එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් (පණ්ඩර වූ) භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි චිත්තය වේ.
7. කවරෙක් එසමයෙහි විතර්ක වෙයි යත්:
එසමයෙහි යම් තර්කයෙක් විතර්කයෙක් සංකල්පයයෙක් අර්පණයෙක් බලවත් අර්පණයෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සම්යක්සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි විතර්කය වේ.
8. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
එසමයෙහි යම් (අරමුණෙහි හැසිරෙන) වාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්රේක්ෂණතායෙක් වේ ද - මේ එසමයෙහි විචාරය වේ.
9. කවරෙක් එසමයෙහි ප්රීති වෙයි යත්:
එසමයෙහි යම් ප්රීතියෙක් ප්රාමෝද්ය (තරුණප්රීති) යෙක් ආමෝදනාකාරයෙක් ප්රමෝදනාකාරයෙක් හර්ෂයෙක් ප්රහර්ෂයෙක් ප්රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයා ගේ සතුටු බවෙක් වේ ද - මේ එසමයෙහි ප්රීතිය වේ.
10. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික මිහිරෙක් චෛතසික සුඛයෙක් චිත්ත සංස්පර්ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි සුඛවේදනාව වේ.
11. කවරක් එසමයෙහි චිත්තෛකාග්රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයා ගේ යම් (නිසල බැවින් අරමුණෙහි) සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්ද්රියයෙක් සමාධිබලයෙක් සම්යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි චිත්තෛකාග්රතා වේ.
12. කවරෙක් එසමයෙහි ශ්රද්ධේන්ද්රිය වෙයි යත්:
එසමයෙහි යම් ශ්රද්ධාවෙක් හැදැහීම් අයුරෙක් (ගුණයෙහි) බැසැ ගැනීමෙක් අභිප්රසාදයෙක් සැදැහැයෙක් ශ්රද්ධේන්ද්රියයෙක් ශ්රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්රද්ධේන්ද්රිය වේ.
13. කවරෙක් එසමයෙහි වීර්ය්යෙන්ද්රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ වීර්ය්යාරම්භයෙක් නිෂ්ක්රම (කුසීත බැවින් නික්මෙන) වීර්ය්යයෙක් පරාක්රම (වීර්ය්ය) යෙක් උද්යාමයෙක් ව්යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්ර උත්සාහයෙක් දෘඪපරාක්රම (ථාම) යෙක් ධෛර්ය්යයෙක් ස්ථිර පරාක්රමතායෙක් නො තැබූ ඡන්දය ඇති බවෙක් නො තැබූ වීර්ය්යධුර ඇති බවෙක් වීර්ය්ය දැඩි වැ ගැනීමෙක් වේ ද, වීර්ය්යේන්ද්රියයෙක් වීර්ය්යබලයෙක් සම්යග්ව්යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්ය්යෙන්ද්රිය වේ.
14. කවරෙක් එසමයෙහි ස්මෘතින්ද්රිය වෙයි යත්:
එසමයෙහි යම් ස්මෘතියෙක් (සිහි කිරීමෙක්) පුනපුනා සිහි කිරීමෙක් අභිමුඛ කොට සිහි කිරීමෙක්, ස්මෘති සඞ්ඛ්යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්ද්රියයෙක් ස්මෘතිබලයෙක් සම්යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘතීන්ද්රිය වේ.
15. කවරෙක් එසමයෙහි සාමාධීන්ද්රිය වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සාමාධීන්ද්රියයෙක් සමාධිබලයෙක් සම්යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධීන්ද්රිය වේ.
16. කවරෙක් එසමයෙහි ප්රඥේන්ද්රිය වෙයි යත්:
එසමයෙහි යම් ප්රඥායෙක් දන්නා අයුරෙක් (අනිත්යාදිය) විමසීමෙක් ප්රවිචයයෙක් ධර්මවිචයයෙක් (අනිත්යාදිය) සැලැකීමෙක් උපලක්ෂණයෙක් ප්රත්යුපලක්ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්ෂායෙක් භූරිප්රඥායෙක් (කෙලෙසුන් නසන හෙයින්) මේධායෙක් පරිණායිකායෙක් විදර්ශනායෙක් සම්යග්ඥානයෙක් (සිත විදර්ශනාවීථියට නගන) පතෝදයෙක් ප්රඥායෙක් ප්රඥේන්ද්රියයෙක් ප්රඥාබලයෙක් ප්රඥාශස්ත්රයෙක් ප්රඥාප්රාසාදයෙක් ප්රඥාආලෝකයෙක් ප්රඥාවභාසයෙක් ප්රඥාප්රද්යොතයෙක් ප්රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයෙක් සම්යග්දෘෂ්ටියෙක් වේ ද, මේ එසමයෙහි ප්රඥේන්ද්රිය වේ.
17. කවරෙක් එසමයෙහි මනින්ද්රිය වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් චිත්තයෙක් භවාඞ්ගචිත්තයෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්රියයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්ද්රිය වේ.