අධම්ම වර්ගය
එකොළොස්වෙනි වර්ගයෙහි ‘අධම්මං ධම්මො’ යනාදිය කියනලද ක්රමයෙන්ම දතයුතුයි. මෙහි සෙස්ස පැහැදිලිමය.
අනාපත්ති වර්ගය
දොළොස්වෙනි වර්ගයෙහි ‘අනාපත්තිං ආපත්ති යනාදියෙහි, ‘අනාපත්ති අජානන්තස්ස අථෙය්යචිත්තස්ස නමරණාධිප්පායස්ස අනුල්ලපනාධිප්පායස්ස න මොචනාධිප්පායස්ස’ යන තන්හි තන්හි කියනලද නිවැරැද්ද අනාපත්ති නම්වෙයි. ‘ජානන්තස්ස ථෙය්යචිත්තස්ස’ ආදි ක්රමයෙන් කියනලද වැරැද්ද ආපත්ති නමි. ආපත්තිස්කන්ධ පසක් ලහුකාපත්ති නමි. ආපත්තිස්කන්ධ දෙකක් ගරුකාපත්ති නමි. ආපත්තිස්කන්ධ දෙකක් දුට්ඨුල්ලාපත්ති නමි. ආපත්තිස්කන්ධ පසක් අදුට්ඨුල්ලාපත්ති නමි. ආපත්තිස්කන්ධ හයක් සාවසෙසාපත්ති නමි. පාරාජිකාපත්තිස්කන්ධ එක අනවසෙසාපත්ති නමි. සප්පටිකම්මාපත්ති (පිළියම් සහිත ඇවැත්) නම් සාවසෙසාපත්තිමයි. අප්පටිකම්මාපත්ති (පිළියම් නැති ඇවැත්) නම් අනවසෙසාපත්තිමය. සෙස්ස සියලුතන්හි පැහැදිලිමය.
ඒකපුග්ගල වර්ගය
එකපුද්ගලවර්ගයෙහි පළමුවෙනි සූත්රයෙහි ‘එකපුග්ගලො’ යනු එක් පුද්ගයෙකියි. මෙහි ‘එකො’ යනු දෙවැනි ආදිය ප්රතික්ෂෙප කිරීම් අර්ත්ථයෙහි සංඛ්යා පරිච්ඡේදයයි. ‘පුග්ගලො’ යනු ව්යවහාර කථාවකි. පරමාර්ත්ථ කථාවක් නොවේ. භාග්යවත් බුදුරජානන්වහන්සේගේ වනාහි සම්මුති දෙසනා පරමත්ථදෙසනායි ද්විවිධ දේශනාවක් වෙයි. එහි පුද්ගලයා, සත්වයා, ස්ත්රිය, පුරුෂයා, ක්ෂත්රියයා, බ්රාහ්මණයා, දෙවියා, මාරයා යනුවෙන් මෙබඳු වූයේ සම්මුති (ව්යවහාර) දෙසනානමි. අනිත්ය, දුක්ඛ, අනාත්ම, ස්කන්ධ, ධාතු, ආයතන, සතිපට්ඨාන යනුවෙන් මෙබඳුවූයේ පරමත්ථ (පරමාර්ත්ථ) දෙසනා නමි. එහි භාග්යවතුන්වහන්සේ යමෙක් සම්මුති වශයෙන් දේශනාවක් අසා අර්ත්ථය වටහාගෙන මෝහය අතහැර විශේෂ (මාර්ගඵලාදි) යක් ලැබීමට හැකිවෙත්ද ඔවුනට සම්මුති දෙසනාව දෙසනසේක. යමෙක් වනාහි පරමාර්ත්ථවශයෙන් දේශනාවක් අසා අර්ත්ථය වටහාගෙන මෝහය අතහැර විශේෂයක් ලැබීමට සමත්වෙත්ද ඔවුනට පරමාර්ත්ථදේශනාව දෙසනසේක.
එහි මේ උපමායි. යම්සේ වනාහි දේශභාෂාවන්හි දක්ෂවූ ත්රිවිධ වේදයන්ගේ අර්ත්ථසංවර්ණනා’ ක්රමයන් දන්නාවූ ආචාර්ය්යවරයෙක්, යමෙක් දමිළ භාෂාවෙන් කීකල්හි අර්ත්ථය දනිත්ද ඔවුනට දමිළ භාෂාවෙන් ප්රකාශකරයි. යමෙක් අන්ධභාෂාදිය අතුරෙන් යම් භාෂාවකින් (කී කල්හි අර්ත්ථය දනිත්ද) ඔවුනට ඒ ඒ භාෂාවෙන් (ප්රකාශකරයි.) මෙසේ ඒ මානවකයෝ භාෂා ප්රයෝගයෙන් දක්ෂවූ ව්යක්තවූ ආචාර්ය්යවරයෙකු වෙත එළඹ ඉක්මණින්ම ශිල්පය උගණිත්. එහි භාග්යවත් බුදුරජාණන්වහන්සේ ආචාර්ය්යවරයා මෙනි. කිවයුතුබවෙහි පිහිටි තුන් පිටකය ත්රිවේදය මෙනි. පරමාර්ත්ථසම්මුති දේශනාවන්හි දක්ෂතාව දෙශභාෂාවන්හි දක්ෂතාව මෙනි. සම්මුති පරමත්ථ වශයෙන් වටහාගැනීමට සමත් විනෙයජනයෝ නොයෙක් දේශභාෂාවන්ට අයත් මානවකයන් මෙනි. භාග්යවතුන්වහන්සේගේ සම්මුති පරමාත්ථවශයෙන්වූ දේශනාව ආචාර්ය්යවරයා දමිළ භාෂාදියෙන් ප්රකාශකිරීම මෙනැයි දතයුතුය. මෙහි කියනලද්දේදවෙයි.