තතියමග්ගඤාණකථා
මේ (දෙවන) ඥානයටද අනතුරුව, කියන ලද නයින්ම, පලසිත් දතයුතුය. මෙතෙකින් වනාහි මේ යෝගී තෙමේ, එක් වරක් පමණක් මෙලොවට අවුත් සසර දුක් කෙළවර කරනු සමත් සකෘදාගාමී නම් මේ සිවුවන ආර්යපුද්ගලයා බවට පත්වේ. ඉක්බිති ප්රත්යවේක්ෂණය කී නයින්ම වේ.
මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙමින් ඒ සකෘදාගාමී ආර්යශ්රාවක තෙමේ, එම අස්නෙහි හුන්වනම හෝ පසුකලෙක හෝ කාමරාග-ව්යාපාදයන්ගේ නිරවශේෂ ප්රහාණය වූ තෙවන (අනාගාමී) භූමියට පත්වනු පිණිස යෝග කරයි; තෙමේ ඉන්ද්රිය-බල-බොජ්ඣඞ්ගයන් ගලපමින් එම සංස්කාරයන්ම “අනිත්යය, දුඃඛය, අනාත්මය’යි ඥානයෙන් පිරිමදියි, ඒ මේ අත පෙරළයි, විදර්ශනා වීථියට බසියි. මේ ආකාරයෙන් පිළිපන් ඔහුට යට කී නයින්ම සඞ්ඛාරුපෙක්ඛා ඤාණය අවසන්හි, එක් ආවර්ජනයෙන්ම අනුලෝම හා ගෝත්රභූ ඥානයන් උපන් කල ගෝත්රභූ ඥානයට අනතුරුව අනාගාමී මාර්ගය උපදී. එම මාර්ගය හා සම්ප්රයුක්ත වූ ඥානය අනාගාමී මාර්ගඥානයයි.
තුන්වන ඥානයයි.
චතුත්ථමග්ගඤාණකථා
මේ ඥානයටද අනතුරුව, කී නයින්ම පලසිත් දතයුතුය. මෙතෙකින් වනාහි ඒ යෝගී තෙමේ අනාගාමී නම් සවන ආර්ය පුද්ගලයකු බවට පත් වේ; හේ තෙමේ ඕපපාතිකව එහිම (ශුද්ධාවාසයන්හි) ඉපිද එහිම පිරිනිවෙන සුලුද පෙරළා නො-එන සුලුද වූයේ, එම ලෝකයෙන් ප්රතිසන්ධි වශයෙන් මෙලොවට ආපසු නො-එන්නෙක් වේ, ඉක්බිති කී නයින්ම ප්රත්යවේක්ෂණය වේ.
මේ ආකාරයෙන් ප්රත්යවේක්ෂා කරමින් ඒ අනාගාමී ආර්යශ්රාවක තෙමේ එම අසුනෙහි හුන්වනම හෝ පසුකලෙක හෝ රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජනයන්ගේ නිරවශේෂ ප්රහාණය වූ සිවුවන භූමියට පැමිණීම පිණිස යෝග කරයි හේ තෙමේ ඉන්ද්රිය-බල- බොජ්ඣඞ්ගයන් ගලපමින් එම සංස්කාරයන්ම ‘අනිත්යය, දුඃඛය, අනාත්මය’යි ඥානයෙන් පිරිමදියි, ඒ මේ අත පෙරළයි, විදර්ශනා වීථියට බසියි. මෙසේ පිළිපන් ඔහුට යට කී නයින්ම සංඛාරුපෙක්ඛාවසානයෙහි එක් ආවර්ජනයෙන්ම අනුලෝම ගෝත්රභූ ඥානයන් උපන් කල්හි, ගෝත්රභූ ඥානයට අනතුරුව අර්හත් මාර්ගය උපදී. එය හා සම්ප්රයුක්ත වූ ඥානය අර්හත්ව මාර්ග ඥානයයි.
සිවුවන ඥානයයි.
අරහන්තපුග්ගලකථා
මේ ඥානයටද අනතුරුව, කී නයින්ම පලසිත් වෙති’යි දතයුතුය. මෙතෙකින් වනාහි මේ තෙමේ (අර්හත් නම්) අටවන ආර්ය පුද්ගලයා බවට පත්වේ. තෙමේ අවසන් වරට (සංසාරික) දේහයක් දරන, (ස්කන්ධාදී) සියලු බර බහා තුබූ, ස්වාර්ත්ථ සිද්ධියට පිළිවෙළින් පැමිණි, භව සංයෝජනයන් ක්ෂය කළ, මොනවට දැන විමුක්තියට පැමිණි, දෙවියන් සහිත ලෝකයට අග්රදක්ෂිණෙය්ය වූ මහාක්ෂීණාශ්රව කෙනෙක් වේ.
මෙසේ ‘සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමි මාර්ගය, අර්හත් මාර්ගය’යි යන මේ සතර මගෙහි වූ ඥානය ‘ඤාණදස්සන විසුද්ධි’ නමැයි යමක් (යට) කියන ලද්දේ ද එය, මෙකී අනුපිළිවෙළින් පැමිණිය යුතු මේ චතුර්විධ ඥානයන් සඳහා කියනලදි.
බොධිපක්ඛියකථා
ඉක්බිත්තෙන් ඥාන සතරක් ඇති මෙම ඤාණදස්සන විසුද්ධිය පිළිබඳ ආනුභාවයෙන් දැන ගැනීම පිණිස:-
පරිපුණ්ණ බොධිපක්ඛිය - භාවො වුට්ඨාන බලසමායොගො,
යෙ යෙන පහාතබ්බා - ධම්මා තෙසං පහානඤ්ච
යෙ යෙන පහාතබ්බා - ධම්මා තෙසං පහානඤ්ච
කිච්චානි පරිඤ්ඤාදීනි - යානි වුත්තානි අභිසමය කාලෙ,
තානි ච යථාසභාවෙන ජානිතබ්බානි සබ්බානීති
තානි ච යථාසභාවෙන ජානිතබ්බානි සබ්බානීති
පරිපූර්ණ බෝධිපාක්ෂික භාවයද, වුට්ඨාන, බල යන මෙදෙකින් යුක්ත වීමද, එදෙකින් ප්රහීණ කළයුතු යම් ක්ලේශ ස්වභාවයක් ඇතොත් එය ප්රහීණ කිරීමද
අභිසමය අවස්ථාවෙහි ‘පරිඤ්ඤා’ ආදී යම් කෘත්යයක් කියන ලද්දේ නම්, ඒ සියල්ලද තත්වූ ස්වභාවයෙන් දතයුතුය.
එහි, ‘පරිපුණ්ණ බෝධිපක්ඛිය භාවෝ’ යනු, බෝධිපාක්ෂික ධර්මයන්ගේ පරිපූර්ණ භාවයයි; සතිපට්ඨාන සතරය, ඉද්ධිපාද සතරය, සම්යක් ප්රධාන සතරය, බල පසය, බොජ්ඣංග සතය, ආර්ය මාර්ගාංග අටය’ යන මේ සත්තිස් ධර්මයෝ බෝධන අර්ත්ථයෙන් ‘බෝධි’ යයි නම්ලත් ආර්ය මාර්ග පක්ෂයෙහි වූ හෙයින් ‘බෝධිපක්ඛිය’ නම් වෙති; ‘පක්ඛේ භවත්තා’ (පක්ෂයෙහි වූ හෙයින්) යනු, ‘උපකාරි බව්හි සිටි හෙයිනි’ (යන අර්ත්ථයි.)
ඒ ඒ අරමුණට වැද, පිවිස එළඹ සිටින හෙයින් ‘පට්ඨාන’ නමි; ‘සති ඒව පට්ඨානං’ (සිහියද එම පට්ඨානද), ‘සතිපට්ඨාන’ නමි; කාය, වේදනා, චිත්ත, ධම්ම යන අනුපස්සනාවන්හිදී අශුභ-දුඃඛ-අනිත්ය-අනාත්ම ආකාරයන් ගැනීම් වශයෙන් මෙකී සිහිය ශුභ-සුඛ-නිත්ය-ආත්ම සංඥාවන්ගේ ප්රහාණ වශයෙන් පවත්නා හෙයින් චතුර්විධ භේදය වේ. එහෙයින් ‘සතර සතිපට්ඨාන’ යයි කියනු ලැබේ.