1010. කවර ධර්මයෝ දර්ශනයෙන් ප්රහාතව්ය වෙති යත්:
සත්කායදෘෂ්ටි ය විචිකිත්සා ය ශීලව්රතපරාමර්ෂ ය යන තුන් සංයෝජනයෝ යි.
1011. එහි සත්කායදෘෂ්ටි කවරෙ යත්:
මෙලොවැ අශ්රැතවත් පෘථග්ජන තෙමේ ආර්ය්යයන් නො දක්නාසුලු වූයේ ආර්ය්යධර්මයෙහි අකෝවිද (අදක්ෂ) වූයේ ආර්ය්යධර්මයෙහි අවිනීත වූයේ, සත්පුරුෂයන් නො දක්නාසුලු වූයේ සත්පුරුෂධර්මයෙහි අකෝවිද වූයේ සත්පුරුෂධර්මයෙහි අවිනීත වූයේ රූපය ආත්මයයි (ද්රෂ්ටිවශයෙන්) දකී. (සෙවණ ඇති රුකක් මෙන්) ආත්මය රූපවත් කොට හෝ, (මලෙහි සුවඳ මෙන්) ආත්මයෙහි රූපය හෝ, (කරඬුයෙහි මැණික මෙන්) රූපයෙහි ආත්මය හෝ දකී. වේදනාව ආත්මීය යි (ද්රෂ්ටිදර්ශනයෙන්) දකී. ආත්මය වේදනාවත් කොට හෝ, ආත්මයෙහි වේදනාව හෝ, වේදනායෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්මයයි දකී. ආත්මය සංඥාවත් කොට හෝ, ආත්මයෙහි සංඥාව හෝ, සංඥායෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්මය යි දකී. ආත්මය සංස්කාරවත් කොට හෝ, ආත්මයෙහි සංස්කාරයන් හෝ, සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්මය යි දකී. ආත්මය විඥානවත් කොට හෝ, ආත්මයෙහි විඥානය හෝ, විඥානයෙහි ආත්මය හෝ දකී.
මෙබඳු වූ යම් ද්රෂ්ටියක ද්රෂ්ටිගතයෙක් ද්රෂ්ටිගහනයෙක් ද්රෂ්ටිකාන්තාරයෙක් ද්රෂ්ටිවිසූකායිකයෙක් ද්රෂ්ටිවිෂ්පන්දිතයෙක් ද්රෂ්ටිසංයෝජනයෙක්, (දැඩිව) ගැනීමෙක් පිහිටාගැනීමෙක් (නිත්යාදි විසින්) අභිනිවේශයෙක් පරාමර්ෂයෙක් කුත්සිතමාර්ගයෙක් මිත්ථ්යාපථයෙක්, මිත්ථ්යාස්වභාවයෙක් තීත්ථ්යායතනයෙක් විපර්ය්යාසග්රාහයෙක් වේ ද, මේ සත්කායදෘෂ්ටි යයි කියනු ලැබේ.
1012. එහි විචිකිත්සා කවර යත්:
ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නවලොවුතුරු දහම්හි ... අට අරී සඟුන් කෙරෙහි ... ත්රිවිධ ශික්ෂායෙහි, (අතීතස්කන්ධාදි) පූර්වාන්තයෙහි, (අනාගතාස්කන්ධයෙහි) අපරාන්තයෙහි, පූර්වාන්ත අපරාන්තයෙහි, ඉදම්ප්රත්යයතාප්රතීත්යසමුත්පන්න ධර්මවිෂයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. යම් මෙබඳු වූ සැකයෙක් සැක කරන අයුරෙක් සැකයට පමුණුවන ලද බවෙක් විමතියෙක් විචිකිත්සාවක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයයෙක් අනෛකාන්තග්රාහකයෙක් ආසර්පණයෙක් පරිසර්පණයෙක් (අරමුණට) නො බැසගැනීමෙක් චිත්තයාගේ තදබවෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ විචිකිත්සා යයි කියනු ලැබේ.
1013. එහි ශීලව්රතපරාමර්ෂය කවරෙ යත්:
මේ සස්නෙන් බැහැර මහබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි ය, ව්රතයෙන් ශුද්ධි ය, ශීලව්රතයෙන් ශුද්ධි ය යි යම් මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිෂ්පන්දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්ෂයෙක් කුත්සිතමාර්ගයෙක් මිත්ථ්යාපථයෙක් මිත්ථ්යාස්වභාවයෙක් තීත්ථායතනයෙක් විපර්ය්යාසග්රාහයෙක් වේ ද, මේ ශීලව්රතපරාමර්ෂ යයි කියනු ලැබේ.
මේ තුන් සංයෝජනයෝ ය, ඔවුන් හා ප්රහාණෛකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ තදේකස්ථ ලෝභ දි අටකෙලෙසුන් හා සම්ප්රයෝග වූ වේදනාස්කන්ධ ය … විඥානස්කන්ධ ය, ඒ ලෝභාදිය විසින් උපදවන ලද කායකර්ම ය වාක්කර්ම ය මනඃකර්ම ය, මේ ධර්මයෝ දර්ශනයෙන් ප්රහාතව්යයෝ යි.
1014. කවර ධර්මයෝ භාවනායෙන් ප්රහාතව්ය වෙති යත්:
අවශේෂ වූ ලෝභ ය දෝස ය මෝහ ය, (ප්රහාණවශයෙන්) තදේකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ කෙලෙසුන් හා සම්ප්රයුක්ත වූ වේදනාස්කන්ධ ය … විඥානස්කන්ධ ය, තත්සමුත්ථිත වූ කායකර්ම ය වාක්කර්ම ය මනඃකර්ම යි. මේ ධර්මයෝ භාවනායෙන් ප්රහාතව්යයෝ යි.
1015. කවර ධර්මයෝ දර්ශනයෙන් - භාවනායෙන් නො ම ප්රහාතව්ය වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාව්යාකෘත ධර්මයෝ ය, වේදනාස්කන්ධ ය ... විඥානස්කන්ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතු දැයි මේ ධර්මයෝ නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යයෝ යි.