ගලයන්ගේ චරිතයන්හි, ලක්ෂණයන්හියි,
5. මෙත්තානිසංස සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි සුඛං සුපති යනු යම්සේ සෙසු අය පෙරලෙමින් කසිමින් දුකසේ නිදත්ද මෙසේ නොනිඳා සුවසේ නිඳයි. නින්දට වැටෙන්නේ ද සමවතට සමවන්නකු මෙන් වෙයි, සුඛං පටිබුජ්ඣති යනු යම්සේ අන් අය කෙඳිරිගාමින් ඈනුම් අරිමින් පෙරලෙමින් දුකසේ අවදිවෙත්ද මෙසේ අවදිනොවී පිපෙන පියුමක් මෙන් සුවසේ විකාර නැත්තේ පිබිදෙයි, න පාපකං සුපිනං පස්සති යනු සිහින දකින්නේ ද සොඳුරු සිහිනයක්ම දකියි, සෑයක් වඳින්නකු මෙන් ද පූජාවක් කරන්නකු මෙන් ද වෙයි. යම්සේ අනෙක් අය තමන් සොරුන් විසින් වට කරන ලද්දාක් මෙන් දරුණු සතුන් විසින් උවදුරු කරන ලද්දාක් මෙන් ප්රපාතයන්හි වැටෙනකු මෙන් ද දකිත්. මෙබඳු පවිටු සිහින නොදකියි.
මනුස්සානං පියො හොති යනු උරයෙහි පැළඳි මුතුහරක් මෙන් ද හිසෙහි පළඳවන ලද මල්දමක් මෙන් ද මිනිසුන්ට ප්‍රිය මනාප වෙයි, අමනුස්සානං පියො හොති යනු යම්සේ මිනිසුන්ට ද අමනුෂ්‍යයන්ට ද ප්‍රියවේද විශාඛ තෙරණුවෝ මෙනි, කථා වස්තුව විසුද්ධිමග්ගයෙහි මෛත්‍රී කර්මස්ථාන නිර්දේශයෙහි විස්තර කරන ලද්දේමය. දෙවතා රක්ඛන්ති යනු මවුපියෝ පුතකු මෙන් දෙවියෝ රකිති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති යනු මෛත්‍රියෙන් වෙසෙන්නාගේ සිරුරෙහි උත්තරා උවැසියන්ගේ මෙන් ගින්න හෝ සංයුක්ත භාණක චූලසිව තෙරුන්ගේ මෙන් විෂයක් හෝ සංකිච්ච හෙරණුන්ගේ මෙන් අවියක් හෝ ඇතුළු නොවේ, නොපිවිසෙයි, ඔහුගේ සිරුර තුවාල නොකෙරේ යයි කියන ලද්දේ වෙයි, මෙහිදී ධෙනුවගේ කථා වස්තුව කියත්, එක් දෙනක් පැටවාට කිරි දෙමින් සිටියාය. එක් වැද්දෙක් ඇය විදිමැයි අතින් කරකවා දිගුමිටක් ඇති අවියක් දමා ගැසීය, ඒ අවිය ඇයගේ සිරුරෙහි වැදී තල්කොලයක් මෙන් පෙරලී ගියේය. මෙය උපචාර බලයෙන් හෝ අප්පනා බලයෙන් නොවේ. හුදෙක් පැටවා කෙරෙහි බලවත් හිතකාමී සිත ඇති නිසාය. මෙසේ මෛත්‍රිය මහත් ආනුභාව ඇත්තේය.
තුවටං චිත්තං සමාධියති යනු මෛත්‍රියෙන් වසන්නාගේ සිත ඉක්මණින් සමාධිගත වෙයි, ඔහුට හෙමින් ක්‍රියාකරන බවක් නැත. මුඛවණ්ණො විප්පසීදති යනු නටුවෙන් ගිලිහුණු තල්ගෙඩියක් මෙන් ඔහුට පසන් මුහුණක් වෙයි, අසම්මුළ්හො කාලං කරොති යනු මෛත්‍රියෙන් වෙසෙන්නාට මුළාවූ මරණයක් නැත. නොමුළාවූයේ නින්දට පිවිසෙන්නාක් මෙන් කළුරිය කරයි. උත්තරිං අප්පටිවිජ්ඣන්තො යනු මෛත්‍රී සමාපත්තියෙන් මත්තෙහි රහත්බව ලබන්නට නොහැකිවන තැනැත්තේ මෙයින් සැව නිදා පිබිදියකු මෙන් බඹලොව උපදියි.
6. අට්ඨකනාගර සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි දසමො යනු ජාතිගොත්‍ර වශයෙන් මෙන්ම සරුබවට පත් කුල ගණනින් ද දසවැනි තැන්හි සලකන්නේය. එහෙයින් දසම යනුවෙන් නමක් විය. අට්ඨකනාගරො යනු අට්ඨක නුවර වැසිවූයි, කුක්කුටාරාමෙ යනු කුක්කුට සිටු විසින් කරවන ලද අරමෙහියි,
තෙන භගවතා -පෙ- සම්මදක්ඛාතො යනු මෙහි මේ කෙටි අරුතයි. ඒ භාග්‍යවතුන් වහන්සේ සමතිස් පෙරුම්පුරා සියලු කෙලෙසුන් බිඳ අනුත්තර වූ සම්මාසම්බෝධිය අවබෝධ කළ සේක්ද තෙන භගවතා ඒ භාග්‍යවතුන් වහන්සේ විසිනි, ඒ ඒ සත්ත්වයන්ගේ ආසය අනුසය (දන්නාවූ) ජානතා අත්ලෙහි තැබූ අරළුවක් මෙන් සියලු දතයුතු දහම් (දකින්නාවූ) පස්සතා තව ද පෙරවිසූ කඳපිළිවෙල ආදිය දන්නාවූයි, දිවැසින් දකින්නාවූයි, ත්‍රිවිද්‍යාවෙන් හෝ අභිඥා සයෙන් හෝ දන්නාවූයි, සියලු තන්හි නොවළහන ලද සමතැසින් දකින්නාවූයි, සියලු දහම් දැනීමට සමත්වූ ප්‍රඥාවෙන් දන්නාවූයි, සියලු සතුන්ගේ චක්ෂුර්විෂය ඉක්මවූ ද බිත්තිවලින් පිටතවූ ද රූපයන් ඉතා පිරිසුදු මසැසින් හෝ දකින්නාවූයි, තමාගේ යහපත ඉටු කරන සමාධිය සමීප හේතුව කොට ඇති ප්‍රතිවේධ ප්‍රඥාවෙන් දන්නාවූයි, අනුන්ගේ යහපත සාධනය කරන කරුණාව ආසන්න හේතුව කොට ඇති දේශනා ප්‍රඥාවෙන් දක්නාවූයි, අනතුරුදායක ධර්මයන් හෝ දන්නාවූයි, නිවනට මෙහෙයවන දහම් දක්නාවූයි, කෙලෙස් සතුරන් නැසූ බැවින් (අරහත්) අරහතා වූයි, මැනවින් තමා විසින් සියලු දහම් අවබෝධ කළ බැවින් (සම්මා සම්බුදුවූ) සම්මා සම්බුද්ධෙන යනුයි, මෙසේ සිවු විශාරද බව වශයෙන් සිවුකරුණකින් පසසන ලද්දහු විසින් කියන ලද එක් ධර්මයක් ඇත්ද?
අභිසඞ්ඛතං යනු කරනලද, උපදවනලදයි, අභිසඤ්චෙතයිතං යනු සිතන ලද කල්පනා කරන ලදයි, සො තත්ථ ඨිතො යනු ඒ සමථ විදර්ශනා දහමෙහි සිටියා වූ හෙතෙමේයි. ධම්මරාගෙන ධම්මනන්දියා යනු දෙපදයෙන්ම සමථ විදර්ශනාවන්හි ඡන්දරාගය කියන ලදි. සමථ විදර්ශනාවන්හි මුළුමනින් ඡන්දරාගය මැඬලන්නට හැක්කේ රහත්වෙයි, නොහැක්කේ අනාගාමී වෙයි, හෙතෙම සමථ විදර්ශනාවන්හි ඡන්දරාගය ප්‍රහීන නොකළ බැවින් චතුර්ථධ්යාන චෙතනාවෙන් සුද්ධාවාසයෙහි උපදියි, මේ ආචාර්ය්යවරුන්ගේ සමානාර්ත්ථ කථාවයි.