යම් කලෙකැ රූපාලම්බන වේවායි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස් සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපන්නේ වේ ද, එකලැ ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි. සංඥාව වෙයි. චේතනාව වෙයි. චිත්තය වෙයි. විතර්‍කය වෙයි. විචාරය වෙයි. ප්‍රීතිය වෙයි. සුඛය වෙයි. චිත්තෛකාග්‍රතාව වෙයි. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි. සමාධින්‍ද්‍රිය වෙයි. මනින්‍ද්‍රිය වෙයි. සෝමනස්සින්‍ද්‍රිය වෙයි. ජීවිතේන්‍ද්‍රිය වෙයි. මිථ්‍යාදෘෂ්ටිය වෙයි. මිථ්‍යාසඞ්කල්පය වෙයි. මිථ්‍යාව්‍යායාමය වෙයි. මිථ්‍යාසමාධිය වෙයි. වීර්‍ය්‍යබලය වෙයි. සමාධිබලය වෙයි. අහිරිකබලය වෙයි. අනොත්තප්පබලය වෙයි. ලෝභය වෙයි. මෝහය වෙයි. අභිධ්‍යාව වෙයි. මිථ්‍යාදෘෂ්ටිය වෙයි. අහිරිකය වෙයි. අනොත්තප්පය වෙයි. ශමථය වෙයි. ප්‍රග්‍රාහය වෙයි. අවික්‍ෂේපය වෙයි. තවද එකලැ අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම්, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
367. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශකළබවෙක් වේ ද, එකලැ මේ ස්පර්‍ශය වේ.
368. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් චෛතසික වු යම් මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.
369. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥාවක් සංජානනාකාරයෙන් සඤ්ජාතිතබවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
370. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
371. කවරක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භාවාඞ්ග චිත්තයෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.
372. කවරක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සඞ්කල්පයෙක් අර්‍පණායෙක් ව්‍යාපර්‍ණායෙක් සිතට නහාලීමෙක් මිථ්‍යාසඞ්කල්පයෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
373. කවරක් එසමයෙහි විචාර වෙයි යත්:
එසමයෙහි යම් (අරමුණෙහි) හැසිරීමෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් චිත්තයාගේ (අරමුණෙහි සිත) ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාර වේ.
374. කවරක් එසමයෙහි ප්‍රිතී වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔද වැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද, මෙ එසමයෙහි ප්‍රීති වේ.
375. කවරක් එසමයෙහි සුඛ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මිහිරිබවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛ වේ.
376. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.