සම්මසනඤාණකථා
‘මේ (ආර්ය) මාර්ගයයි, මේ (ආර්ය) මාර්ගය නොවේ’ යනුවෙන් මෙසේ මග - නොමග දැන සිටි ඥානය මග්ගා-මග්ග ඤාණදස්සන නම් වේ.
එය සම්පාදනය කරනු කැමැති යෝගාවචරයා විසින් පළමුකොට කලාප සම්මර්ශනයයි කියනු ලබන නය විදර්ශනාව වැඩීම පිණිස යෝග කටයුතුය; කවර හෙයින්ද යත්, විදර්ශනා ආරම්භ කළ යෝගාවචරයාහට ‘ඕභාස’ ආදිය පහළ වූ කල මග්ගාමග්ග ඤාණය පහළ වන හෙයිනි. විදර්ශනා ආරම්භ කළ යෝගාවචරයාහට වනාහි ඕභාස ආදිය පහළ වූ කල මග්ගාමග්ග ඤාණය සිද්ධ වේ. විදර්ශනාවටද වනාහි කලාප සන්මර්ශනය මුල්වේ; එහෙයින් මෙය කඞ්ඛාවිතරණයට අනතුරුව දක්වන ලදි. තවද, යම් හෙයකින් තීරණපරිඤ්ඤාවද පවත්නා කල මග්ගාමග්ග ඤාණය උපදීද, තීරණ පරිඤ්ඤාවද ඤාත පරිඤ්ඤාවට අනතුරුව උපදීද, එහෙයින් එම මග්ගාමග්ගඤාණවිසුද්ධිය සම්පාදනය කරනු කැමැත්තහු විසින් පළමුකොට කලාප සන්මර්ශනය පිණිස යෝග කටයුතුය.
මේ එය පිළිබඳ විනිශ්චයයි:- ඤාත පරිඤ්ඤාය, තීරණපරිඤ්ඤාය, පහානපරිඤ්ඤායයි ලෞකික පරිඤ්ඤා තුනෙකි. එය සඳහා කියන ලදි: “අභිඤ්ඤා පඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං, පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ ඤාණං, පහානපඤ්ඤා පරිච්චාගට්ඨෙඤාණං (අභිඤ්ඤාපඤ්ඤා යනු, (ස්කන්‍ධ, ධාතු, ආයතනාදිය ස්වලක්‍ෂණ වශයෙන්) හැඳිනගැනීමේ ඥානයයි; පරිඤ්ඤා පඤ්ඤා යනු, රූපාදිය පිළිබඳව අනිත්‍යාදී ස්වලක්‍ෂණයන් තීරණය කිරීමේ ඤාණයයි; පහාන පඤ්ඤා යනු, එම ස්කන්‍ධ ධාතු ආයතනයන් පිළිබඳ (නිත්‍ය සංඥා) ආදිය අත්හැරීමේ ඥානයයි). එහි විනාශ වීම ලක්‍ෂණ කොට ඇත්තේ රූපයයි, වින්‍දනය ලක්‍ෂණ කොට ඇත්තේ වේදනාවයි යනුවෙන් මෙසේ ඒ ඒ ධර්මයන් පිළිබඳ ඒ ඒ විශේෂ ලක්‍ෂණයන් සැලකීම් වශයෙන් පවත්නා ප්‍රඥාව ‘ඤාතපරිඤ්ඤා’ නම් වේ; ‘රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යයය’, යන ආදී වශයෙන් එම ධර්මයන් පිළිබඳ සාමාන්‍ය ලක්‍ෂණයන් අරබයා පවත්නා ලක්‍ෂණාරම්මණික වූ විදර්ශනා ප්‍රඥාව තීරණ පරිඤ්ඤා’ නම් වේ; එම ධර්මයන්ම කෙරෙහි නිත්‍ය සංඥාදිය අත් හැරීම් වශයෙන් පවත්නා ලක්ඛණාරම්මණික වූ විදර්ශනා ප්‍රඥාව ‘පහානපරිඤ්ඤා’ නම් වේ.
එහි සංඛාරයන් පිරිසිඳීමෙහි පටන් ප්‍රත්‍යය පරිග්‍රහය තෙක් ඤාත පරිඤ්ඤාවට අයත් භූමියයි; මෙදෑතුරෙහි (නාමරූප) ධර්මයන් පිළිබඳ තමතමාට අයත් (අසාමාන්‍ය) ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි ආධිපත්‍යය වේ. (චක්‍ඛු දසකාදී) කලාප සම්මර්ශනයෙහි පටන් උදයව්‍යය අනුසාරයෙන් දැකීම තෙක් තීරණපරිඤ්ඤාවට අයත් භූමියයි; මෙදෑතුරෙහි සාමාන්‍ය ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි ආධිපත්‍යය වේ. භංගානුපස්සනාවෙහි පටන් කොට පහාන පරිඤ්ඤාවට අයත් භූමියයි. එතැන් පටන්, අනිත්‍ය වශයෙන් බලනුයේ නිත්‍යසංඥාව (නිත්‍යය ශාස්වතය යන හැඟීම) හරියි; දුඃඛ වශයෙන් බලනුයේ සුඛ සංඥාව -පෙ- අනාත්ම වශයෙන් බලනුයේ ආත්ම සංඥාව -පෙ- කාරයන් කෙරෙහි) කළකිරුණේ නන්‍දිරාගය (සප්‍රීතිකරාගය) -පෙ- නො-ඇලෙනුයේ රාගය -පෙ- නිරෝධය අනුව බලනුයේ (සමුදය හෙවත්) තෘෂ්ණාව -පෙ- (සංස්කාරයන්) බැහැර කරනුයේ නැවත ගැනීම (ප්‍රතිසන්‍ධිය) හරියි; යනුවෙන් මෙසේ නිත්‍ය සංඥා ආදිය ප්‍රහීණ කරවන අනුපස්සනා සතෙහි ආධිපත්‍යය වේ. මෙසේ මේ යෝගියා විසින් සංඛාරයන් පිරිසිඳීම මෙන්ම ප්‍රත්‍යයන් විනිශ්චය කිරීමද සාධනය කරන ලද හෙයින් මේ පරිඤ්ඤා තුන අතුරෙන් ඤාත පරිඤ්ඤාවම අවබෝධ කරන ලද්දේ වේ. ඉතිරි දෙකද අවබෝධ කළයුතු වේ. එහෙයින් කියන ලදි:- “යම් හෙයකින් තීරණ පරිඤ්ඤාව පවත්නා කල්හි මග්ගාමග්ග ඤාණය උපදනේද, එම තීරණ පරිඤ්ඤාවද ඤාතපරිඤ්ඤාවට අනතුරුව උපදනේද, එහෙයින්ද ඒ මග්ගාමග්ග ඤාණවිසුද්ධිය සම්පාදනය කරනු කැමැත්තහු විසින් පළමු කොට කලාප සම්මර්ශනයෙහි යෝග කටයුතු වේ”
එම කලාප සම්මර්ශනය පිළිබඳ පෙළ මෙසේයි:-
“අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න (නාමරූප) ධර්මයන් සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන-ඥානය කෙසේද යත්? අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ යම්කිසි රූපයක් වේද, අභ්‍යන්තර හෝ වේවා, -පෙ- දුරෙහි හෝ සමීපයෙහි හෝ වේවා, ඒ සියලු රූපය අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරයි, මේ එක් සම්මර්ශනයෙකි; දුඃඛ වශයෙන් ව්‍යවස්ථාපනය කරයි, මේ එක් සම්මර්ශනයෙකි; අනාත්ම වශයෙන් ව්‍යවස්ථාපනය කරයි, මේ තවද එක් සම්මර්ශනයෙකි; යම්කිසි වේදනාවක් -පෙ-, යම්කිසි -පෙ- විඤ්ඤාණයක් -පෙ- අනාත්ම වශයෙන් ව්‍යවස්ථාපනය කරයි, මෙද එක් සම්මර්ශනයෙකි;
අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ යම්කිසි චක්‍ඛුවක් -පෙ- ජරාමරණයක් අනිත්‍ය වශයෙන් සම්මර්ශනය කරයි, මේ එක් සම්මර්ශනයෙකි; දුඃඛ වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් ව්‍යවස්ථාපනය කරයි මෙද එක් සම්මර්ශනයෙකි.
“අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ යම් රූපයක් වේද, එය ක්‍ෂය වීමේ අර්ත්‍ථයෙන් අනිත්‍ය වේ. භය වීමේ අර්ත්‍ථයෙන් දුඃඛ වේ, අසාර වීමේ අර්ත්‍ථයෙන් අනාත්ම වේ යනුවෙන් මෙසේ සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරිමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි. (අතීත අනාගත, ප්‍රත්‍යත්පන්න වූ) වේදනාවක් -පෙ- විඤ්ඤාණයක් වේද, චක්‍ඛුවක් -පෙ- ජරාමරණයක් වේද, එය ක්‍ෂය වීමේ -පෙ- අසාර වීමේ අර්ත්‍ථයෙන් අනාත්ම වේ යනුවෙන් -පෙ- ව්‍යවස්ථාපන කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි.
“අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ යම් රූපයක් වේද, එය අනිත්‍යය, සංඛත (ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දේ)ය. පටිච්චසමුප්පන (හේතුවක් නිසා හටගන්නේ)ය, ක්‍ෂය වන සුලුය, ව්‍යය වන සුලුය, නැති වන සුලුය, නවතින සුලුයයි මෙසේ සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශනඥානයයි. වේදනාවක් -පෙ- විඤ්ඤාණයක් වේද, -පෙ- චක්‍ඛුවක් -පෙ- ජරාමරණයක් වේද, එය අනිත්‍යය -පෙ- නවතින සුලුයයි මෙසේ ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි.
“ජාතිය (ඉපැදීම) හේතුකොට ගෙන ජරාමරණ වේ, ජාතිය නැති කල ජරාමරණද නැතැ’යි සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි; අතීත කාලයෙහිද, අනාගත කාලයෙහිද ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. ජාතිය නැති කල ජරාමරණද නැතැ’යි ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වේ. භවය නැති කල -පෙ- අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර හටගනියි, අවිද්‍යාව නැති කල සංස්කාරද නැතැ’යි සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි. අතීත කාලයෙහිද අනාගත කාලයෙහිද අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර හටගනියි, අවිද්‍යාව නැතිකල සංස්කාරද නැතැ’යි සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි.
එය (සම්මර්ශන ඥානය) දන්නා ලදැ’යි යන අර්ත්‍ථයෙන් ‘ඤාණ’ නමි, වෙසෙසින් දනිති’යි යන අර්ත්‍ථයෙන් ‘පඤ්ඤා’ නමි; එහෙයින් කියනු ලැබේ, ‘අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වූ ධර්මයන් සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි.’
මෙහිදී ‘චක්‍ඛුං -පෙ- ජරාමරණං’ යන ආදී මේ පෙය්යාලයෙන් (සංක්‍ෂේපනයෙන්) ද්වාරාරම්මණයන් හා සමග සදොරින් පවත්නා ධර්මයෝ, එනම්:- පඤ්චස්කන්‍ධය, ෂඩ්ද්වාරය, ෂඩ්ආලම්බනය, ෂඩ්විඤ්ඤාණය, ෂඩ් ස්පර්ශය, ෂඩ් වේදනාය, ෂඩ් සංඥාය, ෂඩ් චේතනාය, ෂඩ් තෘෂ්ණාය, ෂඩ් විතර්කය, ෂඩ් විචාරය, ෂඩ් ධාතුය. දශ කසිණය, ද්වාත්‍රිංශත් කොට්ඨාසය, ද්වාදශායතනය, අෂ්ටාදශ ධාතුය, ද්වාවිංශද් ඉන්‍ද්‍රියය, ධාතුත්‍රයය, භවත්‍රයය, අනෙක් භවත්‍රයය, තවද අනෙක් භවත්‍රයය, චතුර්ධ්‍යානය, අප්පමඤ්ඤා සතරය, ආරුප්ප සමාපත්ති සතරය, පටිච්චසමුප්පාද අංග දොළොසය යන මේ ධර්ම රාශිය සංක්‍ෂිප්ත කරන ලදැයි දතයුතුය.