අරහන්තපුග්ගලකථා
මේ ඥානයටද අනතුරුව, කී නයින්ම පලසිත් වෙති’යි දතයුතුය. මෙතෙකින් වනාහි මේ තෙමේ (අර්හත් නම්) අටවන ආර්ය පුද්ගලයා බවට පත්වේ. තෙමේ අවසන් වරට (සංසාරික) දේහයක් දරන, (ස්කන්ධාදී) සියලු බර බහා තුබූ, ස්වාර්ත්ථ සිද්ධියට පිළිවෙළින් පැමිණි, භව සංයෝජනයන් ක්ෂය කළ, මොනවට දැන විමුක්තියට පැමිණි, දෙවියන් සහිත ලෝකයට අග්රදක්ෂිණෙය්ය වූ මහාක්ෂීණාශ්රව කෙනෙක් වේ.
මෙසේ ‘සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමි මාර්ගය, අර්හත් මාර්ගය’යි යන මේ සතර මගෙහි වූ ඥානය ‘ඤාණදස්සන විසුද්ධි’ නමැයි යමක් (යට) කියන ලද්දේ ද එය, මෙකී අනුපිළිවෙළින් පැමිණිය යුතු මේ චතුර්විධ ඥානයන් සඳහා කියනලදි.
බොධිපක්ඛියකථා
ඉක්බිත්තෙන් ඥාන සතරක් ඇති මෙම ඤාණදස්සන විසුද්ධිය පිළිබඳ ආනුභාවයෙන් දැන ගැනීම පිණිස:-
පරිපුණ්ණ බොධිපක්ඛිය - භාවො වුට්ඨාන බලසමායොගො,
යෙ යෙන පහාතබ්බා - ධම්මා තෙසං පහානඤ්ච
යෙ යෙන පහාතබ්බා - ධම්මා තෙසං පහානඤ්ච
කිච්චානි පරිඤ්ඤාදීනි - යානි වුත්තානි අභිසමය කාලෙ,
තානි ච යථාසභාවෙන ජානිතබ්බානි සබ්බානීති
තානි ච යථාසභාවෙන ජානිතබ්බානි සබ්බානීති
පරිපූර්ණ බෝධිපාක්ෂික භාවයද, වුට්ඨාන, බල යන මෙදෙකින් යුක්ත වීමද, එදෙකින් ප්රහීණ කළයුතු යම් ක්ලේශ ස්වභාවයක් ඇතොත් එය ප්රහීණ කිරීමද
අභිසමය අවස්ථාවෙහි ‘පරිඤ්ඤා’ ආදී යම් කෘත්යයක් කියන ලද්දේ නම්, ඒ සියල්ලද තත්වූ ස්වභාවයෙන් දතයුතුය.
එහි, ‘පරිපුණ්ණ බෝධිපක්ඛිය භාවෝ’ යනු, බෝධිපාක්ෂික ධර්මයන්ගේ පරිපූර්ණ භාවයයි; සතිපට්ඨාන සතරය, ඉද්ධිපාද සතරය, සම්යක් ප්රධාන සතරය, බල පසය, බොජ්ඣංග සතය, ආර්ය මාර්ගාංග අටය’ යන මේ සත්තිස් ධර්මයෝ බෝධන අර්ත්ථයෙන් ‘බෝධි’ යයි නම්ලත් ආර්ය මාර්ග පක්ෂයෙහි වූ හෙයින් ‘බෝධිපක්ඛිය’ නම් වෙති; ‘පක්ඛේ භවත්තා’ (පක්ෂයෙහි වූ හෙයින්) යනු, ‘උපකාරි බව්හි සිටි හෙයිනි’ (යන අර්ත්ථයි.)
ඒ ඒ අරමුණට වැද, පිවිස එළඹ සිටින හෙයින් ‘පට්ඨාන’ නමි; ‘සති ඒව පට්ඨානං’ (සිහියද එම පට්ඨානද), ‘සතිපට්ඨාන’ නමි; කාය, වේදනා, චිත්ත, ධම්ම යන අනුපස්සනාවන්හිදී අශුභ-දුඃඛ-අනිත්ය-අනාත්ම ආකාරයන් ගැනීම් වශයෙන් මෙකී සිහිය ශුභ-සුඛ-නිත්ය-ආත්ම සංඥාවන්ගේ ප්රහාණ වශයෙන් පවත්නා හෙයින් චතුර්විධ භේදය වේ. එහෙයින් ‘සතර සතිපට්ඨාන’ යයි කියනු ලැබේ.
මෙය කරණ කොට වීර්ය කෙරෙති’යි ‘පධාන’ නමි, ශෝභන වූ වීර්යය ‘සම්මප්පධාන’ නම්වේ, මෙය කරණ කොට මනාසේ, සෙමෙන් වීර්ය කෙරෙති’යි හෝ ‘සම්මප්පධාන’ නම්වේ. ක්ලේශයන් කරණකොට විරූපීවීමෙන් තොරවූ හෙයින් හෝ ශෝභන වේ; හිතසුව නිපදවන හෙයින්ද, ශ්රේෂ්ඨභාවය ගෙන එන හෙයින්ද, ප්රමුඛභාවය ඇති කරන හෙයින්ද ප්රධාන වෙති’යි හෝ ‘සම්මප්පධාන’ නම් වේ; මේ වීර්යයට අධිවචනයි; ඒ මේ සම්යක් ප්රධානය උපන් හා නූපන් අකුසල් (පිළිවෙළින්) ප්රහීණ කිරිමේ හා නො-ඉපදවීමේ කෘත්යයද, නූපන් හා උපන් කුසල් (පිළිවෙළින්) ඉපිද වීමේ හා තිර කර ගැනීමේ කෘත්යයද සිද්ධ කෙරෙති’යි මෙසේ චතුර්විධ වේ; එහෙයින් ‘සතර සම්යක් ප්රධාන’ යයි කියනු ලැබේ.
යට (ඉද්ධිවිධ නිර්දේශයෙහි) කී නයින්, ඉටු වීමේ අර්ත්ථයෙන් ‘ඉද්ධි’ නම් වේ; සම්ප්රයුක්ත වූ එම ඍද්ධියට පූර්වාංගම (මුල්) වෙති’යි යන අර්ත්ථයෙන් හා ඵලභාවයට පත් ධර්මයට (සෘද්ධියට) පෙරාතුව කරනු ලැබීමේ අර්ත්ථයෙන් එම සෘද්ධියට පදනම් වෙති’යි ‘ඉද්ධිපාද’ නම්වේ. එය ‘ඡන්ද’ ආදී වශයෙන් චතුර්විධ වේ, එහෙයින් ‘චතුරිද්ධිපාද’ යයි කියනු ලැබේ. එහෙයින් කීහු:- ‘ජන්දිද්ධිපාදය, විරියිද්ධිපාදය, චිත්තිද්ධිපාදය, වීමංසිද්ධි පාදය’යි සෘද්ධිපාද සතරෙකි” මේ (සෘද්ධිපාද) ලෝකෝත්තරම වේ. “ඉදින් ඡන්දය අධිපති කොට ගෙන භික්ෂු තෙමේ යම් සමාධියක් ලබාද, චිත්තෛකාග්රතාවක් ලබාද, මෙය ඡන්දසමාධියයි කියනු ලැබේ” යන ආදිය කී හෙයින් ඡන්දාදිය අධිපති කොට ලත් ලෞකික සමාධියක්ද වේ.
ශ්රද්ධා විරහිත බව, කුසීත බව, ප්රමාද බව, වික්ෂිප්ත බව හා මුළා බව මැඩලන හෙයින් ‘අභිභවන’ යයි කියනු ලබන, ආධිපත්යාර්ත්ථයෙන් ‘ඉන්ද්රිය’ (ඉන්ද්රභාවය) නම් වේ. එකී ශ්රද්ධාවිරහිත භාවය විසින් මැඩලිය නොහැකි බැවින්, නොසෙල්විය හැකි බැවින් ‘බල’ නම් වේ. එම ඉන්ද්රිය, බල (යන දෙකද) සද්ධා ආදී වශයෙන් පස් වැදෑරුම් වේ; එහෙයින් ‘පංච ඉන්ද්රියය,’ ‘පංච බලය’යි වහරනු ලැබේ.
අවබෝධ කරන සත්ත්වයාහට ‘අංග’ වන හෙයින් ‘සති’ ආදී සත ‘බොජ්ඣඞ්ග’ නම් වේ. (සසරින්) නික්මවති’යි යන අර්ත්ථයෙන් සම්මාදිට්ඨි ආදිය ‘මග්ගඞ්ග’ නම් වේ. එහෙයින් (පිළිවෙළින්) ‘සත්ත බොජ්ඣඞ්ග’ යයිද, ‘අරිය අට්ඨඞ්ගික මග්ග’ යයිද කියනු ලැබේ.
මෙසේ මේ තිස්හත ‘බෝධිපාක්ෂික ධර්ම’ නම්වේ. ලෞකික විදර්ශනාව පවත්නා මුල් අවස්ථාවෙහිදී තුදුස් ආකාරයෙකින් කය පරිග්රහ කරන්නහුට කායානුපස්සනා සතිපට්ඨානයද, නව ආකාරයෙකින් වේදනාව පරිග්රහ කරන්නහුට වේදනානුපස්සනා සතිපට්ඨානයද, සොළොස් ආකාරයෙකින් සිත පරිග්රහ කරන්නහුට චිත්තානුපස්සනා සතිපට්ඨානයද, පස් ආකාරයෙකින් (චෛතසික) ධර්මයන් පරිග්රහ කරන්නහුට ධම්මානුපස්සනා සතිපට්ඨානයද සිද්ධ වේ. මේ ආත්මභාවය තුළ තමා කෙරෙහි නො-උපන්, එහෙත් මෙරමාහට උපන් අකුශලයක් දැක, “යම් ආකාරයෙකින් පිළිපන් මොහුට මේ අකුශලය උපන්නේද, මම ඒ ආකාරයෙන් නොපිළිපදිමි, මෙසේ වූ කල මට මේ අකුශලය නො-උපදිති’යි එම අකුශලය නො-ඉපැදවීම පිණිස යත්න කරන විට පළමුවන සම්යක් ප්රධානය වේ; තමා කෙරෙහි පැළඹීමට වන් අකුශලයක් දැක, එය පහ කරනු පිණිස උත්සාහ කරන විට දෙවැන්න වේ; තමා කෙරෙහි පෙර නොවූ විරූ ධ්යානයක් හෝ විදර්ශනාවක් හෝ උපදවනු පිණිස යත්න කරන්නහුට තුන්වැන්න වේ; උපන් කුශලයක් නොපිරිහෙන සේ යළියළිත් උපදවන්නහුට සිදුවන සම්යක් ප්රධානය සිද්ධ වේ. ඡන්දය ප්රමුඛ කොට කුසල් කරන විට ඡන්දිද්ධිපාදය වේ, -පෙ- වීමංසිද්ධිපාදය වේ; මිථ්යා වචනයෙන් වෙන්වන විට සම්යග්වචනය වෙතැ’යි, මෙසේ (ලෞකික අවස්ථාවෙහිදී) නොයෙක් සිත් තුළ ලැබේ. මේ සතර මාර්ගයන් උපදින කල එක්ම සිතක් තුළ ලැබේ. ඵලක්ෂණයෙහිදී සතර සම්යක්ප්රධාන හැර ඉතිරි තෙතිස ලැබේ.