එහි ‘ජාති’ කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි (අපරිපූර්‍ණායතන විසින්) යම් ඉපැද්මෙක් (පරිපූර්‍ණායතන විසින්) මොනොවට ඉපැද්මෙක් (අණ්ඩජජරායුජ විසින්) අවක්‍රාන්තියෙක් (සංස්වේදජ උපපාදුක විසින්) වෙසෙසින් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, මේ ‘ජාති’ යි කියනු ලැබේ.
එහි ‘ජරා’ කවර යත්: ඒ ඒ සත්ත්‍වනිකායයෙහි ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් දිරීමෙක් දිරන අයුරෙක් (දන්තනඛාදීන්ගේ) ඛණ්ඩිත බවෙක් (කේශාදීන්ගේ) පැසුණු බවෙක් රැලි නැඟුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉඳුරන් මිහිකිරීමෙක් වේ ද, මේ ‘ජරා’ යි කියනු ලැබේ.
එහි ‘මරණ’ කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙන් යම් ච්‍යුතියක් ච්‍යුතවන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යු සංඛ්‍යාත මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහා තැබීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද, මේ ‘මරණ’ යි කියනු ලැබේ.
එහි ‘සෝක’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛ හේතුවකින් පහස්නා ලද්දහුගේ ශෝකයෙක් ශෝකාකාරයෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශෝකයෙක් සිත දවන අයුරෙක් දොම්නසෙක් ශෝක ශල්‍යයෙක් වේ ද, මේ ‘සෝක’ යයි කියනු ලැබේ.
එහි ‘පරිදේව’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝග ව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශිලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවකින් පහස්නා ලද්දහුගේ නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කී බවෙක් වේ ද මේ ‘පරිදේව’ යි කියනු ලැබේ.
එහි ‘දුඃඛය’ කවරෙ යත්: කායික වූ යම් නො සුවයෙක් කායික වූ දුකෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දුඃඛ’ යි කියනු ලැබේ.
එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: චෛතසික වූ යම් නො සුවයෙක් චෛතසික වූ දුකෙක් සිත් පහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් දුක්පහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යයි කියනු ලැබේ.
එහි ‘උපායාස’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝග ව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍වාගත වූවහුගේ, අන්‍යතරාන්‍යතරදුඃඛ හේතුවකින් පහස්නා ලද්දහුගේ ආයාසයෙක් බලවත් ආයාසයෙක් ආයසයට පැමිණි බවෙක් උපායාසයට පැමිණි බවෙක් වේ ද, මේ ‘උපායාස’ යයි කියනු ලැබේ.
එහි ‘අප්‍රියසම්ප්‍රයෝගදුඃඛය’ කවරෙ යත්: මෙලොව අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, යළි අනර්‍ත්‍ථය කැමැති වූ අහිතය කැමැති වූ නො සුවය කැමැති වූ අයෝගක්‍ෂේමය කැමැති වූ යම් කෙනෙක් හෝ වෙත් ද, ඔවුන් සමග යම් එක්වීමෙක් සමාගමයෙක් සංයෝගයෙක් මිශ්‍රීභාවයෙක් වේ ද, මේ ‘අප්‍රියසම්ප්‍රයෝගදුඃඛය’ යි කියනු ලැබේ.
එහි ‘ප්‍රියවිප්‍රයෝගදුඃඛය’ කවරෙ යත්: මෙලොව ඉෂ්ට වූ කානත් වූ මනාප වූ යම් රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, යළි වැඩ කැමැති වූ හිත කැමැති වූ මව හෝ පියා හෝ බෑයා හෝ බුනැණිය හෝ සගයහළුවෝ හෝ නෑසහලේ නෑයෝ හෝ යන යම් කෙනෙක් හෝ වෙත් ද, ඔවුන් සමග යම් අසංගමයෙක් අසමාගමයෙක් අසමවධානයෙක් අමිශ්‍රීභාවයෙක් වේ ද, මේ ‘ප්‍රියවිප්‍රයෝගදුඃඛය’ යි කියනු ලැබේ.
එහි ‘යමක් කැමැති වනුයේ එය නො ලබා නම් හෙ ද දුකය’ යනු කවරෙ යත්: ජාතිය ස්වභාවය කොට ඇති සත්නට මෙබඳු තෘෂ්ණායෙක් උපදී. “ඇපි ජාතිය ස්වභාව කොට ඇති නො වමෝ වා, අපට ජාතිය නො ද පැමිණේ ව” යි. එතෙකුදුවත් තෙල ප්‍රාර්‍ත්‍ථනායෙන් නො ලැබිය යුතු ය. මෙ ද ‘යමක් කැමැති වනුයේ නො ලබ් නම් හෙ දුකැ’ යි කියනු ලැබේ. ජරාව ස්වභාව කොට ඇති සත්නට ... ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්නට … මරණය ස්වභාව කොට ඇති සත්නට … සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාස ස්වභාව කොට ඇති සත්නට මෙසේ තෘෂ්ණාව උපදී. ‘අපි සෝකපරිදේව දුක්ඛදෝමනස්සුපායාස ස්වභාව කොට ඇති නොවමෝ වා’, අපට සෝකපරිදේවදුක්ඛ දෝමනස්සුපායාසයෝ නො ද පැමිණෙත්ව’ යි. එතෙකුදුවත් තෙල ප්‍රාර්‍ත්‍ථනායෙන් නො ලැබිය යුත්තේ ය. මෙ ද ‘යමක් කැමැති වනුයේ නො ලබා නම් හෙ ද දුකැ’ යි කියනු ලැබේ.
එහි සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධදුඃඛයෝ කවරහ යත්: ඒ මෙසේ ය: රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ යි. මේ සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධ දුඃඛයෝ ය යි කියනු ලැබෙත්.
මේ දුඃඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.