ආනිසංසපකාසනා
“පඤ්ඤාභාවනාය කො ආනිසංසො’’ යනුවෙන් යමක් යට (ඛන්‍ධ නිද්දේසාරම්භයෙහි) කියන ලද්දේද, ඒ පිළිබඳව කථා කරමු:- මේ පඤ්ඤා භාවනාව වූ කලී නොයෙක් සියගණන් අනුසස් ඇත්තෙකි. එහි අනුසස් දීර්ඝ කාලයෙකින් පවා විතර වශයෙන් ප්‍රකාශ කිරීම සුකර නොවේ. සංක්‍ෂේපයෙන් වනාහි, නොයෙක් ක්ලේශයන්ගේ විධ්වංසනය, ආර්යඵල රසානුභාවය, නිරෝධ සමාපත්තියට සමවැදීමේ සමත්බව, ආහුණෙය්‍ය (පූජාර්හ) භාවාදිය සමෘද්ධ වීමය යන මේ අනුසස් දතයුතුය.
නානාකිලෙසවිද්ධංසනකථා
එහි, නාමරූප පරිච්ඡේදයෙහි (පිරිසිඳීමෙහි) පටන් සක්කායදිට්ඨි ආදී වශයෙන් නොයෙක් කෙලෙසුන් පිළිබඳ යම් විධ්වංසනයක් කියන ලද්දේද, මේ ලෞකික පඤ්ඤාභාවනාවෙහි අනුසස් වේ. ආර්ය මාර්ගක්‍ෂණයෙහිදී සංයෝජනාදී නොයෙක් ක්ලේශයන්ගේ විධ්වංසනයක් කියන ලද්දේද, මේ ලෝකෝත්තර වූ පඤ්ඤා භාවනාවෙහි අනුසස් යයි දතයුතුය.
භීම වෙගානුපතිතා අසනීව සිලුච්චයෙ,
වායුවෙග සමුට්ඨිතො අරඤ්ඤමිව පාවකො
අන්‍ධකාරං විය රවිසතෙජුජ්ජල මණ්ඩලො,
දීඝරත්තානුපතිතං සබ්බානත්‍ථ විධායකං
කිලෙසජාලං පඤ්ඤාහි විද්ධංසයති භාවිතා,
සන්‍ධිට්ඨික මතො ජඤ්ඤා ආනිසංසමිමං ඉධ
බිහිසුණු වේගයෙකින් පතිත වූ අකුණක් පවුමුදුනෙක වූ වන ලැහැබක් සෙයින්ද, වාත වේගයෙන් නැඟී ගිය ලැව් ගින්නක් වන ලැහැබක් සෙයින්ද,
තෙද රැස් මඬුලු සහිත සූර්යයා අන්‍ධකාරය සෙයින්ද, වඩනා ලද පඤ්ඤාභාවනාව (විදර්ශනාව) දීර්ඝ කාලයක් පැවත ආ සියලු අවැඩ සිදු කරන ක්ලේශජාලය වනසාලයි. එහෙයින් මෙහි (පඤ්ඤාභාවනාවෙහි) වූ මේ සාංදෘෂ්ටික (අත්දුටු) ආනිසංසය දතයුතුය.
ඵලසමාපත්තිකථා
‘අරියඵලරසානුභව’ යනු, හුදෙක් කෙලෙසුන් නැසීම මතු නොවේ, ආර්ය ඵල රසානුභවයද පඤ්ඤා භාවනාවෙහි අනුසස් වේ. සෝතාපත්ති ඵලාදී වූ ශ්‍රාමණ්‍ය ඵලය ආර්ය ඵලයයි කියනු ලැබේ. එහි රසානුභවය මාර්ග වීථියෙහිදීද, ඵල සමාපත්ති වශයෙන් පැවැත්මෙහිදීදැ’යි දෙ-ආකාරයෙකින් වේ; එහි මාර්ග වීථියෙහි පැවැත්ම දක්වන ලද්දේම වේ.
තවද, යමෙක්, “ඵලය නම් හුදෙක් සංයෝජනයන්ගේ ප්‍රහාණ මාත්‍රයයි, අන්කිසිවක් නැතැ’යි කියත්ද, ඒ (ආන්‍ධ්‍ර) ආචාර්යවරයන් දැනුවත් කරනු පිණිස මේ සූත්‍රයද දැක්විය යුතුය:- “ආර්යමාර්ගයෙහි යෙදීමෙන් ලද කෙලෙස් බර මුදාහැරීමේ ප්‍රඥාව, ඵලය පිළිබඳ ඥානය වනුයේ කෙසේද? සෝවාන් මාර්ගක්‍ෂණයෙහිදී නිවන් දකිති’යි යන අර්ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් නැඟී සිටියි, එම මිථ්‍යාදෘෂ්ටියට අනුගතව පවත්නා ක්ලේශයන් හා ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟී සිටියි, බාහිර වූ සියලු නිමිති කෙරෙන්ද නැඟී සිටියි, සෝවාන් මාර්ගයෙහි යෙදීමෙන් කෙලෙස් බර මුදාහළ හෙයින් සම්‍යග්දෘෂ්ටිය උපදියි, මේ මාර්ගයෙහි ඵලයයි” යනුවෙන් විස්තර කළයුතුය.
තවද. “ආර්ය මාර්ග සතරද, ශ්‍රාමණ්‍ය ඵල සතරදැ’යි යන මේ ධර්මයෝ පමණ කළ නොහැකි අරමුණු ඇත්තාහුය, මහද්ගත ධර්මය (නේවසඤ්ඤානාසඤ්ඤා සමාධිය) පමණ කළ නොහැකි (නිර්වාණ) ධර්මයට අනන්තර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ’’ යන මේ ආදියද මෙහිලා සාධක වේ.
ඵල සමාපත්තියෙහි පැවැත්ම දක්වනු වස් එය පිළිබඳව කරනු ලබන ප්‍රශ්න කිරීම මෙසේයි:- ‘ඵලසමාපත්ති’ යනු කිම? කවුරු එයට සමවදිත්ද? කවුරු නොසමවදිත්ද? කවර හෙයින් සමවදිත්ද? කෙසේ සමවැදීම වේද? සිටීම කෙසේ වේද? නැඟිටීම කෙසේ වේද? ඵලයට අනන්තර ප්‍රත්‍යය වනුයේ කිමෙක්ද? ඵලය අනන්තර ප්‍රත්‍යය වනුයේ කුමකටද?
එහි (කා ඵල සමාපත්ති) ඵල සමාපත්ති’ යනු කිමෙක්ද යත්:- ආර්ය ඵල නිරෝධය පිළිබඳ යම් ‘අර්පණාවක්’ (පිහිටීමක්) වේද, එයයි;
(කෙ තං සමාපජ්ජන්ති) කවුරු එයට සමවදිත්ද? කවුරු නොසමවදිත්ද යත්:- සියලු පෘථග්ජනයෝ නොසමවදිති; කවර හෙයින්ද යත්:- අවබෝධ නොකළ හෙයිනි; සියලුම ආර්යයෝ සමවදිති; කවර හෙයින්ද යත්:- අවබෝධ කළ හෙයිනි; ඉහළ ඵලයන්හි සිටියෝ පහළ ඵලයනට නොසමවදිති, කෙලෙස් බර බහා තැබීම එක් එක් පුද්ගලයා විසින් එක් එක් ප්‍රමාණයට කරන ලද හෙයිනි; පහළ ඵලයන්හි සිටියාහු ඉහළ ඵලයනට නොසමවදිති; අවබෝධ නොකළ හෙයිනි; තමතමාගේ ඵලයටම සමවදිති. මේ මෙහි සනිටුහනයි (නිශ්චයයි)