1014. කවර ධර්මයෝ භාවනායෙන් ප්රහාතව්ය වෙති යත්:
අවශේෂ වූ ලෝභ ය දෝස ය මෝහ ය, (ප්රහාණවශයෙන්) තදේකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ කෙලෙසුන් හා සම්ප්රයුක්ත වූ වේදනාස්කන්ධ ය … විඥානස්කන්ධ ය, තත්සමුත්ථිත වූ කායකර්ම ය වාක්කර්ම ය මනඃකර්ම යි. මේ ධර්මයෝ භාවනායෙන් ප්රහාතව්යයෝ යි.
1015. කවර ධර්මයෝ දර්ශනයෙන් - භාවනායෙන් නො ම ප්රහාතව්ය වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාව්යාකෘත ධර්මයෝ ය, වේදනාස්කන්ධ ය ... විඥානස්කන්ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතු දැයි මේ ධර්මයෝ නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යයෝ යි.
1016. කවර ධර්මයෝ දර්ශනයෙ ප්රහාතව්ය හේතු ඇතියහ යත්:
සත්කායදෘෂ්ටි ය විචිකිත්සා ය ශීලව්රතපරාමර්ෂ ය යන තුන් සංයෝජනයෝ යි.
එහි සත්කායදෘෂ්ටි කවරෙ යත්: මෙ ලොවැ අශ්රැතවත් පෘථග්ජන තෙමේ ... රූපය ආත්මයයි දකී ... මේ සත්කායද්රෂ්ටි යයි කියනු ලැබේ.
එහි විචිකිත්සා කවර යත්: ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි ... මේ විචිකිත්සා යයි කියනු ලැබේ.
එහි ශීලව්රතපරාමර්ෂය කවරෙ යත්: මේ සස්නෙන් බැහැර මහබමුණන්ගේ ශීලයෙන් ශුද්ධිය ... මේ ශීලව්රතපරාමර්ෂ යයි කියනු ලැබේ.
මේ තුන් සංයෝජනයෝ ය, තදේකස්ථ වූ ක්ලේශයෝ ද, තත්සම්ප්රයුක්ත වූ වේදනාස්කන්ධ ය … විඥානස්කන්ධ ය, ඒ කෙලෙසුන් විසින් සමුත්ථිත වූ කායකර්ම ය වාක්කර්ම ය මනඃකර්ම ය, යන මේ ධර්මයෝ දර්ශනයෙන් ප්රහාතව්ය හේතු ඇත්තාහු ය. සත්කායදිට්ඨි ය විචිකිච්ඡා ය සීලබ්බතපරාමාස ය යන තුන් සංයෝජනයෝ ය, මේ දහම්හු දර්ශනයෙන් ප්රහාතව්යයෝ ය. තදේකස්ථ වූ ලෝභ ය දෝස ය මෝහ ය, යන මේ දහම්හු දර්ශනයෙන් ප්රහාතව්ය හේතුහු ය. තදේකස්ථ වූ ක්ලේශයෝ ද, තත්සම්ප්රයුක්ත වූ වේදනාස්කන්ධ ය ... විඥානස්කන්ධ ය, ඒ ලෝභාදීය විසින් සමුත්ථිත වූ කායකර්මය වාක්කර්මය මනඃකර්ම ය, මේ දහම්හු දර්ශනයෙන් ප්රහාතව්යහේතුකයෝ යි.
1017. කවර දහම්හු භාවනායෙන් ප්රහාතව්යහේතු ඇතියහ යත්:
අවශේෂ වූ ලෝභ ය දෝස ය මෝහ ය, මේ දහම්හු භාවනායෙන් ප්රහාතව්ය හේතු ඇතියහ. තදේකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ කෙලෙසුන් හා සම්ප්රයුක්ත වූ වේදනාස්කන්ධ ය ... විඥානස්කන්ධ ය, ඒ ලෝභාදීය විසින් සමුත්ථිත වූ කායකර්ම ය වාක්කර්ම ය මනඃකර්ම ය, මේ ධර්මයෝ භාවනායෙන් ප්රහාතව්ය හේතුකයෝ යි.
1018. කවර ධර්මයෝ නො මැ දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යහේතු ඇතියහ යත්:
ඒ ධර්මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්යාකෘත වූ ධර්මයෝ ය, වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ ය, සියලු රූපය ද, අසඞ්ඛතධාතු දැ යි මේ ධර්මයෝ නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යහේතුකයෝ යි.
1019. කවර දහම්හු ආචයගාමී වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්රව වූ කුශලාකුශල ධර්මයෝ ය, වේදනාස්කන්ධ ය ... විඥානස්කන්ධ ය, මේ ධර්මයෝ ආචයගාමීහු ය.
1020. කවර දහම්හු අපචයගාමී වෙති යත්:
අපරියාපන්න වූ සතර මාර්ගයෝ යි. මේ ධර්මයෝ අපචයගාමීහු ය.