7-8. පඨම සඤ්ඤා ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්නෙහි දිට්ඨි ආදියයි. අත්‍ථෙන අත්‍ථො යනු අර්‍ත්‍ථය සමඟ අර්‍ත්‍ථයයි, ඛ්‍යඤ්ජනෙන ඛ්‍යඤ්ජනං යනු ව්‍යඤ්ජනය සමඟ ව්‍යඤ්ජනයයි, සංසන්‍දිස්සති යනු මනාව පවතියි, සමෙස්සති යනු සමාන වන්නේය, න විග්ගයහිස්සති යනු නොවරදින්නේය, අග්ගපදස්මිං යනු නිවනෙහියි. අටවැන්නෙහි ප්‍රත්‍යවෙක්‍ෂණාව කියන ලදි,
9. සන්ධ සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි දොණියා බද්ධො යනු යව ධාන්‍ය දෙණ (ද්‍රොණිය) සමීපයෙහි බඳනා ලද්දේයි. අන්තරං කරිත්‍වා යනු ඇතුළත් කොටයි, ඣායති යනු සිතයි, පජ්ඣායති යනු ඔබිනොබින් නොයෙක් දේ සිතයි, (නිජ්ඣායති) යනු අතරක් නැතිව නිබඳව ධ්‍යාන කරයි, පඨවිම්පි නිස්සාය ඣායති සමවතෙහි ඇලුම් කිරීම් වශයෙන් මෙය කියන ලදි. සමවතෙහි ඇලුම්කරන බැවින් මෙය ඛුද්දක නම් කරන ලදි. අපො ආදියෙහි ද මේ ක්‍රමයමයි.
කථඤ්ච සන්‍ධ ආජානීයඣායිතං හොති යනු කෙසේ කරුණු නොකරුණු දන්නා අශ්වයා පිළිබඳව සිතන ලද්දේ වෙයිද? යථා ඉණං යනාදියෙහි ණයක් මෙන් බැඳීමක් මෙන් හානියක් මෙන් කලිනම්වූ මහා අපරාධයක් මෙන් කොට තමා ඉදිරියෙහි වූ කෙවිටේ ගිලීම නම්වූ වැටීම දකියි යන අරුත්ය. නෙව පඨවිං නිස්සාය ඣායති යනු සමවත් සුව ඇල්ම නැතිවීමෙනි, පඨවි අරමුණ ඇති චතුෂ්ක පඤ්චක ධ්‍යාන සංඥාවෙන් ධ්‍යාන නොකරයි, ඇල්ම නැතිබැවින්ම ශ්‍රේෂ්ඨයෙක් නම් වේයයි පැහැදිව ධ්‍යාන කරයි. නිවන් අරමුණු කොට ඇති ඵලසමවතින් ධ්‍යාන කරයි, පඨවියං පඨවි සඤ්ඤා විභුතා හොති යනු පඨවි අරමුණෙන් උපන් චතුෂ්ක පඤ්චක ධ්‍යාන සංඥාව ප්‍රකට වෙයි. “විභුතා භන්තෙ රූපසඤ්ඤා අවිභුතා අට්ඨිකසඤ්ඤා” යන මේ සූත්‍රයෙහි සමතික්‍රමය (ඉක්මවීම) ඇති බැවින් පැහැදිලි බව කියන ලදි. මෙහි විදර්‍ශනා වශයෙන් අනිත්‍ය දුක්‍ඛ අනාත්ම වශයෙන් දුටු බැවින් විභූත නම් විය. ආපොසංඥාදියෙහි ද මේ ක්‍රමයමයි, මෙසේ මෙහි යට මෙන් සමවත් වශයෙන් ඉක්මීම නොකියා විදර්‍ශනාචාර වශයෙන් සමතික්‍රමය (ඉක්මීම) කියන ලදි. එවංඣායී යනු මෙසේ විදසුන් පිළිවෙලින් අවුත් උපදවනලද ඵලසමාපත්තියෙහි ධ්‍යාන කරයි.
10. මොරනිවාප සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අච්චන්තනිට්ඨො යනු අන්තය ඉක්මවන ලද්දා වූ අත්‍යන්ත නම්වූ විනාශ නොවන ධර්‍මය වන නිවන මොහුගේ නිෂ්ඨාව යයි අච්චන්තනිට්ඨො නමි. මේ ක්‍රමයෙන් සෙසු පද දතයුතුය. ජනෙතසමිං යනු ජනතාවෙහියි, ප්‍රජාව යන අරුත්ය. යෙ ගොත්තපටිසාරිනො යනු යම් මිනිස්සු මම ගෞතමය. මම කාශ්‍යපයි ඒ ගොත්‍රයෙහි උපදිත්ද, ලෝකයෙහි ඒ ගෝත්‍රය පිළිපන්නවුන් අතුරෙහි ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨය, අනුමතා මයා යනු මගේ සියල්දත් නුවණින් සසඳා දෙසන ලදි. මවිසින් අනුදන්නා ලදි. සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේය.
පළමු නිස්සය වර්‍ගයයි.
2. අනුස්සති වර්ගය
1-2. මහානාම ආදි සූත්‍ර වර්ණනා
දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි නා නා විහාරෙන විහරතං යනු ගිහීන්ට නිත්‍ය එක් විසීමක් නම් නැත. එහෙයින් නොබැඳුණු (අනියමිත) විසීමෙන් වසන්නා වූ අපට කෙන විහාරෙන යනු කවර නම් වූ නියත විසීමකින් විසිය යුතුදැයි අසයි. ආරාධකො යනු සපයන්නායි, සපුරන්නායි, ධම්මසොතසමාපන්නො බුද්ධානුස්සතිං භාවෙති යනු ධර්‍ම ශ්‍රොතසට පැමිණියකු වී බුද්ධානුස්සතිය වඩයි. දෙවැන්නෙහි ගිලානා වුට්ඨිතො යනු ගිලනෙක් වී නැඟී සිටියේයි.
3. නන්දිය සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි කල්‍යාණමිත්තෙ යනු හොඳ මිතුරන්, මෙසේ මෙහි කලණමිතුරන් වශයෙන් සඞ්ඝානුස්සතිය කියන ලදි. කබළිංකාරාහාරභක්බානං යනු කාමාවචර දෙවියන්ගේයි, අසමයවිමුත්තො යනු අකාලික වූ විමුක්තියෙන් මිදුණු රහතන් වහන්සේයි,
4. සුභූති සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි කො නාමො අයං සුභූති භික්ඛු යනු දනිමින් ද ශාස්තෲන් වහන්සේ කතාව නංවනු සඳහා අසන සේක, සද්ධස්ස උපාසකස්ස පුත්තො යනු අනේපිඬු සිටු සදහා වදාළ සේක. අනේපිඬු සිටාණන්ගේ පුත්‍රයා සුළු පියා සමීපයෙහි පැවිදිවුයේය. ඉක්බිති සුභූති තෙරණුවෝ ඔහු රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. සද්ධාපදානෙසු යන සැදැහැවත් පුද්ගලයන්ගේ චරිතයන්හි, ලක්‍ෂණයන්හියි,
5. මෙත්තානිසංස සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි සුඛං සුපති යනු යම්සේ සෙසු අය පෙරලෙමින් කසිමින් දුකසේ නිදත්ද මෙසේ නොනිඳා සුවසේ නිඳයි. නින්දට වැටෙන්නේ ද සමවතට සමවන්නකු මෙන් වෙයි, සුඛං පටිබුජ්ඣති යනු යම්සේ අන් අය කෙඳිරිගාමින් ඈනුම් අරිමින් පෙරලෙමින් දුකසේ අවදිවෙත්ද මෙසේ අවදිනොවී පිපෙන පියුමක් මෙන් සුවසේ විකාර නැත්තේ පිබිදෙයි, න පාපකං සුපිනං පස්සති යනු සිහින දකින්නේ ද සොඳුරු සිහිනයක්ම දකියි, සෑයක් වඳින්නකු මෙන් ද පූජාවක් කරන්නකු මෙන් ද වෙයි. යම්සේ අනෙක් අය තමන් සොරුන් විසින් වට කරන ලද්දාක් මෙන් දරුණු සතුන් විසින් උවදුරු කරන ලද්දාක් මෙන් ප්‍රපාතයන්හි වැටෙනකු මෙන් ද දකිත්. මෙබඳු පවිටු සිහින නොදකියි.
මනුස්සානං පියො හොති යනු උරයෙහි පැළඳි මුතුහරක් මෙන් ද හිසෙහි පළඳවන ලද මල්දමක් මෙන් ද මිනිසුන්ට ප්‍රිය මනාප වෙයි, අමනුස්සානං පියො හොති යනු යම්සේ මිනිසුන්ට ද අමනුෂ්‍යයන්ට ද ප්‍රියවේද විශාඛ තෙරණුවෝ මෙනි, කථා වස්තුව විසුද්ධිමග්ගයෙහි මෛත්‍රී කර්‍මස්ථාන නිර්දේශයෙහි විස්තර කරන ලද්දේමය. දෙවතා රක්‍ඛන්ති යනු මවුපියෝ පුතකු මෙන් දෙවියෝ රකිති, නාස්ස අග්ගි වා විසං වා සත්‍ථං වා කමති යනු මෛත්‍රියෙන් වෙසෙන්නාගේ සිරුරෙහි උත්තරා උවැසියන්ගේ මෙන් ගින්න හෝ සංයුක්ත භාණක චූලසිව තෙරුන්ගේ මෙන් විෂයක් හෝ සංකිච්ච හෙරණුන්ගේ මෙන් අවියක් හෝ ඇතුළු නොවේ, නොපිවිසෙයි, ඔහුගේ සිරුර තුවාල නොකෙරේ යයි කියන ලද්දේ වෙයි, මෙහිදී ධෙනුවගේ කථා වස්තුව කියත්, එක් දෙනක් පැටවාට කිරි දෙමින් සිටියාය. එක් වැද්දෙක් ඇය විදිමැයි අතින් කරකවා දිගුමිටක් ඇති අවියක් දමා ගැසීය, ඒ අවිය ඇයගේ සිරුරෙහි වැදී තල්කොලයක් මෙන් පෙරලී ගියේය. මෙය උපචාර බලයෙන් හෝ අප්පනා බලයෙන් නොවේ. හුදෙක් පැටවා කෙරෙහි බලවත් හිතකාමී සිත ඇති නිසාය. මෙසේ මෛත්‍රිය මහත් ආනුභාව ඇත්තේය.