1045. කවර ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්න වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ජාත භූත සඤ්ජාත නිර්‍වෘත්ත අභිනිර්‍වෘත ප්‍රාදුර්භූත උත්පන්න සමුත්පන්න උත්‍ථිත සමුත්‍ථිත වූවාහු ප්‍රත්‍යුත්පන්න වූවාහු ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූපයෝ ය වේදනා ය සංඥා ය සංස්කාරයෝ ය විඥාන යි. මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නයෝ යි.
1046. කවර ධර්‍මයෝ අතීතාලම්බන වෙති යත්:
(පරිත්ත මහද්ගත වූ) අතීත ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අතීතාලම්බනයෝ ය.
1047. කවර ධර්‍මයෝ අනාගතාලම්බන වෙති යත්:
අනාගත ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අනාගතාලම්බනයෝ යි.
1048. කවර ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බන වෙති යත්:
ප්‍රත්‍යුත්පන්න ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බනයෝ යි.
1049. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ඒ සත්ත්තවයන්ගේ අධ්‍යාත්ම වූවාහු ප්‍රත්‍යාත්ම වූවාහු (සිය සිය සතනැ උපන්නාහු) තිජක (තමා කෙරෙහි) වූවාහු ප්‍රාතිපෞද්ගලික (වෙන් වෙන් ව පුඟුල්සතු) වූවාහු උපාදින්න (ශරීරස්ථ) වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාරයෝ ය විඥාන යි. මේ ධර්‍මයෝ අධ්‍යාත්මයෝ යි.
1050. කවර ධර්‍මයෝ බාහ්‍ය වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ඒ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූවාහු ප්‍රත්‍යාත්ම වූවාහු නිජාත්මයෙහි උපන්නාහු ප්‍රාතිපෞද්ගලික වූවාහු උපාදින්න වූවාහු ද, ඒ රූප - වේදනා -සංඥා ය සංස්කාර - විඥාන යි. මේ ධර්‍මයෝ බාහ්‍යයෝ යි.
1051. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම - බාහ්‍ය වෙති යත්:
ඒ (අධ්‍යාත්ම - බාහ්‍ය යන) දෙකය. මේ ධර්‍මයෝ අධ්‍යාත්ම බාහ්‍යයෝ යි.
1052. කවර ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බන වෙති යත්:
අධ්‍යාත්ම වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍මකෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බනයෝ යි.
1053. කවර ධර්‍මයෝ බාහ්‍යාලම්බන වෙති යත්:
බාහ්‍ය වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ බාහ්‍යාලම්බනයෝ යි.
1054. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම - බාහ්‍යාලම්බන වෙති යත්:
අධ්‍යාත්ම - බාහ්‍ය වූ ධර්‍මයන් අරභයා (අරමුණු කොට) යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අධ්‍යාත්ම බාහ්‍යාලම්බනයෝ යි.
1055. කවර ධර්‍මයෝ සනිදර්‍ශන - සප්‍රතිඝ වෙති යත්:
රූපායතන ය, මේ ධර්‍මයෝ සනිදර්‍ශන - සප්‍රතිඝයෝ යි.
1056. කවර ධර්‍මයෝ අනිදර්‍ශන - සප්‍රතිඝ වෙති යත්:
චක්‍ෂුරායතන ය ශ්‍රෝත්‍රායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ධර්‍මයෝ අනිදර්‍ශන - සප්‍රතිඝයෝ යි.
1057. කවර ධර්‍මයෝ අනිදර්‍ශන - අප්‍රතිඝ වෙති යත්:
වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, අනිදර්‍ශන - අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයකුත් වේ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැ යි. මේ ධර්‍මයෝ අනිදර්‍ශන - ප්‍රතිඝයෝ යි.
ත්‍රික නිර්දේශ යි.
1058. කවර ධර්‍මයෝ හේතු වෙති යත්:
තුන් කුශල හේතු ය. තුන් අකුශල හේතු ය. තුන් අව්‍යාකෘත හේතු ය. නව කාමාවචර හේතුය. ෂඩ් රූපාවචර හේතු ය. ෂඩ් අරූපාවචර හේතු ය. ෂඩ් අපරියාපන්න හේතු යි.
1059. එහි තුන් කුශල හේතු කවරහ යත්:
අලෝභ ය. අදෝස ය. අමෝහ යි.
1060. එහි අලෝභ කවරේ යත්:
යම් අලෝභයෙක් අලෝභකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත කුශල මූලයෙක් වේ ද, මේ අලෝභ ය යි කියනු ලැබේ.